වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
කාශ්මිරයේ වෛරී ගිනිපුලිඟු

පසුගිය දා සංචාරක ආකර්ෂණීය පෙදෙසක් වූ පහල්ගම් කඳුකර මිටියාවතේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ යළි දැල්වී ඇති අයුරු පෙනෙනවා. එවක් පටන් ඉන්දියා සහ පාකිස්තාන භට පිරිස් අතර කිහිපවරක්ම වෙඩි හුවමාරු සිදුවෙමින් තිබියදී, යුද බියක අඳුරු සෙවණැළිලි කාශ්මීරය හරහා පතිතව ඇත්තේ දැඩි අවිනිශ්චිතතාවක් සමඟ.
ප්‍රහාරයත් සමඟ වහා ප්‍රතිචාර දැක්වූ ඉන්දියාව ප්‍රකට අතාරි වාගා දේශ සීමාව වසා දැමුවා. එය හරහා දෙරට අතර ඇත්තේ පියවර කිහිපයක දුරක් පමණක් වුවද යළිත් වරක් ගව් ගණනකින් දෙපාර්ශ්වය ඈත් වී ඇති බවක් හැඟෙනවා. ගුවන් සීමා ද වසා දැමුණු අතර, ඉන්දියාවේ සිටි පාකිස්තාන ජාතිකයන්ට දින කිහිපයක් තුළ එරටින් පිටවීමට නියෝග කෙරුණා. පාකිස්තානය ද ඒ හා සමාන අයුරින් ප්‍රතිචාර දැක්වූ අතර එතැන් පටන් අතාරි දේශසීමාව හරහා දහස් ගණනක පිරිසක් දෙපසට ගමන් කර තිබෙනවා.
නොසිතූ නොපැතූ ලෙස හදිසියේ උද්ගත වූ මේ තත්ත්වය යටතේ ඉන්දියා හා පාකිස්තාන පවුල් අතර විවාහයට එළැඹි යුවළ මෙන්ම එම දරු පවුල්වල සාමාජිකයන් ද අසරණව ඇති අයුරු හා ඇතැමෙක් හැඬූ කඳුළින් යුතුව එකිනෙකාගෙන් සමුගන්නා අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇතැම් විට වසර ගණනාවක් ගතවූ අසීරු ප්‍රයත්නයකින් පසු වීසා ලැබ සිය නෑ හිතමිතුරන් හා එක්වන්නට ලැබීම ගැන සතුටු කඳුළු වැගිරූ ඔවුන්ට දින කිහිපයක් හෝ පැය ගණනක් තුළ සිය සමීප නෑ සියන් අත්හැර සමුගැනීමට සිදුවූයේ ඛේදනීය අයුරින්.
61 හැවිරිදි වියේ සිටින ෂහීඩා පාකිස්ථානයේ සිට ඉන්දියාවට පැමිණෙන්නේ 2002 වසරේ දී. ඒ, සිය මස්සිනා වූ ඛාන් සමඟ යුග දිවියටයි. ඛාන් ජීවත් වූයේ පන්ජාබයේ. පොහොසතුන් නොවුණත් එතැන් පටන් දශක දෙකක් තිස්සේ දරුවන් ද සමඟ ඔවුන් ජීවත් වුණේ සතුටින්. ෂහීඩා ඉන්දියාවේ ජීවත්වූයේ දිගුකාලීන වීසා පදනමින්. මෙලෙස ආවාහ විවාහ කරගත් අයට වසර 5ක කාලයක් සඳහා එම වීසා නිකුත් කෙරෙනවා. එය එම කාලය අවසන යළි අලුත් කළ යුතුයි. වසර කිහිපයකට වරක් ෂහීඩා පාකිස්තානයට යන්නේ සිය සහෝදර සහෝදරියන් ඇතුළු නෑයන්ගේ සුවදුක් විමසා ඔවුන් දැකබලා ගෙන පැමිණීමටයි. නව තත්ත්වය යටතේ ඇය අසරණව සිටින්නේ යළිත් ඔවුන් දැකබලාගැනීමට හැකිවේද යන අවිනිශ්චිතතාව හේතුවෙන්. පාකිස්තානයට යාමට අවසර ලබාගත්ත ද ආපසු ඒමට අවසර ලැබේදැයි කිව නොහැකි බැවින් ඇය තීරණය කර ඇත්තේ, සැමියා සහ දරුවන් සමඟ ඉන්දියාවේම විසීමටයි. මෙලෙස පාකිස්තානයට යන අය ආපසු පැමිණීමේදී බලපත්‍රයක් (NORI) ලබාගත යුතුව ඇති අතර උද්ගතව ඇති උණුසුම් තත්ත්වය මැද එය කොහොමටත් පහසු නොවනු ඇත. ෂහීඩා පවසන පරිදි ඇය ඉන්දියානු පුරවැසි බව ලබාගැනීමට 2009 වසරේ දී අයදුම් කර ඇති නමුත් , මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නෑ.
