වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
මොනවාද මේ බල්ලොත් නොකන කුණු මාළු

දොළොස් වැනි දින සටහන
2016 අප්‍රේල් 05 සඳුදා
අද නම් සුසන්තිකා ඔලිම්පික් පදක්කමට දුවන්නැහැ. දුවලා බස්සෙකේ ඉස්සරහ ජනේලයක් අයිනෙ සීට්ටෙකක් අල්ල ගත්තා. නින්ද ගිය අපූරුව කියන්නෙ කල්තියා ඉස්සරහට යන්ඩත් අමතක වුණා.
" බහින තැනට කලින් ඉස්සරාට එන්නැතුව මොන මඟුලක් කරනව ද ඕයි. ඉක්මනට බහිනවලා… ඉක්මනට බහිනවලා…. මෙතැන මේ අපිට පව් දෙන්නැතුව.. හා..හා..ඉක්මනට......"
මං ෆුට් බෝඩ්ඩෙකට අඩිය තිබ්බ විතරයි කොන්දා මාව තල්ලු කරපු පාර බස්සෙක අද්දන්ඩ කලින් එක කකුලක් බිම තියාගත්තෙත් අනූ නවයයි තුං කාලෙන්. ඇත්තමයි මේ බස්කාරයින්ගේ විනය ගැන නම් කතා කරලා වැඩක් නෑ. බස්සෙකට නඟිනකොට පෙරාපු රත්තරං වාගෙ දෝතට වඩම්මලා නග්ග ගන්නෙ. බහිනකොට අපි බල්ලොවත් නොකන කුණු මාළු.
2016 අප්‍රේල් 07 බදාදා
ඊයෙ රෑ තිස්සෙ තිබුණ ඔළුවෙ කැක්කුම හින්දා හරියකට නින්ද ගියෙ පාන්දරනෙ. ඇහැරෙද්දි පහමාරත් පහුවෙලා. ළමයි දෙන්න ලෑස්ති කරලා ඇඳපැලඳ ගන්නවට වඩා වෙන දේකට වේලාවක් තිබුණෙ නෑ. වෙන කරන්ඩම දෙයක් නැති හන්දා මං කෝල ෆ්‍රෙන්ඩ් අවස්ථාව ප්‍රයෝජනේට අරන් ප්‍රශ්නෙ මහගෙදර නෑනණ්ඩිට යොමු කළා.
" මට නම් කැන්ටිමෙන් වුණත් කෑවැහැකි අක්කෙ. ඒත් ඉතින් කැන්ටින් කෑමවල හරියට තෙල්නෙ. තිස්සට තෙල් කියන්නෙ වහ වගේ තමා. "
බෝඩිංකාරයින්ට ගෙනියන්ඩ කොහොමත් පාන්දර බත් උයනෙකේ, අපි දෙන්නට තව හාල් හුණ්ඩුවක් වැඩිකළා කියලා නෑනණ්ඩි හිඟමනට වැටෙනවයෑ. නෑනණ්ඩිට ඉතින් තිස්සට විතරක් බත් මුලක් ගෙනත් දීලා මාව හිස් අතින් යවන්ඩත් බෑනෙ. යන ගමන් මහ ගෙදෙට්ට ගොඩවෙලා බත් එකත් අරන් යන්ඩ හිතන් ලෑස්ති වෙද්දි මෙන්න නෑනණ්ඩි කෑමත් ඇරන් ගෙදෙට්ටම ආවා.
" මෙන්න නංගි, මං මල්ලිට කෑම පාර්සලයක් ගෙනාවා. නංගි නම් ඉතින් කැන්ටිමෙන් කනවා කිව්වනෙ."
2016 අප්‍රේල් 19 සඳුදා
අවුරුදු නිවාඩුවෙන් පස්සෙ හා හා පුරා ඔෆිස් ගිය දවසෙම තිස්ස බත් ඔතපු කොළේ දාලා ඇවිත්. ගෙදෙට්ට පත්තර ගේන්නැති හින්දා එයාමයි ඔෆීස් එකේ පත්තර ඉඳහිට ගෙනැල්ලා දීලා හැමදාම ගේන්ඩ බෑ පිරිමහගන්ඩ කියන්නෙ. එයාමයි ඒව නැති කර ගන්නෙත්. දැන් ඉතින් හෙට බත් ඔතන්ඩ වෙන්නෙ රෙදි කෑල්ලක තමා. මොකද හෙට එළිවෙද්දි මං කඩදහි කොළ මවන්ඩයැ. පරිස්සම් කරගෙන හිටපු පත්තර ටිකත් අවුරුදු දවස්වල කෑම පිඟන් වහන්ඩම නාස්ති වුණානෙ. ලන්ච් ෂීට් වියදමත් ඉතුරුයි. කඩදහි කොළ ඕනෙත් නෑ. බත් එතිල්ලට යන කාලෙත් ඉතුරුයි. ප්ලාස්ටික් කෑම පෙට්ටි දෙකක් ගේන්ඩ ඕනෑ. හැබැයි ඉතින් තිස්ස දැන්නම් පත්තර කොළේ විතරයි දාලා එන්නෙ, ඊ්ට පස්සෙ කෑම පෙට්ටිය පිටින්ම නැති කරලා ආවොත් තමා වැඩේ.