අද පවතින ලෝකයට වඩා වෙනස් ම වූ මනුෂ්‍ය ලෝකයක්

ජනවාරි 6, 2021

පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරෙනි.

පින්වතුනි, විශ්වයට බුදුකෙනකු පහළවීම ඉතාමත් දුර්ලභ කාරණයක්. “බුද්ධ” කියන වචනය පවා ඇසීම දුර්ලභ යි. ඒ උතුම් බුද්ධ ශාසනයත්, දුර්ලභ මනුෂ්‍යත්වයත්, සද්ධර්මයත් අද ඔබට ලැබී ඇති අවස්ථාවක්. එමනිසා අප්‍රමාදීව මේ ධර්මය වටහා ගන්න උත්සාහ කරන්න.

පින්වතුනි, සමහර කල්පවලට පහළ වෙන්නේ එක් බුදුකෙනකු පමණයි. සමහර කල්පවල බුදුවරු දෙනමක්. හෝ තුන්නමක් පහළ වෙනවා. කල්පයකට උපරිම පහළ විය හැක්කේ, බුදුවරු පස්නමකට පමණ යි. එහෙම අවස්ථාවකට කියනවා මහා භද්‍ර කල්පයක් කියලා. එමනිසා අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයක බුදුවරු පස්නමක් පහළ වන අති දුර්ලභ කාලවකවානුවක. දැනට කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම නමින් බුදුවරු හතර නමක් පහළ වී අවසන්. අනාගතයේ මේ භද්‍ර කල්පයේ ම අග මෛත්‍රී බෝධි සත්ත්වයන්ගේ පහළවීම සිදුවෙනවා.

බුදුරජාණන් වහන්සේලා පාරමී පුරන ආකාරයත් එකිනෙකට වෙනස්. අපේ ගෞතම බුදුන්වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පමණයි පාරමී පිරුවේ. එසේවීමට හේතුව එතුමන් ප්‍රඥාධික බුදුකෙනෙක් වීම යි. අනාගතයේ පහළවන මෛත්‍රී බෝධි සත්ත්වයෝ වීර්ය අධික බුදුකෙනෙක්. උන්වහන්සේ දස පාරමී පුරන්න ගත්තේ, ගෞතම බුදුන්වහන්සේ දීපංකර බුදුන්වහන්සේගෙන් විවිරණ ලබන්නත් බොහෝ කාලයකට පෙරයි. එනම්, සොළොසා සංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙරයි.

එනම්, සංඛ්‍යයකුත් කල්ප ලක්ෂ දහසයකට පස්සේ මේ දීර්ඝ සසර ගමනේ මෛත්‍රී බෝධි සත්ත්වයෝ නමින් බුදුබව ලබනවා. මෛත්‍රී බෝධි සත්ත්වයෝ නියත විවරණ ලැබුවේ, මුහුත්තර බුදුන්වහන්සේගෙන් ය. එවකට සක්විති රජෙක්ව සිටි මෛත්‍රී බෝධි සත්ත්වයෝ සක්විති රජකම අතහැර මුහුත්තර බුදුන්වහන්සේ ළඟ “රතන” නමින් පැවිදි වූහ. පැවිදි ජීවිතය තුළ බොහෝ ගුණ ධර්ම පුරා මටත් ලෝක සත්ත්වයාව සසරෙන් එතෙර කරන්න පුළුවන් වූ සම්බුද්ධත්වයකට පත්වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කළා. මුහුත්තර බුදුන්වහන්සේ එවිට බලනවා, රතන ස්වාමීන්වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙනවා ද කියා.

අනාගතයේ පහළවන භද්‍ර කල්පය අවසානයේ බෝධි සත්ත්වයෝ හැටියට උන්වහන්සේ ලොව පහළවන බව උන්වහන්සේ දකිනවා.

තවද, අවසාන වශයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් මෛත්‍රී බෝධි සත්ත්වයෝ නියත විවරණ ගනු ලබන අවස්ථාවේ එනම්, දෙවියන්ට අභිධර්මය දේශනා කිරීමෙන් පසු, දෙව් බඹුන් පිරිවරාගෙන සංඛස්ස පුරයට වැඩම කරන ප්‍රාතිහාර්‍ය දැක බලාගැනීමට පැමිණෙන මහජනතාවට සියලු පහසුකම් සැපයීමට සිරිවර්ධන සිටුවරයා මූලිකත්වය ගන්නවා.