17 හැවිරිදි අයාන් පාකිස්තානුවෙක්. ඔහු සිය ඉන්දියානු මව සමඟ ඉන්දියාවට පැමිණ සිටියේ සිය නෑදෑයන් හමුවීමටයි. දැන් මේ දරුවාට සිදුව ඇත්තේ සිය මව එහි තනිකර ආපසු යාමටයි. දේශ සීමාව දක්වා යන අතර ඔහු තමන් දෙසට කැමරා හා මයික්‍රෆෝන යොමුකළ මාධ්‍යවේදීන්ගෙන් සංවේදීව විමසා ඇත්තේ, "මේ ප්‍රහාරය සිදුකළ අය දඬුවම් කරලා තියෙන්නෙ අපට. එහෙම කරන්න අහිංසක අපි කළ වරද මොකක්ද ?" යනුවෙන්.
වසර 41ක් තිස්සේ ඉන්දියාවේ ජීවත්වන බව පැවසූ පර්වින් යනුවෙන් තමන් හඳුන්වා දුන් කාන්තාවකට ද එරටින් පිටවීමට සිදුව තිබුණා. අතාරි දේශ සීමාව දක්වා යන බස් රථයේ සිට ඇය පවසා තිබුණේ පාකිස්තානයට ගිය ද එහි තමන්ට කියා කිසිවෙක් නැති බවයි.
" මට එහෙ යන්න හරි ඉන්න හිටින්න හරි තැනක්වත් නෑ.." යනුවෙන් ඇය පවසන්නේ කනගාටුවෙන්.
මරියා නම් පාකිස්තාන යුවතිය හා ඇයගේ ඉන්දියානු පෙම්වතා සෝනු අතර විවාහය සිදුව ඇත්තේ පසුගිය වසරේ දී. එක්වීමට ලැබීමේ සතුට මාස කිහිපයකට සීමා කරමින් මේ වනවිට ගැබිනියක වන සෝනු දෙගිඩියාවෙන් සිටින්නේ,ආපසු යාමට සිදුවේ ද යන ගැටලුව හේතුවෙන්. තමාට ආපසු යාමට අනවශ්‍ය බව ද දන්වමින් දිගුකාලීන වීසා අයදුම් කළ බව ඇය පවසනවා. කෙසේ වුවද ,මෙම දිගුකාලීන වීසා මෙන්ම පුරවැසි බව සඳහා කරන ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබෙන විට බොහෝවිට වසර ගණනාවක් ගතවී අවසන්. මෙවැනි අවිනිශ්චිත මෙන්ම යුදමය වාතාවරණයක් යටතේ කොහොමටත් එය වඩාත් කල්ගතවන ක්‍රියාවලියක් බවට පත්වීම වැළැක්විය නොහැකියි.
