පසුගිය සතියේදී ලිංගික අපචාර හා ස්ත්‍රී දූෂණ

ජූලි 29, 2020

මානව ශිෂ්ටාචාරයේ පරිනාමයත් සොබා දහමේ පරිහානියත් දෙකම සමපාතිකව සිදු වූ ක්‍රියාදාමයකි. මේ නිසාම ලෝකයේ විනාශය ද දවසින් දවස අප වෙත ළඟා වෙන්නේ නොසිතන වේගයෙනි.

මේ විනාශයට පෙර පුංචි අනතුරු ඇඟවීමක් අපට ලැබුණි. ඒ කොරෝනා වසංගතයයි. ලෝකයට සිදු වන්නට යන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුන් සිතන්නට ගත්තේ ඉන් පසුවය.

මේ නිසාම බොහෝ සමාජ විද්‍යාඥයන් ලෝකයේ සිදුවන මේ විනාශයට හේතුව ලෙසින් දැක් වූයේ මානවයා විසින් සිදු කරන පරිසර විනාශයයි. එහෙත් පරිසර විනාශයට එහා ගිය දැවැන්ත සමාජ පරිහානියක් සිදු වී ඇති බව බුදු දහම ගැඹුරින් අධ්‍යනය කළ වියතුන් පෙන්වා දුන්නේ බොහෝ කාලයක පටන්ය. විශේෂයෙන්ම බුදු දහමේ දහම් පණිිවුඩය අප රට පුරා ගෙන යන මහා සංඝරත්නය මේ ගැඹුරු යථාර්ථය අප හට ධර්ම අර්ථ කරුණු සහිතව පෙන්වා දුන්නේ විනාශයක් අත ළඟ බව නිදර්ශන සහිතව විග්‍රහ කරමිනි.

එහෙත් මේ විනාශය අපට පෙනුණේ ද දැනුණේ ද යන්න ප්‍රශ්න කිරීමට කාලය ළඟා වි ඇති බව පෙනෙයි. ඒ තරමටම අප සමාජය පිරිහීමට පත් වී ඇත්තේ ඇදහිය නොහැකි ලෙසිනි. මේ සමාජ පරිහානියේ පරිමාව කෙතරම්දැයි දක්වන්නට ගෙවී ගිය දින කිහිපය ප්‍රමාණවත්ය. පසුගිය සතිය පුරා අපට අසන්නට දකින්නට ලැබුණු එම සිදුවීම් මාලාව සැබැවින්ම මාධ්‍ය මඟින් හෙළි කරීමට ද නොහැකි තරමටම අශිෂ්ට වූ සමාජ විපරිතයකි. මෙම සමාජ සෝදාපාළුව හමුවේ මල් කැකුළු වැනි අහිංසක ජීවිත ගණනක් ද අහිමි වීම දරුවන් සිටින මවුපියන්ගේ හදවතට වේදනාවකි. එසේම දරුවන් සිටින හැම මවකටම, පියකුටම තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ බියකි.

මේ සිදුවීම් අපට අසන්නට දකින්නට ලැබීම ද විශාල කනගාටුවකි. එහෙත් මේ විනාශය හමුවේ මාධ්‍යයක් ලෙස එම ප්‍රවෘත්ති සමාජය හමුවේ හෙළි කිරීම පමණක්ම ප්‍රමාණවත් නොවෙයි. එවැනි අමානුෂික පුද්ගලයන් සමාජයේ බිහි වූයේ කෙසේදැයි විශ්ලේෂණය කරීම ද වගකිව යුතු මාධ්‍යයක වගකීමකි.

‘තරුණී’ පුවත්පත ද උත්සාහ කළේ එම සමාජ පරිහානිය ගැන ඔබට හෙළි කරන්නටය.

එසේම මෙවැනි පුද්ගලයන් සමාජයේ බිහි වන්නේ ඇයිදැයි මත විමසුමක යෙදීම ද කාලීන වගකීමක් බව අපට හැඟෙයි. එහෙයින් සිදු වූ සිදුවීම අතුරින් කිහිපයක් පිළිබඳ පත්ඉරු සටහන් මෙලෙසින් අපි ඔබ හමුවේ තබමු.

මවකට සහ කුඩා දියණියට අතවර

මේ සිදුවීම් අතුරින් හිත් කීරිගන්වන සිදුවීමක් අසන්නට ලැබුණේ තෙබුවන ප්‍රදේශයෙනි. සිත් පිත් නොමැති පාපතරයකු අතින් අතවරයට පත් වී ඇත්තේ විවාහක කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණියයි. නෑබඩ ප්‍රදේශයේ් මේසන්වරයකු වූ සැකකරු 41 හැවිරිදි අයෙකි. බීමතින් පැමිණි මේ පුද්ගලයා මේ මවටත්, ඇයගේ කුඩා දියණීයටත් බරපතළ ලිංගික අතවරයක් කළ බව ද ඊට ප්‍රථම මේ පුද්ගලයා ඇයගේ 8 හැවිරිදි දියණීයට ද අතවර කර තිබේ.

මෙසේ අතවරයට ලක් වූ දියණිය ඔහුගෙන් මිදී අසල්වැසි නිවෙසකට පැමිණ එහි සිටි කාන්තාවකට සිදුවීම පවසා ඇත. කාන්තාව දැරියත් සමඟ ඇයගේ මවට මේ බව පැවසීමට පැමිණෙන විට සැකකරු දැරියගේ මවට ද ලිංගික අතවරයන් සිදු කරන අයුරු දැක තිබේ. පසුව නැවත ආපසු ගොස් අතවරයට පත් කාන්තාවගේ සැමියාට මේ බව දැන්වීමෙන් පසු ඔහුට එහි පැමිණ ඇයව බේරා ගැනීමට හැකි වී ඇත.

 

2020/07/29 තරුණි බලන්න