එදා ගෞතම බුදුන්වහන්සේ දෙවියන් සමඟ වැඩමකරන අවස්ථාව මිනිසුන්ට පියවි ඇසින් දැක ගැනිමටත් හැකි වුණා. ගෞතම බුදුන්වහන්සේ වැඩම කරපු අවස්ථාවේ සිරිවර්ධන සිටුවරයා බුදුන් වහන්සේට වැද මා කරන ලද පිනේ මහිමයෙන් මාගේ ප්‍රාර්ථනාව ඉටුවේවා කියා සත්‍ය ක්‍රියාවක් ද සිදුකළා. එම ප්‍රාර්ථනාව ගැන දිවැසින් බැලූ බුදුන්වහන්සේ මාගෙන් පසු මෛත්‍රී බුදුන් නමින් අනාගතයේ මේ සිටුවරයා බුදුවන බවට නියත විවරණ දෙන ලදී. එය මෛත්‍රී බෝධි සත්ත්වයෝ අවසන් වශයෙන් ගත් නියත විවරණය යි.

අදටත් මෛත්‍රී බෝධි සත්ත්වයෝ තුසිත දෙව්ලොව වැඩ සිටි යි. එමෙන් ම සියලුම පාරමී දම් පුරපු අගසව් දෙනම ඇතුළු අසූ මහ ශ්‍රාවකයෝ ම මේ දිව්‍ය තලයේ වැඩ සිටිති.

දැන් ඔබට හිතෙන්න පුළුවන්, තව බුදු කෙනෙක් අනාගතයේ පහළවන නිසා අපට ඒ කාලයේ දී මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න පුළුවන් කියා. නමුත් දීඝනිකායේ චක්‍රවර්තී සිහනාද සුත්‍රයේ සඳහන් වෙනවා මේ තිබෙන මිනිස් ආයුෂ අඩුවෙලා, අඩුවෙලා, අවුරුදු 10ට අඩුවූ විට ලෝකයේ සිටින මිනිසුන් කෙලෙස්වලින් විකෘති භාවයට පත්වෙලා එකිනෙකා මරාගෙන ලේ විලක් බවට පත්වන බව. නමුත් ඉන් ඉතාමත් සුළු පිරිසක් පමණක් ඉතිරි වෙයි. ඉන්පසුව මේ ටිකදෙනා ටිකෙන් ටික ගුණවත් වී අවු 10ට අඩු වූ ආයුෂ අවුරුදු සියයකට වරක්, එක අවුරුද්ද ගණනේ වැඩි වෙනවා. මේ වගේ අවුරුදු ප්‍රකෝටි ගාණක් ගියපසු මිනිසුන්ගේ ආයුෂ අසූදහසක් වූ තැන දඹදිව “සංඛ” නමින් සක්විති රජ කෙනකු පහළ වෙනවා. එම කාලයේ දී මෛත්‍රී බෝධි සත්ත්වයෝ දෙව්ලොවින් මනුලොවට පැමිණීම සිදු වී මේ මහා භද්‍ර කල්පයේ මෛත්‍රී බුදුන් නමින් බුදුවෙනවා. එමනිසා අප අප්‍රමාදීව කුසල් වඩා මේ ගෞතම බුදුන්වහන්සේගේ ශාසනයේ ම යම්කිසි මාර්ග ඵලයකට එළැඹිය යුතුයි. මෛත්‍රී බෝධිසත්ත්වයෝ පහළවන කාලයේ අද තිබෙන මනුෂ්‍ය ලෝකයට වඩා වෙනස් ම වූ මනුෂ්‍ය ලෝකයක් තමයි දක්නට ලැබෙන්නේ.

ඒ කාලයේ දඹදිව කේතුමතී රාජධානියේ සංඛ නමින් සක්විති රජ කෙනකු පහළ වෙනවා. ඔහුට සිටිනවා මහත් නුවණින් පිරි “සුබ්‍රක්ම” නම් පුරෝහිතතුමෙක්. එම සුබ්‍රක්ම පුරෝහිතයටත් එම බැමිණියටත් දාව මෛත්‍රී බෝධි සත්ත්වයන්ගේ ඉපදීම සිදුවෙනවා.

මෛත්‍රී බෝධිසත්වයෝ පහළ වී අවුරුදු 18,000ක් ගිහි ජිවිතයේ වාසය කරනු ලබනවා. ඒ කාලයේ මිනිස් ආයුෂ අවුරුදු 80,000ක්. එතුමාගේ අගබිසව බවට පත්වන්නේ “චන්ද්‍රමුඛි” නම් දේවිය යි. සසරේ බොහෝ කාලයක් ඇය පෙරම්පුරා පැමිණ ඇති අතර ඔවුන්ට දාව “බ්‍රහ්මවර්ධන” නමින් පුතකු බිහිවීම සිදුවෙනවා. එම පුතු බිහිවන දවසේ සතර පෙරනිමිති දැක මෛත්‍රී බෝධි සත්ත්වයන්ට ගිහි ජීවිතය පිළිබඳ කලකිරීම ඇති වේ. සෑම බුදුකෙනකුට ම සතර පෙරනිමිති පෙනීම සිදුකරන්නේ, දෙවියන්ගේ බලපෑම මත යි. මෙයට හොඳම උදාහරණය ගෞතම බුදුන්වහන්සේව ගිහි බන්ධනයේ සිර කරන්න සුද්ධෝදන රජු කොතරම් උපක්‍රම යෙදුවත් නියමිත කාලයේ දී දෙවියන්ගේ බලපෑම මත සතර පෙරනිමිති පෙනෙන්නට ඉඩ සැලැස්වී ය. එම ආකාරයට ම මෛත්‍රී බුදුන්ටත් එම බලපෑම සිදු වන අතර ගිහි ජීවිතය පිළිබඳ කලකිරී මාළිගාවේ උඩුමහල් තලයට ගොස් දුෂ්කරක්‍රියා කිරීමට පටන් ගන්නවා. එතුමන් අපේ ගෞතම බුදුන්වහන්සේ වගේ මාළිගාව අතහැර මහ කැලයට නොගොස් තම මාළිගාවේ ම උඩුමහල්තලය සිය කර්තව්‍යට තෝරාගන්නවා.