බාෂ්කරී නම් ඉන්දියාවේ උපන් පාකිස්තානයේ ජීවත්වන කාන්තාවක් සිය නෑනාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ඉන්දියාවට පැමිණ තිබුණේ වසරකටත් වඩා කල් ගතවූ වීසා ක්‍රියාවලියට පසුව. ඇය පවසන පරිදි ඔවුන් මින් පෙර ඉන්දියාවට පැමිණ ඇත්තේ මීට වසර 10 කට කලින්. " වීසා ලැබුණු බව අපි ගොඩක් සතුටින් නෑදෑයන්ට කිව්වා. අපි මේ ගමන ආවේත් හරිම සතුටෙන්. ඒත් මඟුල් ගෙදරට ඉන්නෙත් නැතිවම අපිට ආපහු යන්න වෙලා. හැමෝම මඟුල් ගෙදර ඉන්දැද්දි අපි මෙතැන.. මහපාරෙ.." ඇය දැඩි කනගාටුවකින් එලෙස පවසා තිබුණේ පාකිස්තානුවන්ට රටින් පිටවීමට ලබාදුන් කාල සීමාව 27 වැනිදායින් අවසන් වෙද්දී ඊට දිනකට කලින් රටින් පිටවීමට දේශ සීමාවේ සිටියදී.
සවීනා කුමාරිගේ විවාහය සිදුවූයේ ද ඉන්දියානුවෙක් සමඟ. ඔවුන්ගේ දරුවන් ඉන්දියානුවන් බැවින් ඔවුන්ට පියා සමඟ ජීවත්වීමට අවසර ඇති නමුත් මවට දිගුකාලීන වීසා නොමැති නම් පියා සහ දරුවන් සමඟ ජීවත් වීමට අවසර ලැබෙන්නේ නෑ. සැමියා සහ දරුවන් හැර යාම කළ නොහැකි බව ඇය පවසන්නේ හැඬූ කඳුළින්. ඉන්දියානු යුවතියක වන ෂකියා සහ පාකිස්තාන ජාතික ෂහීබ් යුග දිවිය අරඹා සතියක් පමණක් ගෙවී යද්දී දෙරට අතර මෙම උණුසුම ඇතිවීම හේතුවෙන් මධුසමය ගෙවෙන්නටත් පෙර නව යුවළට දෙපසට වන්නට වී ඇත්තේ ද කඳුළු පිරි නෙතින් යුතුවයි.
මෙවැනි පීඩාකාරී තත්ත්වයක් යටතේ ඇතැමෙක් කියන්නේ, පෙරුම් පුරා අතිනත ගෙන මෙලෙස වෙන්වන්නට සිදුවීම ඉරණම නම්, ඉන්දු- පාකිස්තාන විවාහයන්ට නීතියෙන් අවසර නොදීම වඩාත් හොඳ බවයි.කෙසේ වුවද, දශක ගණනාවක් තිස්සේ ඔවුන් අතර ආවාහ - විවාහ සිදුවන්නේ ජාතිකත්වය හෝ දේශසීමා ප්‍රේමයට හරස්කර නොගනිමින්.
පාකිස්තානය බිහිවෙද්දී ද පවුල් විශාල ගණනක් බිඳී ගොස් දෙපසට වීම අසීරුවෙන් දරා ගැනීමට ඔවුන්ට සිදුවූවා. එවක් පටන් ඇතැම් පවුල් හා නෑදෑ සබඳතා බිඳ වැටෙද්දී බොහෝ දෙනා දැඩි අසීරුතා මැදවුව එකී සබඳතා පවත්වා ගෙන යනු ලැබුවා.
එබැවින්, පටු වාර්ගික, ආගමික, භෞමික ආදී කවර හෝ බෙදීම් වලට මුවා වූ මෙවැනි අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරවලින් එක් අතකින් අහිංසක මිනිස් ජීවිත උදුරාගන්නා අතරම අනෙක් අතින් මෙවැනි ගැඹුරු මානව සම්බන්ධතා ද සුනු විසුනු කර දැමීම සිදුවෙන බව පැහැදිළියි .
මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ කවුරුන් වුවද වටහා ගතයුතු සරල සත්‍යය නම් ජාතීන් මත, ආගම් මත , කුලය මත හෝ භූමිය මත පදනම්ව කොතෙකුත් බෙදීම් කළ හැකි වුවද හදවත් බෙදා වෙන්කරන්නට නොහැකි බවයි.