'සුනී' තරුවක් නොවූ තරුව

මාර්තු 31, 2025

 

පැය අටක කාලයකට අභ්‍යවකාශයට ගොස් මාස නවයක්ම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකිරීමට සිදුවූ සුනීතා (සුනී) විලියම්ස් සහ බර්ච් විල්මෝර් අභ්‍යවකාශගාමී දෙපළ දෙසට මේ දිනවල ලෝකයේම අවධානය යොමු වී ඇති අයුරු දැකිය හැකියි.

 

මේ අභ්‍යවකාශගාමීන් Space-X යානයෙන් යළි පෘථිවියට ළඟා වුණේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීමකට අනුව එලොන් මස්ක් ඊට මැදිහත්වීම නිසයි. ෆ්ලොරිඩා මුහුදු කලාපයට ඔවුන් ගොඩබට අවස්ථාවේ ඩොල්පින් මසුන් කුතුහලයෙන් යුතුව එහි රොක් වීම පවා මාධ්‍ය වාර්තා කළා. සිය සගයන් යළි තමන් හා එක්වීම NASA ආයතනයටත්, ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ටත් විශාල සතුටක් වී ඇති අයුරු පෙනුණා. සුනීගේ ඉන්දීය සම්භවය හේතුවෙන් භාරත වැසියන්ද ඒ සතුට සමරන්නට එක්ව සිටියා. අභ්‍යවකාශයට ගිය ඉන්දීය සම්භවයෙන් යුතු දෙවැනි කාන්තාව සුනීතා විලියම්ස්. එම පළමුවැන්නිය වූ කල්පනා චව්ලා 2007 වසරේ දී කොලොම්බියා ඛේදවාචකයෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.

 

මේ වනවිට 59 හැවිරිදි වියේ පසුවන "සුනී" හෙවත් "සොනිකා"ගැන දැනගැනීමට බොහෝ දෙනා උනන්දුයි.1965 සැප්තැම්බර් 19 වැනිදා ඇය උපත ලබන්නේ,අමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ දී. ඇයගේ පියා ඉන්දියානුවෙක් වන දීපක් පන්ඩ්‍යා. මව, ස්ලෝවීනියානු සම්භවයකින් යුතු උර්සුලීන් බොනී.

අමෙරිකානු නාවික ඇකඩමියට එක්වනවිට සුනී 18 හැවිරිදි වියේ පසුවූ යුවතියක වූවාය. නාවික ගුවන් පුහුණු විධානය යටතේ පුහුණුව ලැබූ ඇය, යොමු කෙරුණේ, ප්‍රහාරක හෙළිකොප්ටර් යානා හැසිරවීමටයි. නාවික හමුදා වෘත්තීය ජීවිතයේ දී ඇය, සංග්‍රාමික මෙහෙයුම්වල මෙන්ම ස්වාභාවික ආපදා හමුවේ එම මෙහෙයුමවලට ද එක්වී තිබෙනවා. පුහුණු ගුවන් නියමුවරියක ලෙස රාජකාරි අරඹන විට ඇය 28 හැවිරිදි වියේ පසුවුණා. අනතුරුව ගුවන් පුහුණු උපදේශකවරියක ලෙස ද ඇය උසස්වීම් ලැබුවා.

 

භෞතික විද්‍යා උපාධිධාරිණියක වූ ඇය NASA ආයතනයේ අභ්‍යවකාශගාමියෙකු ලෙස එක්වීමට අයදුම් කරන විට ඊට අවශ්‍ය ප්‍රායෝගික සුදුසුකම් සියල්ල ඇය සතු වුවත් විද්‍යා/ඉංජිනේරු ක්ෂේත්‍ර සඳහා ශාස්ත්‍රපති උපාධියක්(MSc) ලබාතිබීමේ අනිවාර්යය අවශ්‍යතාව ඇය සපුරා සිටියේ නෑ.

