සීතල දි ය පිරි නිලට නිලේ ගිලී නාමු අපි කුමරි වළේ

මාර්තු 10, 2021

ඇද හැලෙන ජල පහර කිරි සුදු පෙන පිඬු නංවමින් මිහිරි හඬක් නංවයි. ජලය පිරුණු තටාකයේ ප්‍රීතියෙන් පිහිනා යන සුන්දර රුවැත්තියකි.

ඇගේ ගත දැවටුණු දුහුල් සළුව කිරි සුදු පෙණ කැටි සමඟ මුසුවී ගොසිනි. පළිඟු කැටයක් සේ විනිවිද පෙනෙන ජල දෝතක් ගත් කුමරිය ඉහළට වීසි කරමින් ප්‍රීතියෙන් සිනා සෙන්නීය. ඒ සිනා හඬ අවට ගල්පරවල වැදී දෝංකාර දෙමින් ඈතට ඇසෙන්නට ඇත. කුමරියගේ පරිවාර යුවතියන්ද ඒ හඬට එක්ව සිනා නගද්දී මහිපිට සුරපුරයක් මැවෙන්නට ඇත.

මගේ කල්පනා දැහැන බිඳී ගියේ කිසිවකු ඉහළ ගල් කුලක සිට පහළ ජලය පිරි පොකුණට කරණමක් ගසමින් පනිද්දී ඇතිවූ හඬිනි. හිරිමල් යොවුන් වියේ සිට තරුණ කොලු ගැටයකු ගැසු කරණමින් ඉහළට විසිවුණු ජලය බිඳී විසිරී සිහින් හිරි පොදක් සේ මගේ ගත තෙමා දැමීය. ඔහු පිනූ ජලය පිරුණු තටාකය ස්වාහාවිකව නිර්මාණය වූවකි. තරමක ගැඹුරින් යුතු නිසා රිසිසේ කිමිදී යා හැකිය.

ගත සිත නිවනා සොඳුරු සැරිසර චාරිකාවේ අප මේ පැමිණ සිටින්නේ දිය කෙළියේ යෙදෙන්නටම නිර්මාණය වී ඇති සොබාදම් දිනිතියගේ තවත් එක් අපූරු ස්ථානයක් ලෙස සැලකිය හැකි කුමාරි ඇල්ල වෙතය. අගනුවර සිට පැය එකහමාරක පමණ ඉතා කෙටි ගමනකින් පසු ඉතා පහසුවෙන් ළඟාවිය හැකි ඉසව්වක පිහිටා ඇති නිසා මෙම කුමාරි ඇල්ල දිය නාන්නට කැමැති දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රියතම ස්ථානයක් බවට පත්ව ඇත.

