වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
අවුරුදු චාරිත්‍ර තුළින් හෙළි වන විශ්ව ශක්තියේ බලය

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකේය අනන්‍යතාව හෙළි කරන සංස්කෘතික මංගල්‍යයකි. එහි මූලාරම්භය මානව පරිණාමය හා බැඳී පවති යි. අලුත් අවුරුද්ද උදාවෙන්නේ බක් මාසයේදීය. තම ඵලදාව නෙළාගත් ගොවියා එය ගෙට ගෙන ඉසිඹුවක් ලබා සිටින කාලේ උදා වෙන්නේ මේ මාසයේදීය.
අපේ අලුත් අවුරුද්ද දරු පවුලක් පමණක් එකතු වන උත්සවයක් නොවෙයි. මුළු රටේම ජනයා එකට එක්ව සමරණු මහා සංස්කෘතික මංගල්‍යය උත්සවයකි. මේ අවුරුදු උත්සවය කේන්ද්‍ර වන්නේ විශ්වය සමඟ වූ ක්‍රියාවලියක් ලෙසිනි. සූර්යයාගේ සංක්‍රාන්තිය මේෂ රාශියේ සිට මීන රාශියට ගමන් කිරීම පදනම්ව මේ නිර්මාණය වී තිබේ. මේ උදාර වූ සංස්කෘතික මංගල්‍යයේ අවුරුදු චාරිත්‍ර රාශියක් සිදු කරති.
එහි විද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම පිළිබඳ විමසුමක යෙදෙන්න අප කැඳවාගෙන පැමිණියේ අප රටේ ප්‍රවීණ පරිසරවේදී තිලක් කන්දේගම මහතාය. ඔහු මේ මහා සංස්කෘතික මංගල්‍යය තුළ සිදු කරන චාරිත්‍ර පිළිබඳ විග්‍රහ කළේ අලුත් අවුරුද්දේ ඉතිහාසයද විමර්ශනයට ලක් කරමිනි.
අලුත් අවුරුද්ද කියන්නේ විශ්ව සාහිත්‍යයේ පටන්ම පැවති එන මහා සංස්කෘතික උරුමයක්. මානව ශිෂ්ටාචාරයේ වසර 16000කට පෙර සිටම පවුල් කුටුම්බය කියන සංකල්පය හමුවන්නේ බළන්ගොඩ මානවයාගේ කාලයේදීය. පසුකාලීනව මුළු රටම එකම නැකතකට උයා පිහා කන දරු පවුල පිළිබඳ සංවේදී සිත්තම ආරම්භ වෙනවා.
අලුත් අවුරුද්දට මුළු රටම බත් උයන්නේ එකම නැකතකට. නැකතට ගිනි මොළවා ළිප තබන්නේ මැටි වළඳක්. මැටි භාවිතය ආරම්භ වී තිබෙන්නේ අදින් වසර සිය දහස් ගණනකට පෙරයි. ආචාර්ය ආර්. එල්. බොහියර් ඔහුගේ පරීක්ෂණ ග්‍රන්ථයක් ලෙස එළිදැක්වූ එළිදැක්වූ 'බොහියර් දුටු ලංකාව' කෘතියේ සඳහන් කර ඇත්තේ මෙලෙසිනි. අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ ගම්බද විශාල උත්සවයක් පවත්වයි. මෙය හඳුන්වන්නේ අලුත් අවුරුදු මංගල්‍යය ලෙසිනි.
මේ මංගල්‍යය දිනයේදී දුරබැහැර සිටින පවුලේ සාමාජිකයෝ තම මහගෙදරට පැමිණෙති. හුදෙක් මේ චාරිත්‍රය ඉටු කිරීමට සැතපුම් සිය ගණනක් දුර බැහැර ගෙවා පැමිණ මිනිසුන්ද හමුවී තිබේ. මේ අලුත් අවුරුද්දම නිර්මාණය වී ඇත්තේ චාරිත්‍ර වාරිත්‍ර රාශියකිනි. මේ සිරිත් විරිත් තුන් ආකාරයකට බෙදා වෙන්කර දැක්විය හැකි වේ. පළමුවැන්න පැරණි අවුරුද්දේ චාරිත්‍රයයි. දෙවැන්න නැකත් නොමැති නොනගත කාලයේ චාරිත්‍ර යි. තුන්වැන්න වන්නේ අලුත් අවුරුදු උදාව හා සබැඳි චාරිත්‍රයි. මේ වර්ග කිරීමට අනුව අපේ පැරණි මුතුන් මිත්තෝ මේ චාරිත්‍ර හරියට පිළිපැද්දා.
