මල් මනමාලිගේ මල් කලඹේ අසිරිය

මැයි 1, 2023

මල් මනාලියකගේ සුන්දරත්වය වඩවඩාත් තීව්‍ර කරලන්නේ ඇය අත දරන මල් කලඹයි. මනාලිය හැඩවන ක්‍රමය අනුව එනම් උඩරට, පහතරට, බටහිර, හින්දු ... මේ ආදී ලෙස ඇගේ මල් කලඹ ද වෙනස් හැඩයක් ගනියි.

මනාලියගේ උස මෙන්ම ඇගේ සිරුරේ හැඩය, ඇඳුමේ වර්ණය පිළිබඳ ත් සලකා බලන්නට සිදුවේ. ඇඳුමේ වර්ණයට ගැලපෙන වර්ණයන්ගෙන් මල් තෝරා ගත යුතු අතර එසේ නොමැති වූ විට කෘත්‍රිම ව වර්ණ ගන්වා ගත යුතු වේ.

මල් කලඹ සැකසීමේදී අපේ රටේ බහුලවම භාවිත වන්නේ නෙළුම් , රෝස, ලිලී වර්ග සහ ඕකිඩ් වර්ගයි.

මේ උඩරට හෝ පහතරට ක්‍රමයට සැරසෙන මනාලියකට ගැලපෙන මල් කලඹකි. ටයිගර් ලිලීස්, රෝස හා ඕකිඩ් මේ සඳහා යොදා ගෙන ඇති ප්‍රධාන මල් වර්ග වන අතර ස්ප්‍රේ රෝස සහ බේබිස් බ්‍රෙත් අතිරේක මල් ලෙස යොදා තිබේ. ඊට අමතරව රෝස කොළ ද එක් කරගෙන තිබේ.

මල් කලඹක් විවාහ උත්සවය අවසානය දක්වාම සජීවීව තබා ගත යුතු නිසා මල් නටුව කෙලවරට වතුර පොඟවා ගත් පුළුන් භාවිත කළ යුතුවනවා. මල් එකිනෙකට ගැට ගසා සකසා ගැනීම සඳහා සෑම මලක්ම කම්බි යොදා සකස් කරගත යුතු අතර කොළ පැහැති ගම් ටේප් යොදා පුළුන් සහ කම්බි ආවරණය කරගත යුතුවේ.

මල් කලඹේ හැඩය අනුව ප්‍රධාන මල් සහ කොළ යොදා මූලික හැඩය සකස් කරගත යුතුයි. ඉන්පසු ස්ප්‍රේ රෝසස්, බේබිස් බ්‍රෙත් සහ තවත් කොළ වර්ග යොදා අතරින් පතර ඇති හිඩැස් සියල්ල අලංකෘතව පුරවා ගන්න.

මල් කලඹ සම්පූර්ණ කළ පසු ආභරණවලට, සාරිය වැඩ දමා ඇති වර්ණයන්ට අනුව ගෝල්ඩ් හෝ සිල්වර් ඩස්⁣ට් ස්ප්‍රේ කිරීමෙන් මල් කලඹේ විචිත්‍රවත් බව තවත් වැඩි වේවි.

 

ඉදිරිපත් කිරීම :

ලස්සන ෆ්ලෝරා හි අධ්‍යක්ෂිකා

නීතීඥ මධුවන්ති මලවිගේ

 

ඡායාරූප - ශාන් රූපස්සර