කොළඹ - රත්නපුර මාර්ගයේ කොළඹ සිට රත්නපුර දෙසට ගමන් කරන විට අවිස්සාවේල්ල නගරයට පෙර පුවක්පිටිය දුම්රිය පොළ හමුවෙයි. එම ස්ථානය මඳ දුරක් ගියවිට දකුණට ඇති තුම්මෝදර පාරට හැරී කිලෝමීටර තුනක් පමණ යන විට කුමාරි ඇල්ලට පිවිසෙන මාර්ගය වම්පසින් හමුවේ. මෙය ඉතා පටු මාර්ගයකි. එහි හැරී මීටර් 400 ක් පමණ ගමන් කරන විට වම් පසින් කුමරි ඇල්ලට ළඟාවිය හැකිය. ඔබ වාහනයකින් පැමිණෙන්නේ නම් මෙහි ගමන් කරන සෙසු වාහන වලට අවහිර නොවන ලෙස එය ඉඩකඩ ඇති ලෙස නවතා තැබිය යුතුය. කුමාරි ඇල්ලට ළඟාවීමට මෙතැන් සිට තරමක පහළ බෑවුමක් බැස යායුතුය. වඩාත් අවදානම් නොවූවත් එය පරෙස්සමින් බැසිය යුතුය. එසේ බැස යන ඔබට පළමුව ඈත සිට ලතාවකට ගලා එන අඹන්ගම ඔය නෙත ගැටේ. එතැන් සිට ක්‍රමයෙන් පහළ බලන විට මිහිපිට සුරපුරයක් මාර්ගය වම්පසින් හමුවේ. මෙය ඉතා පටු මාර්ගයකි. එහි හැරී මීටර් 400 ක් පමණ ගමන් කරන විට වම් පසින් කුමරි ඇල්ලට ළඟාවිය හැකිය. ඔබ වාහනයකින් පැමිණෙන්නේ නම් මෙහි ගමන් කරන සෙසු වාහන වලට අවහිර නොවන ලෙස එය ඉඩකඩ ඇති ලෙස නවතා තැබිය යුතුය. කුමාරි ඇල්ලට ළඟාවීමට මෙතැන් සිට තරමක පහළ බෑවුමක් බැස යායුතුය. වඩාත් අවදානම් නොවූවත් එය පරෙස්සමින් බැසිය යුතුය. එසේ බැස යන ඔබට පළමුව ඈත සිට ලතාවකට ගලා එන අඹන්ගම ඔය නෙත ගැටේ. එතැන් සිට ක්‍රමයෙන් පහළ බලන විට මිහිපිට සුරපුරයක් සේ මහල් කිහිපයකට ගලා හැලෙන කුමාරි ඇල්ල මනස්කාන්ත දසුනක් නෙත් ඉදිරියේ මැවී පෙනේවි.

අප කුමාරි ඇල්ල අවට ගස්වැල් වලින් පිරුණු පරිසරය ගතට ගෙනදුන්නේ සුවදායී බවකි. . ශාන් මල්ලී කැමරාව ගෙන අවට රූගත කරද්දී මම සෙමෙන් සෙමෙන් ගලින් ගලට පනිමින් ඉදිරියෙන් ඇති ගල් තලාවට පිවිසියෙමි. එතැන් සිට ඉහළ බැලුවිට නිතඹ සොලවා තාලයට ගමන් කරන ගැටිස්සියක සේ හැඩට ගලන ජල පහර නෙත ගැටේ. මේ ජල පහර මාසිටිනා ගල් තලාවේ එක් කෙළවරකින් පහළට ගලන්නේ කුඩා දිය ඇල්ලක් නිර්මාණය කරමිනි. සෙමෙන් සෙමෙන් ඇවිද ගොස් එම දිය ඇල්ලේ පහළට ළඟාවුණෙමි. එසේ ඇද හැලෙන් රිදී ජල කඳ විශාල ගැඹුරු වළක් නිර්මාණය කර තිබේ. මෙය කුමාරි වළ ලෙස හඳුන්වයි.

සීතාවක රජකම් කළ මායාදුන්නේ රජතුමාගේ කාලයේ සිටම මෙම ස්ථානය රජ පවුලේ දිය කෙළිනා ස්ථානයක්ව පැවැති බවත් විශේෂයෙන් රජ බිසෝවරු මෙහි දිය නාන්නට නිතර පැමිණි බවත් ජනපවාදයේ තිබේ. එසේම මෙම දිය ඇල්ලට කුමාරි ඇල්ල යන නම යොදා ඇත්තේ මායාදුන්නේ රජතුමාගෙන් පසු සීතාවක රජකම් කළ ටිකිරි බණ්ඩාර හෙවත් පළමුවැනි රාජසිංහ රජුගේ දූ කුමරිය මෙහි දියනාමින් සිටියදී ගිලී මිය ගිය නිසා බවත් දැක්වේ. එදා සිට කුමරිය ගිලීමිය ගියා යැයි පැවසෙන වළ ‘කුමාරි වළ‘ ලෙසත් දිය ඇල්ල ‘කුමරි ඇල්ල‘ සහ ‘කුමාරි ඇල්ල‘ ලෙසත් හඳුන්වන බව ජනප්‍රවාදයේ දැක්වෙයි.

