ඔබ ඔබම වන්න..

පෙබරවාරි 26, 2020

සාර්ථක ජීවිතයක් ගත කිරීමට මෙන්ම ජීවිතය දිනීමට නම් අප ගැටලුකාරී තත්ත්වයන් අවම කරගත යුතුය. විශේෂයෙන් ම ඒ සඳහා තමා තමා සමඟ ඇති සබඳතා පිළිබඳ දැනගත යුතුය.

තමා කවුද යන්න හඳුනා ගැනීම සියල්ලට වඩා වැදගත් වේ. ඒ අනුව අපට ජීවිතයේ තීරණ ගැනීම පහසු වේ.

මම, මා ගැන සිතා තිබෙන්නේ මොනවාදැයි සොයා බලමු. මෙය ගැඹුරු සංකල්පයකි.

ගැටුම් ඇතිවන්නේ බෙදීමක් ඇති විටයි. බෙදීමක් නැති තැනක ගැටුමක් ඇති නොවේ. ඉඩමක පවා මායිම් ප්‍රශ්න ඇතිවන්නේ මායිම් තිබෙන විටයි. මායිමක්, බෙදීමක් නැතිනම් එතැන මායිම පිළිබඳ ඉඩම් ආරවුල් ඇතිවන්නේ නැත.

ලෝකයේ ඇති ප්‍රාථමික නැතිනම් පළමු බෙදීම වන්නේ මම සහ ඔබ, මගේ සහ ඔබේ යන බෙදීමයි. මෙය සංකල්පයකි. ඇත්තටම මෙය තිබෙන දෙයක් ද නැත්ද යන්න පිළිබඳ සිතූ විට යමකුට කෙදිනක හෝ එවැනි දෙයක් නැති බව දැනෙන්නට හැකිය. මේ තත්ත්වය යම්කිසි අයකුට යම්කිසි දවසක වැටහෙන්නට පටන් ගනී. එතෙක් ඔබ සහ මම යන්න දෙදෙනෙක් බවට වැටහීමක් පවතී.

මෙහි මූලික දේ වන්නේ මම කියන කෙනා පිළිබඳ මගේ හිතේ ඇති තක්සේරුව කුමනාකාරද යන්නයි. ඇතැම් අය තමා පිළිබඳ අධි තක්සේරුවක් ඇතිකර ගනී. මෙසේ අධි තක්සේරුවක් තමා ගැන ඇතිකර ගැනීම තමාට හිතකර තත්ත්වයක් නොවේ. එසේ වූ විට තමා ඒ නිසා බලාපොරොත්තු ඇතිකර ගනී. තමාට දේවල් ලැබිය යුතුයි, අනෙක් අය තමාට ගරු කළ යුතුයි, සමාජය තමා ගැන දැනගත යුතුයි ලෙසින් සිතීමට පෙලඹෙන්නේ මෙලෙස තමා ගැන අධි තක්සේරුවකින් සිතන පුද්ගලයන් ය.

ඇතැම් පුද්ගලයෝ තමාගේ අඩුපාඩු, නොහැකියාවන් ආදිය ගැන නොසිතා තනතුරු, අවස්ථා ආදිය තමාට ලැබිය යුතු යැයි සිතා කටයුතු කරති. එසේ නොවුණ විට කලහකාරී ලෙස හැසිරෙති. තවත් පුද්ගලයන් තමන් ප්‍රසිද්ධ, ජනපි‍්‍රය චරිතයකැයි සිතයි. එසේ සිතා කටයුතු කිරීමේ දී ඇතිවන ගැටලුවල දී ගැටුම්කාරී තත්ත්වයන් උද්ගත වේ. එවැනි අවස්ථාවන් අපේ සමාජයෙන් ම අපිට උදාහරණ ලෙස ගත හැකියි.

පසුගිය වසරේ එක් ප්‍රාදේශීය මහජන නියෝජිතයකුගෙන් පොලිස් නිලධාරියකු හැඳුනුම්පත ඉල්ලූ අවස්ථාවේ දී ඒ පුද්ගලයා විසින් කලහකාරී ලෙස හැසිරීම රටේම ප්‍රචලිත සිද්ධියක් විය. මෙවැනි සිද්ධි ඇතිවන්නේ තමා ගැන අධි තක්සේරුවකින් කටයුතු කරන බැවිනි. තමා ගැන අධි තක්සේරුවකින් සිතා සිටින පුද්ගලයා නිතර සිතන්නේ අනෙක් අය තමාට නොසලකන බවත්, තමාව ගණන් නොගන්නා බවත් ය. එසේ සිතා තමාගේ සිත රිදවා ගෙන අනෙක් පුද්ගලයන් හා ගැටුම් ඇතිකර ගනී.

උපදෙස් කළමනාකරණ උපදේශක දීපාල් සූරියආරච්චි

 

2020/02/26 තරුණි බලන්න.