 

ෆ්ලොරිඩා තාක්ෂණ ආයතනයට ඇතුළත්ව ඉංජිනේරු කළමනාකරණ ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නා ඇය 1998 වසර වනවිට, එනම් 33 හැවිරිදි වියේදී අභ්‍යවකාශගාමියෙකු ලෙස NASA ආයතනයේ පුහුණුව ඇරැඹුවා. රොබෝටික්ස් හා ISS මෙහෙයුම් තාක්ෂණය පිළිබඳ ඇය විශේෂයෙන් පුහුණුවීම්වල යෙදුණේ මොස්කව් නුවර පිහිටි රුසියානු අභ්‍යවකාශ ආයතනයේ දීය. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය(ISS) බලා සුනී ගේ පළමු ගමන(STS-116) සිදු වූයේ, 2006 වසරේ දීය.

 

මේ චාරිකාවේ මෙහෙයුම් ඉංජිනේරුවරිය වූයේ ඇයයි. එම පළමු චාරිකාවේදීත් ඈ ඉන් පිටත පැය 29ක් ගතකරමින් සිය වගකීම් ඉටු කළා. දින 195 ක් මේ ගමනේ දී ඇය ISS හි ගතකළා. කාන්තාවක ලෙස මේ කාරණා දෙකම 2015 වසර තෙක් බිඳනොවැටුණු වාර්තා ලෙස පැවතියා.

2012 වසරේ දී දෙවැනි වරට ද ඇය ISS වෙත යනවිටද(TMA 05) මෙහෙයුම් ඉංජිනේරුවරිය මෙන්ම ගවේෂණයේ අණදෙන නිලධාරිනිය වූයේ ද ඇයයි. මෙවර ඇය යානයෙන් පිටත ගතකළ කාලය පැය 21 ක්. ඒ සමඟ එලෙස පැය 50 ට වැඩි කාලයක් ද මෙවර ගුවනේ ගතකළ දින 127 සමඟ දින 321 ක් ද ඇය අභ්‍යවකාශයේ සම්පූර්ණ කර සිටියා.

2015 වසරේ දී NASA වාණිජමය අභ්‍යවකාශ චාරිකා සඳහා තෝරාගත් කණ්ඩායමට ද ඇය ඇතුළත්ය.

 

මෙවර තුන්වැනි අවස්ථාව ලෙස අභ්‍යවකාශගාමී බර්ච් විල්මෝර් ද සමඟ සුනී ISS වෙත යන්නේ ඉකුත් වසරේ ජූනි 5 වැනිදා. පැය කිහිපයක කාර්යයක් නිමවා ආපසු පෘථිවියට ළඟා වීමට නියමිතව තිබුණ ද හීලියම් කාන්දුවක් හේතුවෙන් NASA ආයතනය එම ආපසු ගමන පමා කළේ ඔවුන්ගේ ජීවිතාරක්ෂාව ගැන කල්පනා කරමින්. මේ අන්දමින් එම ආපසු ගමන අවස්ථා කිහිපයකදීම කල් දැමීමට සිදු වුණා. 2024 දී ඔවුන් ආපසු රැගෙන ඒමට ගුවනට ගිය යානය ද පෘථිවියට ළඟා වූයේ හිස් අතින්.

