වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
සමහර වෙලාවට මට හිතෙනවා මගෙ වයස අවුරුදු පන්සීයක් විතර ඇති කියලා

දිගු කලක් පුවත්පත් හා සමාජ මාධ්‍ය ඔස්සේ කාව්‍ය නිර්මාණයෙහි යෙදී සිටින දිනූ රාජගුරු සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන "මල් වඩම් සිනාසිය යුතුය" 2018 දී පළකළේය. පාඨක විචාරක සම්මානයට පාත්‍රවූ කෘතියක් විය. මේ වන විට ඇය සිය දෙවැනි කාව්‍ය සංග්‍රහය "අඬ ගසයි මට රාත්‍රිය" නමින් පළකිරීමට සූදානම් වෙමින් සිටියි.
ඔබ එක්වරම අතුරුදන්වන නැවත මතුවී මූණු පොතේ කවි ලියන, සක්‍රියව හොඳ ප්‍රතිචාර ලබන ඉන්ද්‍රජාලික කිවිඳියක්. මේ සජීවී, සක්‍රීය රසිකත්වය ගැන ඔබ මොකද හිතන්නෙ.
සාමාන්‍යයෙන් කාලෙකදි ලියන කාලෙකදි නොලියා අතුරුදහන් වෙන කිවිඳියක් විදියට වුණත් මට හැමදාම තිබුණේ ඉතා හොඳ ප්‍රතිචාර. පහුගිය දවස්වල නිරුත්සාහික ක්‍රියාවලියක් විදිහට එක දිගට කුඩා කවි කීපයක් ලියවුණා වගේම ඒවටත් පුරුදු විදිහට යහපත් ප්‍රතිචාර තිබුණා.
ඔබ විමසුවා වගේ සමාජ මාධ්‍ය තුළින් ලැබෙන ක්ෂණික සහ සක්‍රීය ප්‍රතිචාර නිර්මාණකරුවෙකුට ලොකු උත්තේජනයක් බවට පත්කරගන්න පුළුවන්. පුද්ගලිකව ගත්තොත් මගෙ කවිවල මූලික සහ එකම වැඩබිම වුණේ ෆේස්බුක් අවකාශය . එතැනදි මම හිතන්නෙ නිර්මාණයකට ලැබෙන ධනාත්මක අගය කිරීමක් විසින් තවත් නිර්මාණයක් කරා නොදැනුවත්වම තල්ලු කිරීමක් සිද්ධ වෙනවා. ලියන්න කම්මැලි මනුස්සයෙක් විදිහට මම ඒකට අතිශයින් ප්‍රියයි. නමුත් මැදහත් සිතින් සහ අවබෝධයෙන් බැලුවොත් සක්‍රීය ප්‍රතිචාරවල එක්තරා ආකාරයක අභියෝගයකුත් තියෙනවා. ප්‍රතිචාර ප්‍රවාහයේ ඔහේ ගහගෙන යන්න ඉඩ ඇරියොත් නිර්මාණකරුවාට තමන්ගේ සැබෑ ආත්මය අහිමි වීමේ ඉඩකඩ වැඩියි. ඒක කවියෙදි විතරක් නෙවෙයි ඕනෙම ක්ෂේත්‍රයක නිර්මාණකරුවෙකුට සිද්ධ වෙන්න පුළුවන් අකරතැබ්බයක්.
කවුරු හරි පාඨකයෙක් ලිපිනය හොයාගෙන නිර්මාණයක් අගය කරලා එවන පුංචි ලියුම් කඩදාසියකින් ලැබෙන නොස්ටැල්ජියානු උත්කර්ෂය ඒ විදිහටම ෆේස්බුක් අවකාශයෙදි ගන්න බැරි බව ඇත්තක්. නමුත් මේ මොහොතේ අපි ජීවත් වෙමින් ඉන්නෙ ක්ෂණික ලෝකයක නිසා ක්ෂණික ප්‍රතිචාර ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒවත් එක්ක අවබෝධයෙන් ඉස්සරහට යන්න සිද්ධ වෙලා තියෙනවා .
‘මල් වඩම් සිනාසිය යුතුය‘ කියන රසික ජනාදරයට පත් ඔබේ පළමු කාව්‍ය සංග්‍රහය තුළින්ම ඔබ යම් අන්‍යයතාවක් ගොඩනගා ගන්නවා. ඒක මතුවෙන්නෙ ඔබේ ගෙතුමෙ තියන භාෂා අලංකාරය හා සෞන්දර්ය නිසාද? ඒකට ඉතිහාසයක් තිෙයනවද?
