දැඩි වෛරය නිසා මරණින් පසු පිඹුරකුගේ ස්වරූපයෙන් ගිනිගෙන දැවෙන ප්‍රේතයා

ජුනි 3, 2024

 

වෛරයෙන් වෛරය කිසිම දි‍ෙනක සන්සිඳෙන්නේ නැහැ. වෛර කරන පුද්ගලයාට මෛත්‍රී කිරීමෙන් පමණයි එය වළක්වා ගන්න පුළුවන්. එයට කදිම නිදසුන් කතා පුවතක් ධම්මපදට්ඨ කතාවේ සඳහන් වෙනවා.

දිනක් මුගලන් මහරහතන් වහන්සේ ලක්ඛණ මහරහතන් වහන්සේ සමඟ ගිජ්ඣකූට පර්වතයෙන් පහළට වඩිමින් සිටින අතරතුරේ දී, මුගලන් මහරහතන් වහන්සේ යොදුන් විසිපහක් පමණ දිගැති පිඹුරකුගේ ස්වරූප ඇති ප්‍රේතයෙක් දුටුවා. ඒ ප්‍රේතයාගේ හිසෙන් ගිනිදැල් මතු වී වලිගයේ කෙළවර දක්වා වේගයෙන් ඇවිළීගෙන ගොස් නැවතත් වලිගය කෙළවරෙන් ගිනිදැල් මතු වී හිස දක්වා ඇවිළීගෙන යනවා. නැවතත් හිස මුඳුනෙනුත් වලිගය කෙළවරෙනුත් දෙපැත්තෙන්ම ගිනි ඇවිළීගෙන එනවා. එවිට මෙම පිඹුරු ප්‍රේතයා මහත් වේදනාවකින් ඇඹරෙමින් බැගෑ හඬ නඟනවා. මෙය දුටු මුගලන් මහරහතන් වහන්සේ මහත් අනුකම්පාවෙන් ඒ දෙස බලා මඳ සිනහවක් පහළ කළා. මුගලන් මහරහතන් වහන්සේ සිනහ පහළ කරනු දුටු ලක්ඛණ මහරහතන් වහන්සේ ඒ පිළිබඳව මුගලන් මහරහතන් වහන්සේගෙන් ඒ පිළිබඳව විමසුවා. එම ප්‍රශ්නයට පිළිතුරු මේ අවස්ථාවේ දී නොදෙන බවත් බුදුන් වහන්සේ ඉදිරියේ දී එම ප්‍රශ්නය අසන ලෙසත් එවිට පිළිතුරු ලබා දෙන බවත් මුගලන් මහරහතන් වහන්සේ පැවසුවා.

බුදුන් වහන්සේ ප්‍රධාන සිව්වනක් පිරිස ඉදිරියේ දී මෙම ප්‍ර‍ශ්නය විමසූ විට මුගලන් මහරහතන් වහන්සේ තමන් දුටු සිදුවීමේ විස්තරය පැවසුවා. එවිට බුදුන් වහන්සේ ද මෙම පිඹුරු ෙප්‍ර්තයා, නේරංජනා නදිය අසබඩ බෝමැඩ සිටිය දී දුටු බව පවසා අතීත කතා ප්‍රවෘත්තිය පැවසුවා.

කාශ්‍යප බුදුන් වහන්සේගේ දවස සුමංගල නම් ඉතා ධනවත්, ශ්‍රද්ධාසම්පන්න සිටුවරයෙක් ජීවත් වුණා. මෙම සිටුවරයා රන් ගඩොල් බිම අතුරා විශාල ධනයක් වියදම් කොට ගන්ධකුටියක් සකස් කොට බුදුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පූජා කළා. සුමංගල සිටුතුමා දිනපතාම බුද්ධෝපස්ථානය සඳහා මෙම විහාරයට ගියා. දිනක් සිටුතුමා බුද්ධෝපස්ථානය සඳහා විහාරයට යන අතරතුර දී රාත්‍රී කාලය පුරාම සොරකමේ ගොස් නගරයේ දොරටුව අසල ශාලාවක ඔළුවෙ සිට පොරවාගෙන නිදාගෙන සිටින එක්තරා සොරෙක් දුටුවා. මේ සොරාගේ කකුල්වල මඩ තැවරී තිබුණා.

