තව චුට්ටක් පරක්කු වුණානම් එයාල සුද්දිව මරල

එළු සුරතලකු සහ ගිනිපිග් නිසා රටක් කතා කරන පුංචි කෙල්ල
දෙසැම්බර් 19, 2022

 

කුඩා අතුරු පාර දිගේ ඇවිද ගිය සුද්දි නැවතත් වේගයෙන් ගේ දෙසට ඇදුනාය. ගෙය අසල නැවතුණු සුද්දිට දඟ කළා මදි වාගේය. පූස් පැටවුන් දෙදෙනා දෙසට දිවගිය සුද්දි නැවතත් අතුරු පාර දෙසට හැරුණා ය.දැන් දඟ කරන වේලාව නිමා වෙන්නට ළඟය. ඒ බව සුද්දිට මතක් කරන්නේ ඇගේ හොඳම යෙහෙළියයි. මේ යෙහෙළිය සහ සුද්දී දැන් රටම දනී. සුද්දීගේ වීඩියෝ සමාජ මාධ්‍යජාලා අතර පසුගිය කාලයේ ශීඝ්‍රයෙන් පැතිරී ප්‍රචලිත වූයේය. ඒ නිසාම සුද්දීට ආදරේ පිරිසක් බිහිවූ අතර සුද්දිලාගේ පරම්පරාව රැකුමටද යහපතක් වූයේය.

රටම දන්නා සුද්දී පිටුපස සිටින දැවැන්තම සෙවණැල්ල වත්සලා සෙව්වන්දිය. සතුන් තම ජීවිතය කරගත් සෙව්වන්දි බොහෝ දෙනා හඳුනා ගන්නේ kandy guinea pigs ෆේස්බුක් පිටුව හරහාය.බොහෝදෙනා දැන් ඒ පිටුව දන්නේ සුද්දිගේ පිටුව ලෙසටය.

රට මීයන් හෙවත් ගිනිපිග් රෑනක් සහ එළුවකු සමඟ මිතුරු ජීවිතය ගෙවන මේ අසිරිමත් යුවතිය ජීවත්වන්නේ නුවර කටුගස්තොට ප්‍රදේශයට යාබදවය. රට මීයන් ලෙස හැඳින්වූ සැ‍ෙණන් මීයකුගේ රුව මැවුණද මේ සුරතලුන් හාවන් මෙන් සුරතල් සත්ත්ව විශේෂයකි.

මේ කතාව ඇරඹෙන්නේ මීට බොහෝ කලකට ඉහතදීය. ඒ කාලය වනවිට අපේ කතා නායිකාව කුඩා පාසල් සිසුවියකි. අපේ කතා නායිකාව වත්සලා සෙව්වන්දි අද වනවිට කැලණිය සරසවියේ ක්‍රීඩා සහ විශාන්ති කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියකි. පුංචි කාලේ ඉඳලම සත්තුන්ට මං ගොඩක් ආසයි. ඉස්සරම බලාගත්තේ ලේන්නු,පූසෝ,බල්ලෝ සහ හාවෝ වගේ සත්තු. මම ඉස්සර පාර අයිනේ වැටිල ඉන්න සත්තු ගෙදර ගෙනල්ල සුව කරල කැලේට අතාරිනවා.මෙහෙම කාලයක් ගතවුණා. සත්තුන්ට තියෙන ආසාව එන්න එන්නම වැඩිවුණා. මම මේ අතරේ තමයි ගිනියා පිග් ගැන හොයන්න උනන්දු වුණේ.

එක දවසක් මම දැක්කා සමාජ මාධ්‍යයේ පළවෙලා තියෙනවා සති හතරක ගිනිපිග්ල දෙන්නෙක් විකුණන්න දාල තියෙනවා. ඒක දැකල මට අදහ ගන්නත් බැරිවුණා. මොකද ඒ සත්තු එච්චර සංවේදී.

මම හිගිං බැලුවම ඒ සත්තුන්ගේ අම්මා මැරිල. ඒ කාලේ මම දන්න විදියට මේ සත්‍තුන්ට වෙනත් අම්මා කෙනෙක්ගෙන් කිරි දෙන්න පුළුවන්. ඒත් ඒ අය මේ සත්‍තු දෙන්න විකුණුවා. මම ඒ සත්තු අරන් ආවා.ගෙදර තියාගෙන හරිම ආදරෙන් හැදුව. අවාසනාවට ඒ සත්තු දෙන්නම මාස දෙකෙන් විතර මාව දාල ගියා.

 

කතාකාරිනියගේ ඇසෙහි කඳුළක් මතුවේ. ඇය ඒ පැටවුන් දෙදෙනාට එතරමට ආදරේ කළ බව ඒ කඳුළ මත රැඳෙයි.

 

ඊට පස්සෙ මම ගිනි පිග් සත්තු ගැන ගොඩක් දේවල් අධ්‍යයනය කළා.මට අවශ්‍යවුණා රට මීයෝ කියල දුක් විඳින මේ සත්තු ඒ දුකෙන් බේරගන්න වැඩපිළිවෙළක් හදන්න. මොකද මේ සත්තු ගැන කවුරුත් හරි විස්තරයක් හදාගන්න ක්‍රමවේදයක් දන්නෙ නෑ. ඒක නිසා තමයි මම කැන්ඩි ගිනිපිග් කියන පේජ් එක පටන් ගත්තේ. ඒ හරහා සතුන් ගොඩකට ජීව්තය දෙන්න මට පුළුවන් වුණා.