අත්පත් කරගත යුතු කාව්‍ය ගුණයන් තිබියදී භාෂාලංකාරය සහ සෞන්දර්ය පමණක් තිබූ පමණින් යමකට කවියක් බවට පත් වෙන්න අමාරුයි ."මල්වඩම් සිනාසිය යුතුය " කියන්නෙ 2018 වර්ෂයේ රජත පුස්තක, විද්‍යෝදය, රාජ්‍ය සාහිත්‍ය ඇතුළු තවත් සම්මාන උළෙලවල් කීපයක අවසාන වටයට තේරුණු කාව්‍ය සංග්‍රහයක්.
මම හිතන්නෙ ඒක ඇතුළේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු තියෙනවා. ඒ වගේම මගෙ කවි ඇතුළේ භාෂාලංකාරය සහ සෞන්දර්ය තියෙනවා කියන එක ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.කවියකදි වචන සහ ඒවායෙන් දනවන ඉසියුම් සංවේදනාවන් තමයි මම වඩා කැමතිම කොටස.
වර්තමාන ස්ත්‍රී භූමිකාව පිළිබඳ ඔබේ තියෙන්නේ විරෝධාකල්පයකට වඩා යම් පමණක උපේක්ෂා සහගත, ශාන්ත බාරගැනීමක්. ඔබේ රිදීම දැනවීමට එය සෑහෙනවද?
මම හිතන්නෙ ඒකට කාරණා කීපයක් තියෙනවා. ඔබ අහන ප්‍රශ්නයේ දේශපාලනික හැඩයක් තිබුණා වුණත් මම දෙන උත්තරය ආදේශපාලනික සහ වගකීම් විරහිත උත්තරයක් වෙන්න පුළුවන්. පළවෙනි කාරණය, කවිය කියන්නෙ මගෙ අභ්‍යන්තර හැඟීම් එක්ක මා විසින්ම කරනු ලබන එක්තරා සැහැල්ලු සංවාදයක්. එහෙම නැත්තම් එක්තරා ආකාරයක නිදහස් වීමක්.
සමහර වෙලාවට මට හිතෙනවා මගෙ වයස අවුරුදු පන්සීයක් විතර ඇති කියලා. එහෙම දැනෙද්දි ජීවත් වෙන එක පවා වෙහෙසක්. එහෙව් මොහොතක මම කැමතියි නිහඬ නිවීමක් ඇතුළේ යම් තරමකට සන්සුන්ව ලෝකය දිහා බලන්න. දෙවැනි කාරණය, වේදනාව උස්මුරුත්තාවට එන්න තරම් අත්දැකපු මනුස්ස ප්‍රාණියෙක් විදිහට යළි යළිත් ඒවා ඇතුළේ කිමිදෙමින් ලිවීම කියන්නෙ නැවත වටයකින් මාවම තුවාල කරගැනීමක්. ඒ හානියේ දිග, පළල සහ ගැඹුර පිටින් බලන කෙනෙකුට නිර්ණය කරන්න අමාරුයි. ඒ නිසා ඔබ කිවූ කාරණා මා විසින් හිතාමතා මඟහරිනවා හෝ එවැනි ලිවීම් සීමාසහිත බවකින් කරනවා වෙන්නත් පුළුවන්.
ඔබ කාව්‍යකරණයේදී උපමා හා රූපක භාවිතයේදී ගොඩක් වෙලාවට තෝරගන්නේ සොබා දහමේ සියුම් චලනයන්. ඔබේ ව්‍යවහාරික ජීවිතය කොතරම් දුරට සොබා දහම හා බැඳුණු එකක් ද?
