වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
වැඩිහිටියන් විසින් දරුවන් සේවයේ යෙදවීම සිදු කළ හැකිද?
මහමග සිඟා කන දරුවන්ට අමතරව හඳුන්කූරු, පහන් තිර විකුණන දරුවන් වර්තමානයේ ප්‍රධාන නගර ආශ්‍රිතව දක්නට ලැබෙන සුලබ දසුනකි. ගැහැණු සහ පිරිමි යන දෙවර්ගයටම අයත් මෙම දරුවන් කුඩා වෙළඳාමක් සිදු කළ ද යෙදෙන්නේ කර්මාන්තයකය. මෙය කොතරම් දුරට අනුමත කළ හැකිද?
ලංකාවේ වර්තමානයේ පවතින කර්මාන්ත සම්බන්ධ නීතියට අනුව දරුවන් රැකියාවල නිරත වීම නීති විරෝධී වේ. නමුත් වයස අවුරුදු 14 ට වැඩි දරුවන්ට තම මවුව්පියන් නියැළෙන සැහැල්ලු කර්මාන්තයක යෙදීමේ අවසරය ඇත. මෙහිදී සැහැල්ලු කර්මාන්ත යන්නෙන් අදහස් වනුයේ හස්ත කර්මාන්ත, කුඩා වෙළඳාම් කටයුතු ආදිය වේ. මෙහිදී දරුවන් මවුපියන්ගේ හෝ භාරකරුවන්ගේ රැකවරණය, ආරක්ෂාව හා අධීක්ෂණය යටතේ මෙම කර්මාන්තවල යෙදීම සිදු කළ යුතු බව අවධාරණය කර ඇත. එමෙන්ම මෙම කර්මාන්තවල දරුවන්ට නියැළිය හැක්කේ පාසල් අධ්‍යාපන වේලාවෙන් පසුව පමණි.
නමුත් වර්තමානයේ දක්නට ලැබෙනුයේ වෙනස් තත්ත්වයකි. බෝහෝ විට යෞවන වියේ දරුවන් හඳුන්කූරු, පොත්පත්, පහන්තිර විකිණීම සිදු කරනුයේ වැඩිහිටි අධීක්ෂණයකින් හෝ ආරක්ෂාවකින් තොරවය. ඔවුන් සමහර අවස්ථාවල මත් ජාවාරම්කරුවන්ගේ සහ අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් වීමේ අවදානම වැඩිය. නිසි අධ්‍යාපනයක් ලැබීමට හැකියාව ඇති දක්ෂ දරුවන් අකාලයේ මුදල් ඉපැයීමේ යෙදීම හේතුවෙන් අනාගතය අඳුරු කරගන්නා අවස්ථා දක්නට ලැබේ.
මෙවැනි සිදුවීම් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට බාධාවන් තිබේද? යම් අවස්ථාවක දරුවකු පාසල් වේලාව තුළ දී තහනම් කර්මාන්තයක යෙදීම සම්බන්ධව පැමිණිලි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට පැමිණිලි කිරීමට ඕනෑම පුරවැසියකුට හැකියාව ඇත. මෙවැනි අවස්ථාවල බොහෝ විට සිදු වනුයේ දරුවන් මවුපියන්ට භාර දී අවවාද කිරීමය. එයට හේතුව සමාජ, ආර්ථික ගැටලු රාශියකට මෙම දරුවන් ඇතුළු මවුපියන් මුහුණදෙන හෙයින් ඔවුන් බන්ධනාගාරගත කිරීම හෝ නඩු මාර්ගයට ගෙන යාම තවදුරටත් ගැටලු උග්‍ර අතට පත් කිරිමට හේතු විය හැකි නිසාවෙනි. කෙසේ වුවද, දරුවන් නීත්‍යනුකූල නොවන අයුරින් සේවයේ යෙදවීම මවුපියන් හා භාරකරුවන් දඬුවම් ලැබිය හැකි වරදක් වේ.
මෙසේ මහමග රැකියාවේ යෙදෙන දරුවන් විවිධ පුද්ගලයන් විසින් අනවසරයෙන් වීඩියෝගත කිරීම, ඡායාරූප ගත කිරීම සහ සමාජ මාධ්‍ය හරහා විවිධ අරමුණු වෙනුවෙන් ප්‍රචාරණය කරන අවස්ථා දැකිය හැක. එවැනි ක්‍රියාව සම්පූර්ණයෙන් නීති විරෝධී වන අතර එසේ සිදු කරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු දඬුවම් පැමිණවීමේ හැකියාව ඇත.
මේ නිසා දරුවන් නීතියට පටහැණි අයුරින් විවිධ කර්මාන්තවල යෙදීම හා යෙදවීම සිදුවන අවස්ථා සම්බන්ධයෙන් පුරවැසියන් වශයෙන් අප අවදියෙන් සිටිය යුතු අතර දරුවන් අපයෝජනයට ලක් වන අවස්ථාවලදී ඊට එරෙහි වීමට කිසිවිටෙකත් පසුබට නොවිය යුතුය.