හරියට ම සතියක් පමණයි දුෂ්කර ක්‍රියා කිරීම සිදුවන්නේ. සත්වැනි දවසේ වෙසක් පුන් පෝදා උදාවන දවසේ උන්වහන්සේ විමුක්තියක් සොයා යා යුතුයි කියා සිතින් සිතන කොටම දෙවියන් විශාල ප්‍රමාණයක් එතැනට රැස් වී එක බ්‍රහ්ම දෙවිකෙනකු අට‍පිරිකර පුජාකරනවා. එම සිවුරු පිරිකර දරාගන්නා උන්වහන්සේ තම දේවිය වන චන්ද්‍රමුකි දේවියගේ කිරිපිඬු පූජාව වැළඳීම ද සිදුකරනවා. ඉන්පසුව දෙවිවරු පිරිවරාගෙනම අහසින් වැඩම කරන උන්වහන්සේ නැගෙනහිර දෙසට මුහුණලා නුග බෝරුක මුල තුළ සමාධි සුවයෙන් වැඩ හිඳ රාත්‍රී පළවැනි යාමයේ පුබ්බේනිවාසානුස්සති ඥානය ද දෙවැනි යාමයේ චුතුපපාධි ඥානය ද තුන්වැනි යාමයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්චසමුප්පාද ධර්මය ද වඩා රාත්‍රිය අවසන් වෙනවාත් සමඟ සියලු කෙලෙසුන් නසා මේ මහා අවසාන භද්‍ර කල්පයේ පස්වැනි බුදුන්වහන්සේ ලෙස මෛත්‍රී බුදුන්වහන්සේ නමින් ලොව පහළ වෙනවා. මෙම තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු එක්ලක්ෂ අසූදහසක කාලයක් පවතිනවා. නමුත් ගෞතම බුදුන්වහන්සේ ලොව පහළ වූයේ මිනිස් ආයුෂ අවුරුදු 120 පමණ ඇති අඩු කාලෙක යි. ඒ නිසයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය අවුරුදු 5000ක් පවතින්න අධිෂ්ඨාන කළේ. උන්වහන්සේ අඩු ආයුෂ ප්‍රමාණයකින් පරිනිර්වාණය කළත් තවත් බොහෝ පින් ඇති අය ලොව පහළ වන නිසා එම අයට වැඳපුදාගෙන පින් රැස්කර ගැනීම සඳහා මාගේ ධාතුන් වහන්සේලා මේ මේ ප්‍රමාණයෙන් ලොව පුරා විසිරෙන්න අධිෂ්ඨාන කළා. නමුත් දීර්ඝ ආයුෂ ඇති කාලවල බුදුවරු ධාතුන් වහන්සේලා විසිරෙන්නවත් අධිෂ්ඨාන නොකරන බව ධර්මයේ සඳහන් වෙනවා. දැන් අප ජීවත් ‌වෙන්නේ ගෞතම බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවුරුදු 2500 අවසන් වුණ තැනයි. අද සමාජයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 75ට අඩු වී තිබෙන යුගයක මිනිසුන් අතිශයින් කෙලෙස්වලින් පිරිහී තිබෙනවා. අද වීර්යය ඇති මිනිසුන් පමණක් තමන්ගේ හිත දමනය කරගෙන මේ භයානක සසරෙන් එතෙර වෙනවා. තාමත් අපගේ ගෞතම බුදුන්ගේ නිර්මල දහම එලෙස ම පවතිනවා. එමනිසා අප්‍රමාදීව ධර්මයේ හැසිරී මෙම භයානක සසරෙන් එතෙර වන්න උත්සාහ ගන්න.

 

ඉතිරි කොටස ලබන සතියේ බලාපොරොත්තුවන්න

 

ඡායාරූප - අන්තර්ජාලයෙනි