නව වසරේ අධිෂ්ඨානයන් සපුරාලන්නේ කොහොමද ?

ජනවාරි 15, 2020

බොහෝ දෙනෙක්, බොහෝ කලක් බලන් සිටි 2020 අවුරුද්දත් ලැබුවා. අලුත් ජීවිතයක්.

අලුත් ප්‍රාර්ථනාවන් ගණනාවක් සිත්හි රුවාගෙන සිටි ඔබට ඒ සියල්ලක්ම ඉෂ්ට සිද්ධ කරගන්න ඔන්න අවස්ථාව. ලැබුවා වූ නව වසරේ අධිෂ්ඨානයන් වෙතින් අරමුණු කරායන්නේ කොහොමද ? වෘත්තීමය ජීවිතයේ දී වේවා, පෞද්ගලික ජීවිතයේ දී වේවා වසරක් ආරම්භයේ දී අධිෂ්ඨානයන් ඔස්සේ අරමුණු කරා යෑම බෙහෙවින්ම වැදගත් වේ.

පළමුව ඔබ දින කිහිපයකට එහෙමත් නැතිනම් මාස කිහිපයක ආවර්ජනයෙහි යෙදෙන්න. 2019 වසරේදීත් ඔබ සතුව අධිෂ්ඨානයන් තිබෙන්නට ඇති. මේවායින් ඔබට ඉටුකරගත නොහැකි වූ අරමුණු, ඉලක්ක මොනවා ද? 2020 දී ඔබ පළමුව අධිෂ්ඨාන කළයුත්තේ පසුගිය වසරේ ළඟාවිය නොහැකි වූ ඉලක්ක සපුරාලීමටයි. එසේම පසුගිය වසරේ ජයගත් ඉලක්ක පිළිබඳ මඳකට මෙනෙහි කරන්න. ඒවා ඔබට ඉහළම සතුටක් විඳිය හැකි ඒවා ද? නැතිනම් පසුතැවිලි වන කාරණා ඒ තුළ තිබේ ද?

සැලැස්මකට අනුගතව කටයුතු කිරීම, අධිෂ්ඨානයන්, අරමුණු තිබීම කිසිම වැදගැම්මකට නැති දේවල් යයි සමහරු සිතයි අධිෂ්ඨානයන්, බලාපොරොත්තු, අරමුණු, සැලසුම් මේ සෑම දෙයක්ම ජීවිතයට අත්‍යවශ්‍ය යි. මේ දේවල් තිබුණොත් තමයි අපට යම් තරම් හෝ දුරකට යන්න පුළුවන් වෙන්නේ.

උදාහරණයක් ලෙස මේ වසරේ ඔබේ එක් අධිෂ්ඨානයක්, සැලැස්මක් වෙන්න පුළුවන්, සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා ඇපකැපවීම. මෙහිදී දැනට පවතින දියවැඩියා මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම, අධිරුධිර පීඩනය යනාදිය අඩු මට්ටමකට ගෙන ඒමට අධිෂ්ඨාන කරනවා විය හැකියි. ඒ අනුව ඊට අවශ්‍ය පරිදි ආහාර හා විහරණ රටාව සකස් කරගන්නට ඔබ සිතට ගනියි. මෙවැනි අධිෂ්ඨානයන් ඵලක් නොමැති වන්නේ කෙසේ ද? එහිදීත් අධිෂ්ඨානයක් නොතිබුණේ නම් ඔබට සෞඛ්‍යය දර්ශක අතින් පියවරක් හෝ ඉදිරියට තබන්නට නොහැකි වේවි.

වසරේ මුල විතරයි ඔය අධිෂ්ඨානයන්. අප්‍රේල් වෙනකොට නැවත මතක් වේවි. වසර මැද, අග වෙනකොට සියල්ල අමතක වේවි. නැවතත් අලුත් වසරක් ලබාවි. එහෙත් මම එකතැනමනේ කියා අධිෂ්ඨානයන් තබා ගැනීම තේරුමක් නැති දෙයක් කියා කිසිම විටෙක හිතන්න එපා.

Don’t make many resolutions

අධිෂ්ඨානයන් පමණට වඩා තබා ගන්න එපා

අධිෂ්ඨානයෙන් යුතුව ළඟාවිය හැකි ඉලක්ක එකක් හෝ දෙකක් තබාගැනීම වසරකට හොඳටම ප්‍රමාණවත්. ඇල්ඩින්ගේ පුදුම පහනින් ඉල්ලීම් රාශියක් ඉල්ලන්නාක් සේ අරමුණු මහ ගොඩක් තබාගැනීම අවශ්‍ය නැහැ.

Don’t worry if start is difficult

ආරම්භය අපහසු යැයි කනගාටු නොවන්න

අධිෂ්ඨානයෙන් යුතුව ඉලක්ක කරා යන ගමන ආරම්භයේ දී තරමක් අපහසු එකක් වේවි. එහෙත් ආරම්භ කොට එම මාවතට පිවිසෙද්දී එය කරගෙන යෑම අපහසු නැත. “මගේ රුධිර පරීක්ෂාව දැන් මෙහෙමයි. මං කොහොමද මේක අඩුකර ගන්නේ. හිතුවට මොකද හිතන තරම් ලෙහෙසි වෙන්නේ නැහැ.

උපාධියක් කරමින් සිටියදී තවත් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් කරන්න හිතනවා. මං කොහොමද මේ දෙක සමබරව කරගෙන යන්නේ. දෙකෙන් එකක්වත් හරියට කරගන්න බැරි වෙයිද? මේ වගේ දේවල් හිතමින් කාලය ගත කරනවා.

මුලදී යමක් කරන්නට හිතද්දී ඕනෑම කෙනකුට දහසකුත් එකක් ඍණාත්මක සිතිවිලි හටගන්න පුළුවන්. මේ දේවල් එන්නේ අපි කරන්න යනදේ නවත්වන්න, වළක්වන්න. නමුත් ඒ දේවල්වලින් අන්ධ වෙලා පසුබාන්න නම් එපා. කොහොම හරි අඩියක්වත් ඉස්සරහට තියන්න. වසර මැදදී වගේ නැවත අපේ අරමුණු කෙමෙන් කෙමෙන් ඈත්ව යන්න පුළුවන්. අතපසුවන, අමතකවන දේවල් තිබෙන්න පුළුවන්. තමා තමාවම ධෛර්යවත් කරගෙන ඉදිරියට යායුතුයි.

අරමුණු කරායන අවසාන මොහොතේදීත් පසුබාන්න වෙන අවස්ථා එන්න පුළුවන්. කිසිවිටෙක ඍණාත්මක සිතිවිලිවලට අපේ ජීවිත ඍණාත්මක වෙන්න දෙන්න එපා.

 

ආචාර්ය බුද්ධිමා සුබසිංහ

NIBM  හි පරිගණක විද්‍යා අංශයේ අංශාධිපති

2020/01/15 තරුණි බලන්න