ලෝකයම වෙනස් කරන මොකක්ද මේ Aesthetic Medicine

ජූලි 8, 2024

 

රූපලාවණ්‍ය ලොව සහ වෛද්‍ය විද්‍යාව අත්වැල් බැඳගත් නව ඉසව්වක් වූයේ Aesthatic Medicine හෙවත් රූපාලංකාර වෛද්‍ය විද්‍යාවයි.

රූපාලංකාර වෛද්‍ය විද්‍යාව නූතන වෛද්‍ය විද්‍යාවේ නවතම ශාඛාවක් වැනිය. මෙය ලංකාවට හඳුන්වාදී වසර 10 කුත් නැති තරම්ය. ගනුදෙනුකරුවන් අතර වඩාත් ජනගතව ඇත්තේ වසර 3- 5 ත් වැනි කාලයකි. ඒ සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුමත් සමඟින් නවතම පර්යේෂණයන්, අත්හදා බැලීම්, නවීනතම යන්ත්‍රසූත්‍ර නිෂ්පාදනය වෙමින් පවතී. රූපාලංකාර ⁣ වෛද්‍ය විද්‍යාව හා සම්මිශ්‍රණය වූ විවිධ ආදේශකයන් Suppliment... වැනි , එන්නත්, ඖෂධ, සීරම් වර්ග වෙළෙඳපොළේ දක්නට ලැබේ.

රූපාලංකාර වෛද්‍ය විද්‍යාවේ මූලික අරමුණ වන්නේ කෙනකුගේ බාහිර පෙනුම වැඩිදියුණු කිරීමයි. ඒ ඔස්සේ කෙනකුට ලැබෙනුයේ ළාබාල පෙනුමකි. සම දුර්වර්ණ වීම, ලප කැළැල්, සිදුරු, පිග්මන්ටේෂන් ආදිය නැති කොට සමට දිදුළන බවක් ලබා දේ. හිසේ සිට පාදාන්තය දක්වාම වූ රූපය සම්බන්ධ ගැටලු නිරාකරණයකර ගැනීමට දැන් රූපාලංකාර වෛද්‍ය විද්‍යාවට පුළුවනි.

හිසේ සිට ගත් කළ කොණ්ඩය යන්නේ නම් හිසකෙස් නැවත සිටුවීම ඇතුළුව PRP ප්‍රතිකාරය වැනි නවීනතම ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිකර්ම කෙරේ. සම්පූර්ණයෙන්ම තට්ටය ඇති අයට මින් පෙර සහනයක් නොතිබුණත් Bio Fiber ක්‍රමය ඔස්සේ දැන් කෘත්‍රිමව හිසකෙස් සිටුවන්නට හැකිවී තිබේ.

මුහුණ රැලි වැටීම, වයසට ගිය පෙනුම, පිග්මන්ටේෂන් වැනි දේ සඳහා ලේසර් ප්‍රතිකාර, කොලජන් ඇතුළු කිරීම, මුහුණේ සම එල්ලා වැටීමට ප්‍රතිකර්මයක් ලෙස ඉහළට ඔසවා තැබීම රූපාලංකාර වෛද්‍ය විද්‍යාව ඔස්සේ සිදු කෙරේ.

බෙල්ල දෙස බැලීමෙන් ඒ කෙනා තාරුණ්‍යයේ සිටීද, මැදිවියේද, වයස්ගත ද යන්න හොඳින්ම සෙවිය හැකියි. සම රැලි වැටීම නැතිකර සම වැඩි දියුණු කිරීමෙන් වයස කොහෙත්ම සොයන්නට බැරි වේවි.

පියයුරු සම්බන්ධව ද රූපාලංකාර වෛද්‍ය විද්‍යාව බොහෝ විස්කම් ඉටු කරලයි. පියයුරු එල්ලා වැටීම, ප්‍රමාණයෙන් වඩාත් විශාල පියයුරු හා කුඩා පියයුරු අවශ්‍ය ප්‍රමාණයට ගෙන එන්නට මේදය එක් කිරීම/ හිස් කිරීම සිදුකරයි.

අත් ගොබය ඇතැමුන්ගේ පමණට වඩා විශාලව තිබීම අශෝභනව දිස්වේ. එසේම අත ඇදීම නිසා ස්ට්‍රෙච් මාක්ස් ද දැක ගත හැකියි. PRP සහ PRF ප්‍රතිකාර ඔස්සේ මෙය යථා තත්ත්වයට ගෙන ආ හැකියි.

