නෙට් එකක් මැදිවූ Nail Art එකක්

මාර්තු 13, 2023

 

නිය අලංකරණය හෙවත් Nail Art කාන්තා ලාලිත්‍ය ඔප් නංවන හරි අපූරූ කලාවක්. සාදයකට, මංගලෝත්සවයකට සහභාගිවෙද්දී නිකම්ම නිය ආලේපනයක් තවරගෙන යනවට වඩා වර්ණවත්, හැඩැති නිය අලංකරණයක් කරගෙන යන්නට පුළුවන්.

 

තමුන්ගේ නිය අලුත් විලාසිතාවලින් සරසා ගන්න හිතෙන යුවතියන්ට මෙය අනගි අවස්ථාවක්.

නියපොතු 10ටම එකම නිය අලංකරණයක් වෙනුවට පැහැය තේමාව කරගනිමින් එකම පැහැයෙන් නියපොත්තෙන් නියපොත්තට විවිධ රටා එකතු කරගත හැකිවේවි.

හැඩට වැඩට නියපොතු පිහිටා ඇති අයට නිය අලංකරණය පහසුවෙන්ම කරගත හැකි වේවි. "අනේ මගේ නියපොතු ලස්සන නැහැනේ. මට නම් කවදාවත් නේල් ආර්ට් එකක් කරගන්න බැරිවෙයි" කියා ළතැවෙන්නට එපා. නේල් එක්ස්ටෙන්ෂන් කට්ටල වෙළෙඳපොළෙන් මිලදී ගත හැකියි. ස්වභාවික නියපොත්තට එක්ස්ටෙන්ෂන් එකක් එකතු කරගනිමින් හැඩැති නේල් ආර්ට් එකක් කරගැනීම⁣ට අවස්ථාව තිබෙනවා.

පින්සල් භාවිත කරලා පිළිවෙලටම ඇඳ ගන්න බැරිවෙයි කියලා, පින්තාරුවක් යෙදීම අපහසුවෙයි කියලා හිතලා සමහරු අදිමදි කරනවා.

අද අපි ඉදිරිපත් කරන මේ ක්‍රමයට නේල් ආර්ට් එකක් කරගැනීම කිසිම අපහසුවක් නැහැ. දකින අය හිතාවී මේ නම් රූපලාවණ්‍යාගාරයකට ගොස් කරගත් නිමැවුමක් කියා.

අපි බලමු මේ සඳහා අවශ්‍යවන්නේ මොනවාදැයි කියා.

* බේස් කෝට් එකක්

* නේල් පොලිෂ් කලර් එකක් (ළා නිල්)

* නේල් ඇක්‍ර්ලික් හෝ තවත් නේල්

පොලිෂ් පාට දෙකක් (තද නිල්, කොළ)

* ස්පොන්ජ් කැබැල්ලක්

* නෙට් කැබැල්ලක්

* ඔරෙන්ජ් ස්ටික් එකක්

හෝ ටූත් පික් එකක්

* පුළුන් කැබැල්ලක්

* කියුටෙක්ස් රිමූවර් එකක්

* ටොප් කෝට් එකක්

 

කොහොමද නේල් ආර්ට් එක කරගන්නේ

* පළමුව පිරිසුදු කරගත් නිය මත බේස්කෝට් එක ආලේප කර වියළා ගන්න.

* දැන් ඒ මත ළා නිල් පැහැති නේල් පොලිෂ් එක ආලේප කරන්න.

* නෙට් කැබැල්ලක් ගෙන නිය මත මදක් ඇදෙන සේ එළා ඇඟිල්ලේ දවටා ගන්න.

* ස්පොන්ජ් කැබැල්ල ගෙන නේල් ඇක්‍රික් හෝ නේල් පොලිෂ් තද කොළ පැහැය හා නිල් පැහැය කවරා ගන්න. ස්පොන්ජ් කැබැල්ලට පාට තවරා ගැනීමේදී වර්ණ දෙක වෙන් වී තිබෙන ලෙස පෙනෙන්ට තිබිය යුතුය. වර්ණ දෙක එකට කලවම් නොකරගත යුතුය.

* එම ස්පොන්ජ් කැබැල්ල නිය මත ප්‍රෙස් කරගනිමින් තීන්ත තවරා ගන්න.

* තීන්ත වියළුණු පසු නෙට් කොටස ඉවත් කරගන්න.

* දැන් සම මත තැවරුණු නිය ආලේපන ඇතොත් ටූත්පික් එකට හෝ ඔරෙන්ජ් ස්ටික් එකට පුළුන් ටිකක් දවටා නේල් පොලිෂ් රිමූවර් ටිකක් පොඟවා සීරුවෙන් ඉවත් කරගන්න.

* හොඳින් වියළී ඇත්දැයි බලා ඒ මත ටොප් කෝට්එක ආලේප කරගන්න.

* ඔබට කැමැති වර්ණ රටාවන් වෙනස් කරගනිමින් මේ ක්‍රමයට නේල් ආර්ට් කරගන්න.

 

ඉදිරිපත් කිරීම :

ප්‍රවීණ නිය අලංකරණ ශිල්පී

නිහාල් නන්දන රණතුංග