කෝවිඩ් කාලයේ පාස්පෝට් එක අලුතෙන් හදා ගන්නේ කොහොමද?

ජනවාරි 13, 2021

කෝවිඩ් සමයත් සමඟින් අපේ විදෙස් සංචාරයන්, විදෙස් ගමන් වාර බොහෝ දුරට අවම වෙලා. නමුත් මේ කාලය අතරතුර ඉතා අපහසුවෙන් මව්රටට පැමිණි අයත්, ඔවුන්ගෙන් ඇතැමෙක් සුපුරුදු රාජකාරි සඳහා නැවතත් විදෙස්ගත වීමටත් බලාපොරොත්තුවෙන් සිටින අය අපට මුණ ගැසේ.

විදෙස් සංචාරයක්, විදෙස් ගමනක් කීවොත් නිසැකවම අප අතදරන්නේ විදෙස් ගමන් බලපත්‍රයයි. ඉතිං කොරෝනා රැල්ලත් සමඟින් ජීවත්වන මේ වකවානුවේ අලුතින්ම විදෙස් ගමන් බලපත්‍රයක් ගන්නේ කොහොමද? දරුවන් සඳහා විදෙස් ගමන් බලපත්‍ර ගනිද්දී අනුගමනය කළ යුතු ක්‍රියා කලාප කවරේද? කල් ඉකුත්වූ විදෙස් ගමන් බලපත්‍ර නැවත දීර්ඝ කළ හැකි වන්නේ කෙසේද? වැනි ගැටලු රැසකටම මුහුණ දෙන්නට වූ පිරිස කොතෙකුත් සිටී. ඉතිං අපි හිතුවා පවුලේ වගකීම් දරන්නී කාන්තාව වන ඇයව මේ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ කරවීමට.

අලුතින්ම විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගන්නට අවශ්‍ය දෑ

අලුතින්ම විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගන්නට සිතන ඔබට බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ආගමන විගමන කාර්යාලය වෙත පැමිණීමට පුළුවන. නැතිනම් දිවයින පුරා පිහිටි ආගමන විගමන ශාඛා කාර්යාල ඔස්සේ ඔබේ මේ අවශ්‍යතාව සපුරාලිය හැකියි.

එක්දින සේවාව වෙතින් විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගන්නේ නම් ඒ සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණිය යුතුවේ.

කෝවිඩ් පවතින මේ කාලයේ වුවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව මුඛාවරණ පැලඳීම, මීටරයක දුරින් සිටීම, දෑත් සේදීම වැනි සෞඛ්‍ය නීතිරීතිවලට අනුගත වෙමින් වෙනදා මෙන් මහජනතාවට සෙත සැලසීමේ කාර්යයේ නියැළේ.

* මේ සඳහා ඔබ පළමුව කළයුතු වන්නේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා වූ අයදුම්පත පිරවීමයි.

මෙම අයදුම්පත www.immigration.gov.lk  යන වෙබ් අඩවිය ඔස්සේ ලබාගෙන පිරවිය හැකියි. අයදුම්පතේ ඡායාපිටපතක් වුව ගෙන පිරවිය හැකියි. එසේත් නැතිනම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට වුව ගොස් අයදුම්පතක් ගෙන පිරවීම කළ හැකියි. ඒ සඳහා ගෙවීමක් කළ යුතු නැත. වයස් භේදයකින් තොරව සියලුම අයදුම්කරුවන් මෙම අයදුම්පත පිරවිය යුතුයි. නැවත විදෙස් ගමන්බලපත්‍ර ගන්නා අය සහ විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වූවන්ද පිරවිය යුතු වන්නේ මේ අයදුම්පතයි.

* ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අනු ලියාපදිංචිව ඇති අනුමත ඡායාරූප ශාලාවකින් ඡායාරූපය ලබා එයද ඉදිරිපත් කළ යුතුයි. මේ ඡායාරූප ශාලා මොනවාද යන්නත්

 

 

www.immigration.gov.lk  වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකියි. ඒවා පළාත් හා දිස්ත්‍රික්ක අනුව බෙදා වෙන්කොට තිබේ. එම ඡායාරූපය දැමූ රිසිට්පතක් අදාළ ඡායාරූප ශාලාව ලබාදේ. එයද මෙම අයදුම්පත්‍රයට ඇමිණිය යුතු වේ.

* උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ එහි ඡායා පිටපතක් අවශ්‍ය වේ. ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපතක් ද එක්කළ යුතුයි.

* වෘත්තීය මට්ටමේ රැකියාවක ඔබ නියැළෙන්නේ නම් එය විදෙස් ගමන් බලපත්‍රයේ සඳහන් කළ යුතු නම් ඊට අදාළ රැකියා සහතිකය හෝ වෘත්තීය සුදුසුකම් සනාථ කළ හැකි ලේඛන හෝ ඉදිරිපත් කළ යුතුවේ. වෘත්තීය සුදුසුකම හුවාදක්වන හැඳුනුම්පතක් ආයතනයෙන් නිකුත් කොට ඇත්නම් එය හා එහි ඡායා පිටපතක් ඉදිරිපත් කිරීමද ප්‍රමාණවත් වේ. (මෙය පිළිගත් ආයතනයක් විය යුතුවේ.)

මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ඉහත සඳහන් කළ ලියකියවිලි යි. යමකුට විවාහයෙන් පසු භාවිතවන නම සනාථ කිරීම සඳහා විවාහ සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක් ද ඉදිරිපත් කළ හැකියි.

භික්ෂූන් වහන්සේලානම් සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපත ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

මෙසේ පුරවන ලද අයදුම්පත බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ නුවර, මාතර, වව්නියාව හා කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණිය යුතු වේ. පෙරවරු 8.00 - 8.15 පමණ වන විට අයදුම්පත් භාර ගනී. කෝවිඩ් රැල්ලට කලින් නම් පෙරවරු 7.00 වන විටම අයදුම්පත් භාර ගැනීම සිදුවුණි.

අවශ්‍ය ලියකියවිලි එක් දින සේවය සඳහා අංශයට ලබාදි පැය 4ක් පමණ ගත වූ පසු තමන්ගේ විදෙස් ගමන් බලපත්‍රය ලබාගත හැකි වේ. අයදුම්පත භාරදී මුදල් ගෙවීමෙන් පසු එය ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ඔස්සේ දැනුම් දේ. ඒ අතරතුර තවත් කෙටි පණිවුඩ 3ක්ම ලබාදෙන්නේ විදෙස් ගමන් බලපත්‍රය සඳහා එක් එක් පියවර අවසානයේදී යි. මෙම කෙටි පණිවුඩ ලබාදීම නිසා එම පැය 4ක කාලය වෙනත් කටයුත්තක් සඳහා වුව යෙදවීමට හැකිවේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පළමු මහලේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන අංශයෙන් එය ලබාගත හැකිවේ.

 

උපදෙස් - ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක

ගයාන් මිලින්ද