නමුත් වර්තමානය වන විට මේ චාරිත්‍ර බොහොමයක් අපේ සමාජයෙන් ඈත් වෙලා. ප්‍රධාන චාරිත්‍ර කීපයක් පමණයි ඉතිරි වී තිබෙන්නේ. මේ අවුරුදු සංස්කෘතිය නිර්මාණය වන්නේ ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංකල්පය අනුව දෑ අවුරුදු වැඳීම කියන චාරිත්වය මෑතක් වෙන තෙක්ම අපේ ගම්වල පැවතියා. පැරණි අවුරුද්ද ගෙෙවන්න මොහොතකට පෙර ගමේ පන්සලට ගිහින් වැඳ පුදා ගැනීම එදා ගැමියන්ගේ තිබුණු චාරිත්‍රයක්. ඉන්පසුව පුණ්‍ය කාලයේදී වඳිනවා. අවුරුදු උදාවූ පසු මංගල්‍යයටත් පන්සල වැඳ පුදා ගන්නවා. මේකට තමයි කියන්නේ අවුරුදු විඳීම කියලා.
පැරැණි අවුරුද්දට මුලින්ම කරන චාරිත්‍රයක් තමයි සීට්ටු බෙදීම. ගණිත ගුරුන්නාන්සේ තමයි ගමේ මේ කටයුත්ත කළේ. සීට්ටු පොතේ ආකාරයට තමයි මේ අවුරුදු සීට්ටුව බෙදීම නැකත්කරුවා විසින් සිදු කරනු ලබන්නේ. අතීතයේ මේ නැකැත් කිව්වේ ටීවී එකෙන් හරි මුහුණු පොතෙන් නොවෙයි. නැකැත්කරුවා මේ කටයුත්ත කළේ ඔහුට පැවරුණ රාජකාරියක් ලෙසයි.
අතීතයේ පටන්ම අවුරුදු උදා වෙන්නට පෙර තමුන්ගේ ගේ දොර වතුපිටි සුද්ද පවිත්‍ර කරනවා. ඒකට සූදානම් වෙන්නේ හරිම උනන්දුවෙන්. මංගල උත්සවයකට සුදානම් වෙන ආකාරයටයි. මෙය පැරැණි පොත පතේ සඳහන් වෙන්නේ ලිප්බොකු ආච්චි වැඳීම නැතිනම් කුණු මුත්තා පිදීම ලෙසයි. මෙහිදී අවුරුද්ද උදාවට පෙර වසරක් පුරා තමුන් උයාපිහා ගත් ළිප ශුද්ධ පවිත්‍ර කරනවා. ඉන්පසුව එම ළිපේ අළු සහ නිවෙස අතු ගා ගත් කසළ කුල්ලකට දැමීම කරනවා. මේ කුල්ලට නිවෙසේ පැරැණි ලුණු පොල් කට්ට, බත් බුලත්, කැවුම් තබා එයට පඬුරක් හා පහනක් තබා සියල්ල කුණු මුත්තා ආච්චිට යැයි පවසන එය තුන්මං හන්දියක තබනවා. මෙයින් අපේක්ෂා කරන්නේ පැරැණි වසරේ වස් දොස් නව වසරේදී දුරු කිරීමයි.
දින කිහිපයකට පෙර රස තැඹිලි සැදීමත් තවත් පැරැණි චාරිත්‍රයක්. මේ සඳහා ඇතැම් ප්‍රදේශවල කොන්ඩ කැවුම් සැදීම සිදු කරනවා. සමහර ප්‍රදේශවල ආස්මී බැදීම සිදු කළා. ඒ වගේම ඇතැම් අවුරුදු ක්‍රීඩා සඳහා කප් සිටුවීම සිදු කළේ පැරැණි අවුරුද්දේ. කතුරු ඔංචිල්ලාව සඳහා කප් සිටුවීම වැනි දේ සිදු කළේ අවුරුද්දට දින කිහිපයකට පෙර නැකැත් අනුවයි.