සිටුතුමා මොහු දෙස බලා, මොහු රෑ පුරාම ඇවිද සොරකම් කොට දවල්ට නිදියන කෙනෙක් විය යුතුයි සෙසු පිරිසට පැවසුවා. එය ඇසුණු සොරා හිසේ සිට පොරවාගෙන සිටි වස්ත්‍රය ඉවත්කර සිටුතුමා දෙස බලා ඔහු කියූ කියමනට සිටුතුමා සමඟ වෛරයක් ඇතිකර ගත්තා.

සොරාගේ සිතේ ඇති වූ වෛරය පළිගැනීමක් බවට පත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සිටුතුමාට අයිතිව තිබූ පැසුණු කුඹුරු යාය සත් වතාවක් ගිනි තැබුවා. ඒත් සිතේ ඇති වූ වෛරය, පළිගැනීම සන්සිඳුණේ නෑ. නැවතත් සිටුතුමාගේ ගවගාලට පැන ගවයන්ගේ කකුල් කැපුවා. සත් වතාවක්ම සිටුමාලිගාව ගිනි තැබුවා. නමුත් සිටුතුමා කලබල වුණේ නෑ.වෛර කළේ නෑ. තරහ ඇතිකර ගත්තේ නෑ.

මෙපමණ සිටුතුමාට අලාභහානි සිදු කළත් සොරාට කෝපය නිවාගන්න බැරි වුණා. ගිනිගෙන දැවෙන ගිනි ගොඩක් මෙන් කෝපය, වෛරය බුරා බුරා සිතේ නැඟුණා. ඉන් පසු සිටුතුමාගේ අතවැසියෙක් යාළු කරගෙන සිටුතුමා වැඩිපුරම ප්‍රිය කරන දේ කුමක්ද කියා ඇසුවා. බුදුන් වහන්සේට පූජා කළ ගන්ධකුටියට සිටුතුමා වඩාත් ප්‍රිය කරන බව මොහු පැවසුවා. පසුව මේ සොරා කිසිවෙක් නැති වෙලාවක බුදුන් වහන්සේගේ ගන්ධ කුටියට ගිනි තැබුවා. මේ බව සිටුතුමාට ආරංචි වුණා. සිටුතුමා දුවගෙන විත් ගිනි ගන්නා ගන්ධකුටිය දෙස බලා ප්‍රීතියෙන් අත්පොළසන් දෙන්න පටන් ගත්තා. මෙය දුටු මිනිසුන් පුදුමයට පත් වී මෙපමණ අලාභයක් ඔබතුමාට සිදු වී තිබියදීත් අත්පුඩි ගසමින් ප්‍රීති වන්නේ ඇයි දැයි විමසුවා.

මම ධනය වියදම් කොට සකස් කළ මේ විහාරය ගිනි ගෙන දැවුණත් මට ලැබුණු පින මගේ සිතේ ඇති වූ කුසල සිතුවිලි කිසිවෙකුටත් විනශ කළ නොහැකි බවත්, ගන්ධකුටිය ගිනි තැබූ නිසා ඒ වගේම තවත් මහා පින්කමක් සිදුකර ගැනීමට තමන්ට අවස්ථාව උදා වී ඇති බවත් සිටුතුමා පැවසුවා.

සිටුතුමා නැවතත් එවැනිම ගන්ධකුටියක් සකස් කළා. මෙය දුටු සොරා‌ගේ සිතේ කෝපය, වෛරය තව තවත් වැඩිවුණා. මෙපමණ හානි කළත් සිටුතුමා‌ට රිදවීමට නොහැකි වූ නිසා සිටුතුමාව මරනවා මිස වෙනත් විසඳුමක් නොමැති බව කල්පනා කළා.

