සොඳුරු යෞවනය විඳින්නට..... සුන්දරව හැඩවැඩ වෙන්නට....

මාර්තු 17, 2021

 

ටීනේජ් කියන්නේ දඟකාරකමයි හැඩකාරකමයි එක්වුණු අපූර්ව වයසක්. අත්හදා බැලීම් වැඩියි. ජීවිතේ එක්වරක් පමණක් උදාවෙන සොඳුරු යෞවනය සුන්දරව විඳින්නට හැකි නම් එය ඔබේ ජීවිතයේ හැමදාමත් ලස්සන මතකයක් ඉතිරිකර දේවි. ඒ සඳහා මගේ දුවට ලස්සන වෙන්නයි මේ අත්වැල...

 

 

Hairstyle ටුවිස්ටඩ් පෝනිටේල්

පෝනිටේල් එක ඔබේ ප්‍රියතම කොණ්ඩා විලාසිතාව වෙන්න පුළුවන්. ඒත් හැමදාම නිකම්ම නිකම් පෝනිටේල් දානකොටත් ඒකාකාරී පෙනුමක් ගෙන දෙන්නේ. ඒ නිසා අද අපි පෝනිටේල් එක ටිකක් වෙනස්කර ලස්සන කරගනිමු.

මේ සඳහා හිස ඉදිරිපසින් තරමක් බුරුලට හෝ තද වෙන්න කොණ්ඩය පීරා පිටුපසින් තරමක් උඩට වෙන්නට පෝනිටේල් එකක් දමාගන්න.

දැන් එය කොටස් දෙකකට වෙන්කර වෙන වෙනම අඹරවා ගනිමින් එම අඹරවාගත් කොටස් දෙක කඹයක් අඹරනවා වගේ එකට සම්බන්ධකර ගොතන්න.

රූපය බලන්න. පසුව අග්ස්සෙන් නැවතත් බූල් බෑන්ඩ් එකක් දමාගන්න.

කොණ්ඩය උඩට හා යටට ලස්සන බූල් බෑන්ඩ් දෙකක් යොදාගැනීමෙන් මේ විලාසිතාව තවත් ලස්සන කරගත හැකියි. මේ විලාසිතාව හඳුන්වන්නේ ටුවිස්ටඩ් පෝනිටේල් නමිනි.

 

 

Nail art නිය මතට ඩොට්

අතේ ඇඟිලි, දෙපයේ ඇඟිලි කියුටෙක්ස් ගා ලස්සන කරගන්නයි මගේ දූගේ කැමැත්ත. හැබැයි දුවේ කියුටෙක්ස් ගාන්න කලින් නියපොතු පිරිසුදුව ලස්සනට තියාගන්නත් ඕනේ.

කකුලේ ඇඟිලි, නියපොතු අතුල්ලා සෝදන්නේ නැති වුණාම නිකම්ම කහ ගැහෙනවා. ඒ නිසා නිය හොඳින් අතුල්ලා සොදාගන්න.

හොඳින් සෝදාගත්තාට පසු පිළිවෙළට කපාගන්නත් ඕනේ. නිය පෙළේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ නිසා බේස් කෝට් එකක් ළඟ තබාගන්න. නිය මත බේස් කෝට් ගල්වා වියැළුණු පසු වර්ණ පහකින් නැත්නම් හතරකින්, තුනකින් නිය මත මාරුවෙන් මාරුවට කි්‍්‍යුටෙක්ස් ගාන්න. ඒවා වියැළුණු පසු එම වර්ණ කලවම් වනසේ නිය මත මෙහි දැක්වෙන ආකාරයට ඩොට් තබාගන්න. බලන්න, ලස්සනයි නේද?

 

 

Jewellery රිබන් පබළු අත් පලඳනාවක්

අඳින ඇඳුමට ගැළපෙන්න අතටත් ලස්සන ආභරණයක් තමන්ගේ අතින් සකසා ගන්නට කැමැති දියණියන්ටයි මේ. අත්කමට පෙම්බඳින අපේ දියණියන් බොහොමයි. බලන්න, මේ රිබන්, පබළු බ්‍රේස්ලට් එක.. මෙය මාලයකට වුවත් සකසාගත හැකියි.

තමන් අඳින ඇඳුමේ පැහැයට ගැළපෙන්න බේබි රිබන් හා පබළු තොරාගන්න. ගැළපෙන වර්ණයෙන් නූල් හා ඉඳිකටුවක් ද ගන්න.

මෙහි දැක්වෙන ලෙස පබළුවක් තබා මසා පසුව රිබන් එකෙන් ලූපයක් සකසා මසන්න. නැවත පබළුවක් තබා මසන්න.

මෙලෙස අවශ්‍ය දිගට පබළු තබමින් මසා දෙපසිනන් ගැට ගසන්නට රිබන් ඉතිරිකර ගන්න.