ඒ වගේම නොනගතය කියන්නේ අවුරුද්දේ වටිනාම චාරිත්‍රයක්. එහිදී කිසිම නැකැතක් නොමැති නිසා පුණ්‍ය කටයුතු සඳහා පමණයි කාලය යොදවන්නේ. මේ චාරිත්‍රයට ගමේ පන්සලේ අවුරුදු පිිරිත් කිරීම සිදුවෙනවා.
නොනගතයෙන් පසුව තමයි අලුත් අවුරුදු උදා වෙන්නේ. මේ අවුරුදු උදාවෙන අවස්ථාවේදී මුළු රටේම එකම වෙලාවට ළිප ගිනි මොළවනවා. මෙසේ උයාගත් කිරිබත තම පවුලේ නෑයන් සමඟ කැවුම් කොකිස් සමඟ අනුභව කිරීම ඉතාම වටිනා කටයුත්තක්. එය පවුලේ එකමුතුකම, බැඳීම සංහිඳියාව හා ළෙන්ගතුකම කියන සියලුම සබැඳියාවත් එකට එක්වන අවස්ථාවක්. එදින සෑම කෙනෙක්ම නැකැත්කරුවා නියම කරන වර්ණයට අනුව ඇඳුමකින් සැරසී මේ කටයුතු සිදු කිරීම තවත් සුවිශේෂී සිද්ධියක්.
මෙයින් පසුව තමයි තම අසල්වැසියන් සමඟ කෑම දිනාගත් බෙදා ගැනීම් කටයුත්ත සිදුවෙන්නේ.
මේ චාරිත්‍ර අතුරින් තවත් වටිනාම චාරිත්‍රයක් බවට පත්වෙන්නේ හිස ගෑමේ උත්සවයයි. මේ කටයුත්ත ඉතාම ගැඹුරු අර්ථයක් අැති විශ්ව ශක්තිය ලබාදෙන චාරිත්‍රයක්. මේ සඳහා හිසට විශේෂිත කොළ වර්ගයක් තබා පයටත් තවත් වර්ගයකින් තමයි මේ තෙල් ගෑමේ කටයුත්ත සිදු කරන්නේ. ගමේ පන්සල හෝ වෙද මහතාගේ නිවෙස තමයි මේ කටයුත්ත සඳහා කේන්ද්‍ර කර ගන්නේ. දේශීය ආයුර්වේදයට අනුව දීර්ඝායුෂ ලැබෙන ඉතාම ප්‍රබල ආශීර්වාදයක් හිමිවන හිසතෙල් ගෑමේ උත්සවය සඳහා රාජ්‍ය මට්ටමින් අනුග්‍රහය ලබාදීම සිදු කරන්නේ ඒ නිසයි.
එහි තියෙනවා වටිනාකම හා ගැඹුරු පදනම හා ශක්තිය සඳහා පුළුල් විග්‍රහයන් රාශියක් සිදු කරන තිබෙන ලිපි හා පොත්පත් රාශියක්ම අපට හමු වී තිබෙනවා. මේ පොත්පත්වල සඳහන් ආකාරයට හිසතෙල් ගෑමේ චාරිත්‍රයෙන් පසුව රැකියා සඳහා පිටත්විය. නැකැතින් තමයි මේ අවුරුදු චාරිත්‍ර හමාර වෙන්නේ. නමුත් වර්තමානයේ ජනතාවගේ කාර්ය බහුලත්වය නිසා නැකැතට අනුව රැකියාව සඳහා පිටත්වීමේ නැකැත ගැන එතරම් තැකීමක් සිදු නොවුණත් අතීතයේ සියලු කටයුතු නැකැත් අනුව සිදු කිරීම තුළින් වසර පුරාම ඔවුන්ට හිමිවුණේ විශාල ආශීර්වාදයක්.
උපදෙස්
ප්‍රවීණ පරිසරවේදී තිලක් කන්දේගම
[email protected]