මුළු සිරුරේම සම දුර්වර්ණ වීම, සම පතුරු ගියා සේ දිස්වීම, වේළී තිබීම, කොරපොතු මෙන් දිස්වීම වැනි විවිධ අවස්ථා සඳහා ද Body Polish ක්‍රමය ඔස්සේ සාමාන්‍ය සමක තත්ත්වයටම පත් කළ හැකියි.

සිරුරේ හැඩය එහෙම පිටින්ම විකෘති කරන්නේ උදරයයි. උදරය එල්ලා වැටීම බොහොමයක් කාන්තාවන්ගේ සිතට වද දෙන කාරණයකි. Body Control Method එකක් ඔස්සේ හා Radio Frequency මඟින් උදරය ඉහළට ඔසවා තැබිය හැකියි. දරු ප්‍රසූතියෙන් පසු එල්ලා වැටෙන උදරය හා ස්ට්‍රෙච් මාර්ක්ස් සඳහා ප්‍රතිකර්ම රූපාලංකාර වෛද්‍ය විද්‍යාවේ තිබේ.

අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා යොදාගන්නේ Triple Wave diode Laser ක්‍රමයයි. සියුමැලි කෙස්ගසේසිට කළු කෙස්ගස දක්වාම ඉවත් කළ හැකියි. මෙහිදී සිදුවන්නේ කෙස්ගසේ මුල පිලිස්සීමයි.

කිහිලි යට, රහස් ප්‍රදේශවල සම කළු වී ඇත්නම් එම ප්‍රදේශය වැහැරී ගොස් ඇත්නම් ඒවාට ප්‍රතිකර්ම තිබේ. ඒ කෙනාගේම වැඩිපුර මේදය ඇති තැන්වලින් ගෙන Transer Fat ක්‍රමය ඔස්සේ මේදය තැන්පත් කරයි. නිතඹ ප්‍රදේශය ද මේදය තැන්පත් කොට හැඩැති නිතඹක් ගෙන ආ හැකියි. සාමාන්‍ය ක්‍රමයට දරු ප්‍රසූතිය සිදුවී ඇතැමෙකුගේ යෝනි මාර්ගය විශාල වී ඇත්නම් එය ලිංගික ජීවිතයේ සතුටට බාධාවක්ව ඇත්නම් එම මාර්ගය යථා තත්ත්වයට ගෙන එන්නටත් රූපාලංකාර වෛද්‍ය විද්‍යාවට පුළුවනි. මේවා අයත්වන්නේ Cosmatic Gyanocolgy කොටසටයි.

රූපාලංකාර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකර්ම ඉතා ඉහළ මිල ගණන්වලින් යුතු සාමාන්‍ය කෙනකුට කළ නොහැකි දෙයක් යැයි කෙනකුට සිතෙන්නට පුළුවනි. තමාගේ අතේ ඇති මුදලට සෑහෙන පරිදි ප්‍රතිකර්ම කරගැනීමට මෙහිදී අවස්ථාව ලැබේ.

මාස 6කට, වසර දෙකකට, තුනකට ....ආදී වශයෙන් බලපාන පරිදි කෙරෙන ප්‍රතිකර්ම කෙනකුට නැවත නැවත කරගැනීමට අවස්ථාව තිබේ. එසේ නොවුණත් පෙර පැවති තත්ත්වය හෝ ඊට වඩා ගුණාත්මක තත්ත්වයක් ඉතිරි වේවි. කිසිවිටෙක පැවති තත්ත්වයටත් වඩා අන්තවන තත්ත්වයක් උදාවන්නේ නැත.

මෙම ප්‍රතිකර්මවල අතුරු විපාක ඇත්දැයි කෙනකුට සිතේවි. කලාතුරකින් කෙනකුට සම රතු වීමක්, පලු දැමීමක් වෙන්නට පුළුවනි. ඒ හැරුණු කොට වෙනත් අතුරු ආබාධ ඇත්තේම නැති තරම්ය. අත්දැකීම් බහුල රූපාලංකාර සායනයකට සහභාගිවන්නේ නම් අතුරු ආබාධ ඇත්තේම නැති අන්දමින් ප්‍රතිකර්ම කළ හැකි වේ.

 

ඉදිරිපත් කිරීම :

රූපාලංකාරය පිළිබඳ

විශේෂිත පුහුණු වෛද්‍ය

ඩබ්ලිව්. ඒ නුවන් කුමාර