කෙසේ හෝ අවසානයේ දී ඉකුත් 17 වැනිදා යළිත් ආපසු පැමිණීමට තරම් ඔවුන් වාසනාවන්ත වූවා. මෙවර ගතකළ මාස 9 සමඟ "සුනී" මේ දක්වා දින 608ක් අභ්‍යවකාශයේ ගතකර තිබෙනවා.එය ඕනෑම NASA අභ්‍යවකාශගාමියෙක් අභ්‍යවකාශයේ ගතකළ දෙවැනි වැඩිම කාලයයි. දින 675 ක් එහි ගතකර ඇති පෙගී විට්සන් දැනට පළමුවැන්නා ලෙස එම වාර්තාවට හිමිකම් කියනවා. සුනීගේ ජීවිතය දෙස බලනවිට පෙනෙන තවත් විශේෂතාවක් වන්නේ සෑමවිටෙකම පාහේ ඇයගේ පළමු තෝරාගැනීම හෝ මනාපය නොව දෙවැන්න ඉටු වී ඇතිබවයි. අධ්‍යාපනය ලබද්දී ඇයගේ පළමු අපේක්ෂාව වූයේ පශු වෛද්‍යවරියක වීමයි. එහෙත් ඇය එක්වූයේ නාවික හමුදාවටයි. නාවික ජීවිතයේ දී ඇය වඩාත් ප්‍රිය කළේ කිමිදුම් වුවද ඇයට තෝරාගැනීමට සිදු වූයේ ගුවනයි. ගුවන තෝරාගත් පසුව ඇය වඩාත් කැමැති වූයේ ජෙට් යානා පියාසර කිරීමට වුවද ඇයට සිදු වූයේ හෙළිකොප්ටර් යානා පියාසර කිරීමටයි . ගුවනට පිවිසුණ ද අභ්‍යවකාශගාමී ක්ෂේත්‍ර්‍රය ඇයගේ බලාපොරොත්තු අතර තිබූ දෙයක් නොවෙයි. එසේ වුවද, ජොන්සන් අභ්‍යවකාශ ආයතනයට යාමට ලද අවස්ථාවක ඇය ඊට යොමුවීමත් එක්තරා අහම්බයක්. එහිදී, ප්‍රවීණ අභ්‍යවකාශගාමියෙක් වන ජොනී යන්ග් වෙතින් ද පුහුණුව ලැබීමට ඇයට අවස්ථාව උදාවූවා. සුනී NASA ආයතනය සමඟ එක්වූයේ,නාවික හමුදාවේ එකොළොස් වසරක සේවයෙන් අනතුරුවයි.

 

ඇයට සෑම ධෛර්යයක්ම හා ශක්තියක්ම දෙමින් ඇයගේ සැමියා මයිකල් ජේ විලියම්ස් ලබාදුන් දායකත්වය ද ඇය ලැබූ සාර්ථකත්වය හා කීර්තිය පසුබිමේ දැකිය හැකියි. අධිකරණ ක්ෂේත්‍රයේ මාර්ෂල් තනතුරක් දැරූ ඔහු ඇයට හමුවන අවදියේ නම් ඔවුන් දෙදෙනාම ගතකළේ අමෙරිකානු නාවික ඇකඩමියේ. මුලින් ඔවුන් අතර ඇතිවූ සමීප මිත්‍රත්වය පසුව ආදරවන්තයන් බවට පත්කර තිබූ අතර එය කෙළවර වූයේ විවාහයෙනි. කලින් කලට එක් අයෙක් ගුවනේ සහ අනෙකා පොළවේ ගතකළ ද අදටත් ඔවුන් අතර ඇත්තේ දැඩි සබැඳියාවක්. දෙදෙනාම සුරතල් සතුන්ට ද දක්වන ආදරය ඒකාකාරයි. සුනී ඉන්දීය සංස්කෘතියට අනුගත ජීවන රටාවක් ප්‍රියකරන බැවින් මයිකල් ද ඊට අනුගතයි.

 

මේ වනවිට ලොව සිටින ඉහළ පෙළේ අභ්‍යවකාශගාමියෙකු වන සුනී විලියම්ස් , NASA ආයතනයෙන් වාර ගණනාවක දීත්, ඉන්දීය රජය එරට පුරවැසියෙකු නොවන අයෙකුට පිරිනමන දෙවැනි ඉහළම සම්මානය වන "පද්මභූෂණ සම්මානයෙන් හා ස්ලෝවීනියාවේ තරුණ ප්‍රජාව අතර විද්‍යාව හා තාක්ෂණය ජනප්‍රිය කිරීමට ඇයගේ කැපවීම හා දායකත්වය අගය කර එරට ජනාධිපති සම්මානයෙන් ද ඇය පිදුම් ලබා සිටියි.

පසුගිය වසරේ දී BBC ය තෝරාගත් ලොව ප්‍රබල කාන්තාවන් 100 දෙනා අතරට ද සුනීතා විලියම්ස් ඇතුළත්ය.