ගස් කොළන්, කඳු, දිය පාරවල් කියන්නෙ මගෙ ළමා අවදියේ මිත්‍රයෝ. සමහර වෙලාවට එයාලා තමයි මගෙ ළඟ හිටපු ආදරණීය ඥාතීන්. ඒ නිසා මගෙ ජීවිතයෙන් අඩක්වත් පිරිලා තියෙන්නෙ සොබාදහමේ ඉතා කුඩා සහ මිහිරි සංසිද්ධිවල මතකයෙන්. ජීවිතේ නීරසයි කියලා නොදැනුණේ එක කාලෙකදි මට පේන මානයේ පිහිටලා තිබුණු නමක් නොදන්නා උස කන්ද නිසා. ඒ කන්ද නිතරම මාව පුදුමයටත් ප්‍රහර්ශයටත් පත් කළා. කන්ද කවදාවත් කොහේවත් නොගිහින් ඉන්න නිසා. මට තනියක් දැනුණේ නෑ. ඒත් එක්කම මුළු දවස තිස්සෙම මගෙ ඉස්සරහින් ගලාගෙන ගියපු පුංචි ඇළපාරක් තිබුණා. ඒ ඇළ පටන් ගන්නෙ අර කියපු කන්දෙන්. ඉතින් අපි නොපෙනෙන රැහැනකින් බැඳුණු සදාතනික මිත්‍රයෝ වගේ කාලයක් එකට ජීවත් වුණා. එකට වැළපුණා. එකට නිහඬව සිටියා. ඒ පරිසරයෙන් ගැලවිලා එන්න සිද්ධ වුණාම මම මගෙ ආත්මයෙන් කොටසක් එතැන දාලා ආවා. ඒ නිසාම මම අසම්පූර්ණ මනුස්සයෙක්. එදායින් පස්සෙ ජීවත් වුණු හැමතැනකම තිබුණු ගස් කොළං වලින්, අහසෙන්, තරුවලින් අර පුරුදු මිත්‍රත්වයෙන් කොටසක් හරි හොයාගන්න උත්සාහ කරන එක පුරුද්දක් වෙලා. ඉතා කිට්ටු මිත්‍රයෝ හරි නෑදෑයෝ හරි මවුපියෝ කියලා හරි කවුරුත් මට නෑ. ආයාසයෙන් මිශ්‍ර කළොත් ඇරෙන්න ඒ කවුරුත් මගෙ කවිවලට ඇතුළු වෙන්නැති හේතුව ඒක වෙන්න ඕනෙ. පොදු මනුස්ස ස්වභාවය ගැන ලියද්දි වුණත් මගෙ ඔළුවට එන්නෙ සොබාදහමේ යමක් විතරයි. මේ ලියන මොහොතෙත් මට අර කලින් සඳහන් කළ කන්දේ නිහඬ උණුසුම් සංවාදයත් පුංචි ඇළපාරේ මෘදු සංගීතයත් ඇහෙනවා.
සිංහල කවි සමාජයේ බොහෝ දෙනෙක් අඳුරන ජනප්‍රිය කිවිඳියක් වීම පිළිබඳ ඔබට දැනෙන්නේ කොහොමද?
ලිවීම ඇතුළෙ මහා බර වැඩ ගොඩක් නොකළත් ප්‍රසිද්ධ පොදු අවකාශයන්හි පෙනී නොසිටියත් බොහොමයක් දෙනා හඳුනන කිවිඳියක් වීම සතුටට කාරණයක්.
සමහර වෙලාවට ලිවීමට විතරක් නෙවෙයි ජීවත් වීමටත් ඒ හරහා හයියක් ලැබෙනවා.
කවි නිර්මාණ අගය කරන, බෙදා හදාගන්න, මුද්‍රිත හා රූප මාධ්‍යට ඒවා අරන් යන පිරිසට මේ ගෞරවය අයිතියි.
පොතක් කිරීමේ අපේක්ෂාවෙන් නොලීවත්
"මල්වඩම් සිනාසිය යුතුය " කියන පළවෙනි පොතේදිත් මම කලේ ලියවුණු කවි ටික පොතක් බවට පත් කරපු එක. නොහිතපු විදිහට මගෙ කාව්‍ය ශෛලිය එක්ක බැඳුණු කුඩා පාඨක ප්‍රජාවක් එතැනින් බිහිවුණා.
"අඬගසයි මට රාත්‍රිය " නමින් දෙවැනි කවි එකතුවත් ඉක්මනින් පොතක් බවට පත්කරන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා."ඉතාම හොඳ කවි" වෙනුවට මගෙ හදවතේ මිදී තැන්පත් වුණු කාටවත් කියාගන්න බැරි සාංකාමය හැඟීම් එක්ක ගැටගැහුණු, සොබාදහමේ අභාෂය ලත් නිර්මාණ කීපයක් ඒ පොතේදිත් පාඨකයන්ට මුණගැහෙයි.