පිට්ටු කන්ද සහ දුක්කලහෙලෙනා කඳු දෙක ඔස්සේ ගලා එන ජල පහර දෙකක් එක්වීමෙන් සැදෙන අඹන්ගම ඔය නිර්මාණය කරන මෙම දිය ඇල්ල මහල් කිහිපයකට ඇද වැටෙන අතර ප්‍රධාන දිය ඇල්ලේ උස මීටර් 4ක් ( අඩි 15 ක්) පමණ වේ. ස්වාභාවිකව නිර්මාණය වුණු ජලය පිරීගිය තටාකයේ එකවර විශාල පිරිසකට දිය නාන්නට හැකිය. ඔබ මෙහි දිය නැමට එන්නේ නම් මේ කරුණු පිළිබඳව විශේෂයෙන් සිතට ගත යුතුය. මෙහි ගල් වළ ගැඹුරු නිසා පිහිනීමට නොදන්නා අය සහ කුඩා දරුවන් ඉතාමත් පරෙස්සම් විය යුතුය. එසේම පිහිනීමට දන්නා අයකු වුවත් මත්වතුර පානය කර දිය නෑමට යාම ජීවිතය අනතුරේ දැමීමකි. ඉහළ ගල්වල සිට පහළට පැනීමත් ඉතාමත් අනතුරු දායක නිසා ඒ පිළිබඳවත් සිතට ගත යුතුය. එසේම ඉහළ ප්‍රදේශයට හදිසියේ ඇදහැලෙන වර්ෂාව නිසා එක්වරම මෙහි ජල පහර වැඩිවිය හැකි නිසා මෙහි දිය නාන අවස්ථාවලදී බොර වතුර පැමිණිය හොත් ඉතා ඉක්මනින් ගොඩට පැමිණීමෙන් අනතුරු අවම කරගත හැකිය.

මද්දහන වුවත් ගතට ඒ බව නොදැනේ. ඒ අවට ඇති හරිත තුරුවියන් නිසාය. එසේම මෙහි ජලය අතිශයින් පිරිසුදුය. සිසිල්ය. දිය ඇල්ල ආරම්භ වීමට පෙර ඇති ඔයේ ඉහළ කොටසේ අඩි තුන හතරක් ගැඹුර දියේ පිහිනා යන මාළු රෑන් දෙස පැය ගණනක් වුව බලා සිටිය හැකිය. පහළ දිය වළෙහි කරණම් ගසමින් පිහිනන තරුණයින්ගේ සතුටු සිනා හඬ දෝංකාර දෙමින් ඇසේ. එදා මේ ලෙසම රජ කුමාරියන්, බිසෝවරු පිරිවරාගත් පිරිස දියකෙළියේ යෙදෙන්නට ඇත. එහෙත් කුමාරිය ගලී මියගිය පසුව ඒ හිනා හඬා වැලපීම් බවට පත්වන්නට ඇත. ඒ නිසා ඔබ සතුටු විමට මෙහි පැමිණ දුකින් ආපසු යන්නට ඉඩ තබා නොගන්නට පරෙස්සම් වන්න.

එසේම සුපුරුදු බැගෑපත් ඉල්ලීමද කරමි. ඒ මේ ස්ථානයට පොලිතීන්, ඉටිකවර, රැගෙන නොඑන ලෙසය. එසේම ඔබ ගෙන එන කිසිම දෙයක් මේ ස්ථානයේ දමා නොයන ලෙසය. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මෙහි මත් වතුර බෝතල් රැගෙන නොඑන ලෙසත්, බෝතල් බියර් කෑන් ආදිය දමා නොයන ලෙසත්ය.

සොබා දහම අපට ලබා දී ඇති මේ සොඳුරු දායද වල චමත්කාරය විඳීන අතරම අපිරිසුදු නොකර, විනාශ නොකර මතු පරපුරට මේ ලෙසම ඉතිරිකර දෙමු යන සටහන තබා අදට ඔබෙන් සමුගනිමු.

 

 

 ඡායා - ශාන් රූපස්සර