 

ඇගේ මුවගෙහි ආඩම්බරකාර සිනා රැල්ලක් නැඟේ. ඒ අව්‍යාජ සිනාව ඇගේ සේවාවේ තෘප්තිය නැවත කියාපායි.

ලෙඩ වෙලා ඉන්න ගිනිපිග්ල ඉන්න අය ගොඩ දෙනෙක් ක්‍රමයෙන් මට කතා කළා. මම ඒ සත්තු අපේ ගෙදර ගෙනැල්ල අදටත් බලා ගන්නවා.එහෙම බලාගන්න සත්තු මම හොඳට හදාගන්න පුළුවන් අයට භාරදෙනවා.ඒක මම නොමිලේ කරන සේවාවක්.මම මේ කරන කිසිම දේකට කිසිම මුදලක් අය කරන්නේ නැහැ.

දැන් අපි හැරෙන්නේ සුද්දි දෙසටය.වත්සලාගේ ඇඟේ දැවටෙමින් කරනම් ගසමින් දඟලන සුද්දි නිදහසේ උපරිම සුව විඳගනිමිනි.

සුද්දි දැන් ලෝකයේම ප්‍රසිද්ධය. ඒ කරනම් ගසන එළු සුරතලකු ලෙසටය.

 

" සුද්දි මට හම්බවුණේ අහම්බෙන්.කාලෙක ඉඳන් මරණයට කැප වෙච්ච ගවයෙක් බේරගන්න ඕනෙ කියලා අදහසක් මගේ හිතේ තිබුණා.ඒත් ඒ අදහස් ඉටු කරගන්න තරම් මට සල්ලි තිබුණේ නැහැ. දවසක් මට තාත්තා අහම්බෙන් කතා කරේ සුද්දි ගැන ආරංචිය කියලා. තාත්තා කිවුව හරිම සංවේදී කතාවක්. සුදුම සුදු එළු පැටියෙක් මරන්න අරගෙන යනවා කියල තමයි තාත්තා මට කෝල් එකක් දීලා කිව්වේ. ඒ වෙලාවේ මං ගාව ලොකු සල්ලියක් අතේ තිබුණෙත් නැහැ.කොහොම හරි මේ එළු පැටියා ව බේරගන්න ඔබල හිතලා මම ඔයා යාළුවන්ගෙන් ගෙදර වටේ අයගෙන් හැමෝගෙන්ම සල්ලි ඉල්ලගෙන එදා සුද්දි බලන්න ගියා. සුද්දි මන් දිහා ගොඩක් වෙලා බලන් හිටියා. හරියට එයාව බේරගන්න ආව කෙනා දිහා බලන් ඉන්න වගේ. අන්තිමට කොහොම හරි සල්ලි එකතුකරල එකතු කරලා මං මෙයාව බේරගත්තා. එදා තමයි මෙයාට සුද්දි කියලා නම දැම්මේ. සුද්දි අපේ ගෙදරට ආව දවසේ සිට හැසිරුණේ හරිම පුරුදු විදිහට. එයා නිතරම හැදෙන්නේ නිදහසේ. ඒ නිදහස හින්දම සුද්දි හුරතල් කම එන්න එන්නම වැඩි වුණා. එයා මම කියන කියන දෙය කරන්න පුරුදු උණා. දැන් එයාට කරණම් ගහන්න පුළුවන්. වෙන ගෑනු ළමයි හුරතලේට හදන්නෙ බල්ලෝ පූසෝ. නමුත් මම මේ එළු පැටිය හදන නිසා සහ සුද්දිගේ හුරතල් නිසා එයා ගොඩක් ප්‍රසිද්ධ වුණා. එදා මම තව විනාඩි කීපයක් පරක්කු වුණානම් එයාල සුද්දිව මරණවා.

 

ඈ සුද්දිගේ හිස යළිත් අතගායි.සුද්දිද ඇගේ අත් සිඹිමින් සෙල්ලමට ආරාධනා කරයි.

මම පශ්චාත් උපාධිය හදාරන්න බලාපොරොත්තුවෙන්නෙ ගිනි පිග් සත්තු ගැන. ඒක ලංකාවේ හරි ලෝකේ කොහේහරි රටම මම කරනවා. ඒ වගේම සත්තු වෙනුවෙන් සහ සතුන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රෝහලක් සහ අභය භූමියක් ඉදිකරන එක තමා මගේ ලොකුම බලාපොරොත්තුව. ඒක මම කවදාක හරි එය ඉටුකරනවා.

 

ඈ නිහඬවුවද සුද්දිගේ ළාමක දාංගලයේ නිමාවක් නැත. ඇගේ උණුහුම සුද්දිට මහමෙරක් සේ දැනෙන වග දෙන්නාගේ බැඳීමෙන් පෙනෙයි. වත්සලාගේ ජීවිතයම අසරණ සතුන් බව ඈ නැවත අපට කියයි. ඈ සුවිශේෂී වන්නේ ඒ නිසාමයි. බල්ලකු වෙනුවට එළු සුරතලකුට පෙම් කරන නිසාමයි.ඇගේ බලාපොරොත්තුව ද සතුන්ට යහපත් හෙටක් නිම කිරීම පිණිසයි. ඒ බලාපොරොත්තුවට පණ දිය හැක්කේද සත්ත්වප්‍රේමී අපටයි.

 

 

ඡායාරූප -

රුවන් මීගම්මන