සත්ව චිකිත්සාවෙන් සිත සුවපත් කර ගනිමු

ජනවාරි 24, 2022

 

මිනිසා ලොවේම බලපරාක්‍රමය පතුරුවාගෙන සිටියත් ජීවිතයේ අසරණ වන අවස්ථා ඕනෑ තරම්ය. මානසිකව ඇද වැටෙන එවන් අවස්ථාවක බළල් සුරතලකු පුරු පුරු ගා දැවටීම, සුනඛ සුරතලකු ගේ සමීප බව, ඒ මේ අත පීනන මාළුවකු ගේ දඟකාරකම සිත කෙතරම් සුවපත් කරනවාද ? විශේෂයෙන් හුදෙකලා බව කෙතරම් සිත පීඩාවට පත් කරනවාද ? මේ කෝවිඩ් සමයේ එය බොහෝ දෙනකුට හොඳින් වැටහිණි.

මිනිසා මානසිකව ඇද වැටුණු විට ආතතියට පත්වූ විට සතුන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙන බව පර්යේෂකයන් සොයා ගෙන තිබෙයි. ක්‍රියාකාරී නොවී එක් තැනකට වී සිටීම මානසික බිඳ වැටීමේ එක් ලකුණකි. එවැනි අවස්ථාවක සුරතලා සමඟ කතා කරන්න. සෙල්ලම් කරන්න. ඔබට මහත් අස්වැසිල්ලක් ලැබේවි.

පර්යේෂකයන් සොයා ගෙන ඇති අන්දමට සුරතලකු සිටීමෙන් කාංසාව දුරුවෙයි.

සුනඛ සුරතලා සමඟ ඇවිදීමෙන් සිරුරට ව්‍යායාමයක් ලැබෙන අතර අලුත් මිතුරන් හඳුනා ගැනීමට ද අවස්ථාව උදාවෙයි.

ගස්වලට වතුර දැමීමේදී මෙන් සතුන්ට ආහාර පාන දී නාවා සාත්තු කිරීමේදී නො දැනුවත්වම සිතට සහනයක් ලැබෙයි. අවධානය යොමු කරනවා අඩු දඟකාර දරුවන්ට සුරතලා ගේ වැඩ කටයුතු පැවරීමෙන් ඒ දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීම පහසුය.

තිස් වසරක් පුරා කළ පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ සුනඛ සුරතලකු සිටින විට රුධිර පීඩනය අඩු වන බවය. එමෙන්ම හෘද ස්පන්දන වේගය නීරෝගි මට්ටමින් පවතියි. පහසුවෙන් හුස්ම ගැනීමට හැකිවෙයි. මාංසපේශි ආතතිය අඩුවෙයි.