ගන්ධකුටිය පූජා කිරීම නිමිත්තෙන් සත් දිනක් දන් පින්කම් පැවැත්වූවා. මේ දින සතේම ඉණේ පිහියකුත් බැඳගෙන සිටුතුමා මරන්නට උත්සාහ කළත් එය නොහැකි වුණා. සිටුවරයා පින්කමේ අවසාන දින බුදුන් වහන්සේට වන්දනා කොට මෙහෙම කිව්වා.

“බුදුන් වහන්ස, යම් කිසි මිනිසෙකු සත් වතාවක් මගේ කුඹුරු යාය ගිනි තිබ්බා. ගව පට්ටියට රිංගලා අහිංසක ගවයින්ගේ කකුල් කැපුවා. මාගේ මාලිගාව සත් වතාවක් ගිනි තිබ්බා. මම හිතනවා ගන්ධකුටිය ගිනි තිබ්බෙත් ඔහුමයි. කෙසේවෙතත් මේ පුද්ගලයා ගැන මට තියෙන්නේ මහා අනුකම්පාවක්. බුදුන් වහන්ස, මා මේ ගන්ධ කුටිය පූජා කිරීමෙන්, සත් දිනක් මහා සංඝයාට දන් දීමෙන් රැස් කළ පින පළමු කොට ඒ පුද්ගලයාට අයිති වේවා! ඒ පිනෙන් ඔහු සැපවත් වේවා!” කියා පින් අනුමෝදන් කළා.

මෙය ඇසුණ සොරාට මහා දුකක් ඇති වුණා. මේ වගේ සත්පුරුෂයෙකුට නේද මෙතරම් හානි කළේ කියලා. සොරා තමන් සිටි තැනින් නැඟිට සිටුතුමාගේ පාමුල වැඳ වැටී “දිනක් නගරය දොරටුව අසල ශාලාවේ නිදාගෙන සිටින විට ඔබතුමා යනගමන් මා දෙස බලා, මොහු රෑට සොරකමේ ඇවිදින දවල් නිදන කෙනෙක් වගේ කියා සෙසු පිරිසට කිව්වා. ඉතින් මට කේන්ති ගියා. ඒකට පළිගන්නයි මං මේ හැමදෙයක්ම කළේ එයට මට සමාවදෙන ලෙස ඉල්ලුවා.”

මෙම අවස්ථාවේ දී සිටුතුමා මේ සොරාට සමාව දුන්නා. නමුත් කළ පාපී ක්‍රියාවන්ට කර්මයෙන් සමාවක් ලැබුණේ නෑ. එහි විපාක වශයෙන් අවීචි මහා නිරයේ අප්‍රමාණ දුක් විඳ එකී පාපයේ ඉතිරි කර්මය විඳීමට විසිපස් යොදුන් දිගැති ගිනිගෙන දැවෙන පිඹුරු ප්‍රේ‍‍තයෙක්ව ඉපදුණා.

නුවණ මඳ පුද්ගලයා පාපී ක්‍රියාවන් කළ පසු ඉන් ලැබෙන විපාකයේ භයානකකම ගැන කල්පනා නොකොට පළිගැනීම, වෛරය, ක්‍රෝධය වැනි අකුසල් සිතුවිලි දිගටම පවත්වාගෙන යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ දී ළැව් ගින්නක් මෙන් තමාටම ඒවා විඳීමට සිදුවන බව බුදුන් වහන්සේ දේශනා කළා.

ඔබත් මෙවැනි සුළු සුළු සිදුවීම් නිසා ඥාති හිතමිත්‍රාදින් සමඟ රණ්ඩුවෙමින්, වෛර කරමින් කෝපයෙන් ජීවත් වෙනවා ඇති. එසේ ජීවත් වන්නේ නම් මරණින් මතු ඔබටත් මෙවැනි විපාක විඳීමට සිදුවන බව බුද්ධිමත්ව අවබෝධ කරගෙන මේ මොහොතේම සිතේ ඇති වී තිබෙන වෛරී, ෙක්‍රා්ධ සිතුවිලි වෙනුවට මෛත්‍රී සිතුවිලි ඇතිකර ගන්න.

 

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.