මම දෙපයින් නැඟී සිටිමි

මැයි 8, 2023

 

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුල් අත්දැකීම ගැනම විවිධ දේවල් ඔබේ මනසට නැඟෙන්න පුළුවන්. ඔබ සහ ඔබේ කුඩා දරුවා ජීවිතයට  මුහුණ දෙන ආකාරය ගැන ඔබ ප්‍රශ්න ඇසීමට පටන් ගනීවි, ඔබ දෙවැනි වරට මවක් වෙනවානම්, මෙම දරු ප්‍රසූතිය පෙර අත්දැකීමට වඩා කෙතරම් වෙනස් වේද යන්න පවා ඔබට ප්‍රශ්න කළ හැකියි. ජීවිතය වෙනස් කරන මොහොතකට මේවා සාමාන්‍ය ප්‍රතික්‍රියා බව වෛද්‍යවරුන් පවා දන්නා කාරණාවක්. සිසේරියන් සැත්කමකට යද්දී  ඔබේ මනස හරහා බොහෝ සිතුවිලි ගමන් කිරීම සාමාන්‍ය දෙයක්.

 

එලා ක්ලාක් දරුවන් හත් දෙනෙකු බිහි කළ මවක්. ඇය පළමු දරු ප්‍රසූතිය කරන්නේ අවුරුදු 18 දී. එය ඇයට කොහොමටවත්ම හොඳ අත්දැකීමක් වුණේ නෑ. ඒ නිසා ඇය ඉතිරි දරු උපත් හතම සිසේරියන් සැත්කම් මඟින් කරන්නට තීරණය කළා. අටවැනි දරුවා වෙනුවෙන් ගැබ් ගත් පසු ද ඇගේ තීරණය වූයේ සිසේරියන් සැත්කමක්. ගැබ්ගෙල සහ වැදෑමහ ආශ්‍රිත රෝගයක් නිසා මේ වතාවේ සිසේරියන් සැත්කම ඇයට කොහොමටත් අනිවාර්යය වී තිබුණා.

 

ඇගේ දියණිය වින්ටර් රෝස් බිහි කිරීමට වෛද්‍යවරුන්ට විනාඩි 45ක් ගත වුණා. ඇය රාත්තල් 6 ක් සහ අවුන්ස 5 ක් බරින් පිටතට පැමිණි අතර ඇගේ මවට සමට සම ස්පර්ශ කිරීම සඳහා ලබා දුන්නා.

 

ඉන්පසු කුමක්දෝ වරදක් එලාට දැනුණු අතර වතුර බාල්දියක් බිම වැටෙන්නාක් වැනි හඬක් ඇසුණු බවයි ඇගේ අදහස. වෛද්‍ය කණ්ඩායම ඇයට නැවත හදිසි ශල්‍යකර්මයක් කරන්නට යුහුසුළු වුණේ ඉන්පසුවයි. 

 

දින පහකට පසු කෝමා තත්ත්වයෙන් අවදි වීමට පෙර එලා ක්ලාක්ගේ අවසන් මතකය එය වුණා.  සිදු වූ දේ දැන ගැනීමට පටන් ගත් විට ඇය සම්පූර්ණයෙන්ම කම්පනයට පත් වුණා. ඇයට ඇසුණු ඝෝෂාව ඇත්තෙන්ම ඇයට අහිමි වූ රුධිරයයි. ඇයට ප්ලාසන්ටා ඇක්‍රේටා නමින් හැඳින්වෙන සිසේරියන් සැත්කම් බොහොමයකට භාජනය වන කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙන සංකූලතාවයක් වැලඳී තිබුණා. මෙය සොයා ගැනීමෙන් පසු වෛද්‍යවරු ඇයව බේරා ගැනීම සඳහා එලා ක්ලාක්ට හදිසි රුධිර පාරවිලයනයක් සිදු කළා. ඔවුන් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් ද සිදු කළේ කෙසේ හෝ රුධිර වහනය නවතිනු ඇතැයි අපේක්ෂාවෙන්. ශල්‍යකර්මයෙන් පසු, එලා ක්ලාක් කෝමා තත්ත්වයට පත් කරන ලද අතර එහිදී දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් විසින් ඇයව නිරීක්ෂණය කරනු ලැබුවා. ඇක්‍රේටා රෝගය රුධිර කැටි ගැසීම සඳහා ප්‍රසිද්ධ තත්ත්වයක් වූ බැවින් ඇයව සෑම පැයකට වරක් නිරීක්ෂණය කර තිබුණා.

කෙසේ වෙතත්, එලා ක්ලාක් තරයේ කියා සිටියේ ඇයව පරීක්ෂා කිරීමට වෛද්‍යවරුන්ට පැය හයක් ගත වූ බවක්. ඒ වනවිට ඇගේ පාදවල ලේ ගමනාගමනය වී නැහැ.

 

ඇය වහාම ශල්‍යාගාරය වෙත ගෙන ගිය අතර එහිදී වෛද්‍යවරු රුධිර සංසරණය නැවත ඇති කිරීමට උත්සාහ කළත් අවාසනාවකට මෙන්, එයට ප්‍රමාද වැඩි වුණා. ඇගේ පාදවල සිට ශරීරයේ සෙසු කොටස් දක්වා විස පැතිරීම නැවැත්වීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය වුණා. ඇයගේ පාද කපා ඉවත් කිරීමට අවසර ඉල්ලා වෛද්‍යවරු ඉක්මනින් ක්‍රියාත්මක වීමට තීරණය කළා. ඔවුන් තම තීරණය ගැන සැමියා වූ ඉයන්ට දැනුම් දුන් අතර, ඔහු තම බිරියගේ ජීවිතය බේරා ගැනීමට එයට කැමැත්ත පළ කළා.

 

එලා, දින කිහිපයකින් නැඟී සිටියේ පාද අහිමි වූ ගැහැනියක ලෙස. අලුත උපන් දරුවෙක් සහ තවත් දරුවන් හත් දෙනකු සිටීම තත්ත්වය තවත් අසීරු කළා. රෝද පුටුවක ජීවිතය පහසු නැහැ. නමුත් දරුවන් සහ සැමියා ඇය දරා සිටීම නිසා ඇයට ජීවිතය අපහසු වූයේ ද නැහැ.

 

රෝහල ඇය නිවැරදිව අධීක්ෂණය නොකළ බව පවසා ඇගෙන් සමාව ගෙන තිබුණා. නමුත් සමාවකට සිදු වූ කිසිවක් නිවැරදි කරන්නට බැහැ.

 

ඇයට දැන් දරුවන් පසුපස දුවන්නට බෑ. ඔවුන් සමඟ සෙල්ලම් කරන්නට බෑ. නමුත් වෙනස් නොවන එක දෙයක් ඇති බව එලා ක්ලාක් දන්නවා.

ඇය තවමත් ඔවුන්ගේ අම්මා!