වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
සුළු දෙය ඇසුරු කිරීම

මම ‘With Love, Meghan' බලන්න ගත්තෙ බොහොම වෙහෙසකර සතියක බර හෑල්ලු වෙලා යාවි කියන විශ්වාසයෙන්. ඇත්තටම ඒක එහෙම වුණා.
මේක නෙට්ෆ්ලික්ස් කතා මාලාවක්. කොටස් 08ක් තියෙනවා. සරල සිදුවීම් මාලාවක් වටායි හැම කොටසක්ම ගලාගෙන යන්නෙ. මේගන් තමන්ගෙ සමීපතම යහළුවොන්ට කෑම, බීම හදමින් නොයෙකුත් සත්කාර කරනවා. මේ හැම කොටසකදිම ආරාධිතයෙක් හෝ කිහිප දෙනෙක් එනවා. එහෙම එන අයත් මේගන්ට තමන් දන්න දෙයක් උගන්වනවා. එක්කො කෑමක්, බීමක් හදන හැටි, රූපලාවණ්‍ය සත්කාරයක් මේ අය අතර හුවමාරු වෙනවා. අතොරක් වෙලාවට මේ අය කන්දක් නඟින්න යනවා. ගෙවත්තෙ එළවළු, පලතුරු ආදිය කඩාගෙන එන්න යනවා. පික්නික් යනවා ආදී වෛවාරණ වැඩ කෙරෙනවා.
ඉතාම සරල, හෘදයංගම රූපවාහිනී කතා මාලාවක් වුණ ‘With Love, Meghan' මගේ හිත ඇදගත්තේ ඉතාම සුළු දේවල්වලට මේගන් දක්වන උනන්දුවයි. එයා කාට හරි තෑග්ගක් දෙනකොට ඇපෙන් බේරෙන්න තෑග්ගක් දෙන්න උත්සාහ කරන්නෑ. තෑග්ග ලබන මනුස්සයාගේ ආසාවේ කලාපය තියෙන්නෙ කොහෙද කියලා එයා උනන්දු වෙනවා. අතින් ලියපු පොඩි සටහනක් ඒකට එකතු කරනවා. කෑමක්, බීමක් දාපු වීදුරු බෝතලයක් නම් එයා ඒකෙ ලස්සන රෙදි බෝ එකක් ගැට ගහනවා. වීදුරු බෝතලේ මතුපිට එයාගෙ ලස්සන අත් අකුරෙන් ලබන්නාගෙ නම ලියපු ස්ටිකර් එකක් අලවනවා. අනෙකාව පිනවීමට වඩා අනෙකාට තමන් ආදරෙයි බව පෙන්වන්න ඈ කරන මේ ඉතා සුළු ක්‍රියාකාරකම් මගේ හිත ඇදගත්තා. පුද්ගලයෙක් විදිහට ඈත් ඉතාම කුඩා දේවල්වලින් සතුටු වෙන බව කතා මාලාව පුරාම පේන්න තියෙනවා.
මේගන්ගෙ බලු සුරතලාගෙ නම 'ගයි'. මේගන් මුළුතැන්ගෙයි කෑම උයන මුළු වෙලාවෙම 'ගයි' එයාගෙ කුඩා ළමා ඇඳේ වැතිරිලා නිදියනවා. එහෙමත් නැත්නම් මේගන්ගෙ වැඩ දිහා වැතිරිලා බලාගෙන ඉන්නවා. මේගන් එක තැනක කියනවා ගයි එයාගෙ ජීවිතේ හැම සිද්ධියකදිම හිටපු හෙවණැල්ල වගේ කතාවක්. ඒ වගේම ඇගේ හැම පියවරක්ම, කටහඬක්ම 'ගයි' දන්නවා. මේවා ඉතාම සුළු දේවල්. සමහර විට මේ කතා මාලාව බලපු අනෙක් අයට එහෙම දෙයක් පෙනිලවත් නැතිවෙන්න පුළුවන්.
මේ කතා මාලාව රූගත කරලා තියෙන්නෙ කැලිෆෝනියාවෙ අති සුඛෝපභෝගී ගොවිපොළක ඇති මන්දිරයකයි. වඩාත්ම උත්ප්රාසවත් කතන්දරය එන්නෙ ඊට පස්සෙ. මේ ඉන්නෙ මේගන් මාර්කල් බව කථාංග හතරක් හෝ පහක් යන තුරු මට මතකයට ආවෙ නෑ. ඈ නිළියක් බව පටන් ගැන්මේදීම කියවෙන නිසා මේ නිළි බව ඔළුවෙ තියාගෙන මම ‘With Love, Meghan' බැලුවා. නමුත් මේ ඉන්නෙ හැරී කුමාරයා විවාහ කරගත් මේගන් මාර්කල් බව දැනගත්තට පස්සෙ අනවශ්‍ය තොරතුරු රාශියක් කතා මාලාව උඩ නටන්න පටන් ගත්තා. සෙවුම් රාශියකට පස්සෙ අතොරක් ප්‍රේක්ෂකයන් මේ කතා මාලාව ඉතාම ප්‍රිය කරන බවත්, තවත් කොටසක් මෙය තදින්ම ප්‍රතික්ෂේප කරන බවත් දැනගන්නත් ලැබුණා.
සමහර දේ රසවිඳින්න අපිට තොරතුරු රාශියක් ඕෙන වෙනවා වගේම සමහර දේ රස විඳින්න එහෙම තොරතුරු අප්‍රමාණයක් ඕන වෙන්නෙ නෑ.
කාංචනා අමිලානි