යක්ෂයන්ට බාර හාර වී අහිංසක දරුවන් බිල්ලට දෙන්න එපා

ජනවාරි 20, 2021

 

පින්වතුනි අද සමාජය බෙහෙවින්ම විනාශකාරීයි. මිනිසුන් ධර්මය තමන් විසින්ම අවබෝධ කර නොගෙන විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. ඔවුන් දන්නෙ නැහැ ධර්මය විකෘති කරන එකේ පලවිපාක.

 

අද සමාජයේ රැල්ලක් විදියට තර්කයක් ඉදිරිපත් කරනවා බුදුන් උපන්නේ ලංකාවේ කියා. අඩුම තරමේ ඒ මිනිසුන් දන්නේ නැහැ තමන් ඊළඟ බවයේ කොහේ ඉපදෙයි ද කියලවත්. ඒ අය ළඟ පංච ශීලයවත් නැහැ. නිකරුණේ පව් රැස්කර ගන්නවා හොඳටම.

ඔබ දන්නව ද? බුදුන් වහන්සේ මෙහෙයි උපන්නේ කියන කොටම රුවන්වැලි මහා සෑය ප්‍රතික්ෂේප වෙනවා. ජයසිරි මහා බෝධිය ප්‍රතික්ෂේප වෙනවා. මොකද ජය ශ්‍රී මහා බෝධිය ඉන්දියාවෙන් මෙහෙට වැඩැම්මුවේ. ලලාට ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් වැඩැම්මුවේ. මේ එක වචනයක් නිසා සියලුම ධාතූන් වහන්සේලා මෙන්ම මහා සෑයන් ප්‍රතික්ෂේප වෙනවා.

එමෙන්ම මිහිඳු මහා රහතන් වහක්සේත් ප්‍රතික්ෂේප වෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රතික්ෂේප වුණ ගමන් උන්වහන්සේ මතකයෙන් දරාගෙන ආපු ඒ ත්‍රීපිටක ධර්මය පවා අහෝසි වෙනවා. බුද්ධ, ධම්ම, සංඝ යන තුරුණුවන් ප්‍රතික්ෂේප කර, මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි කරගෙන කල්ප ගණන් නිරයේ දුක් විඳීනවා. බුදුකෙනෙක් ඇහැටවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කරන පාපයෙන් අඩුම තරමේ බුදුකෙනෙක් ඉපදෙන භුමියේ තිරිසනෙක් වෙලාවත් ඉපදෙන්නෙ නැහැ. දන්න කියන කෙනෙක් ඉන්නවා නම් මේ අකුසල කර්මවලින් බේරගන්න. පින්වතුනි, බුදුන් වහන්සේ දේශනා කරනවා මේ මහ පොළොවෙන් නියසිලට ගත් පස් ප්‍රමාණයට පමණයි උතුම් වූ මිනිසත් බව ලැබෙන්නෙ කියා. මේ මහ පොළොවේ පස් ප්‍රමාණයට මිනිසුන් අපාගත වෙනවා. එය බුද්ධ වචනයක්. මේ විනාශය කරන මිනිසුන් සිටී නම් ඔවුන්ට අනුකම්පාවෙන් මේ අය බේරගන්න.

මේ තවත් කාරණයක්. මාව මුණගැහෙන්න ආවා අම්මයි, තාත්තයි, තව පොඩි දරුවකුයි. ඔවුන්ගේ මුහුණේ තිබුණේ නැහැ ප්‍රියමනාප බවක්. මම ඔවුන්ගෙන් ඇහුව්වා මොකද මේ අය කියා. එවිට ඔවුන් පැවසුවා හමුදුරුවනේ අපි ඔක්කොටම බෙල්ලේ වැල දාගෙන මැරෙන්න හිතෙනවා කිව්වා. හමුදුරුවණේ අපේ ලොකු පුතාට අවු 18යි. ලොකු පුතා අවු 16 දි පමණ ලෙඩ වෙලා ත්‍රීකුණාමල පැත්තේ දේවාලයකට ගිහින් අපි බාරවුණා දරුවා සුවකර දෙන්න කියා. එහිදි දිෂ්ඨියෙන් පැවසුවා ගෙදර සාලේ යට ලීයේ පඬුරක් ගැට ගහපන් මාව සිහිකරලා කියලා යක්ෂණියකගේ නමක් කිව්වා. ඉතින් අපි ගෙදර ඇවිත් කියපු විදිහට සිහිකර පඬුර ගැට ගැහුව්වා. ළමයාගේ අසනීපයත් සුව වුණා. අවුරුදු එකහමාරක් පමණ ගිය පසු පුතා කිව්වා අම්මේ ඔය යට ලීයේ තියෙන රෙදි කෑල්ල ගලවා දාමු කියා. මොකද ගෙදරට මිනිස්සු ආවාම ලැජ්ජා නිසා. ඉන්පසු ඉනිමඟක් ගෙනවිත් පුතා ඒ පඬුර ලෙහා දැම්මා. දවස් දෙකක් ගියා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. දෙවැනි දවසේ අම්මා හීනයක් දැක්කා පුතා එක්ක අර ගිය පරණ දේවාලයට යනවා. එහිදී අර පිළිමේ හිටිය යක්ෂණිය තමන්ගේ පුතාව ඇදගෙන යන්න හදනවා හීනෙන් දුටුවා.

තුන්වැනි දවසේ මඟුල් ගෙදරකට යාමට ගෙදර අය පිටත් වුණා ලොකු පුතා ටිකක් අසනීපයි කියපු නිසා අනිත් අය මඟුල් ගෙදරට යාම සඳහා ගෙදරින් පිටත් වුණා. ගෙදර අය පාන්දර දෙකට පමණ ආපසු පැමිණෙන විට ලොකු පුතා පඬුර ගැටගහපු යට ලීයේම බෙල්ල වැළලාගෙන එල්ලී සිටියා. අර යක්ෂණි එම දරුවව බිලිගත්තා. දැන් ඒ ගෙදර ඉන්න අයට මැරෙන්නම ලු හිත දෙන්නේ. මටත් හිතාගන්න බැරිවුණා මෙයාලට දෙන විසඳුම. මම හිතෙන් හිතුවා තතගතයන් වහන්සේටමයි මේ අය බේරගන්න පුළුවන් කියා. මා පැවසුවා මේ දැන්ම රුවන් වැලි මහා සෑයට ගිහින් බුදුගුණ කියලා සෑය

වටේ ප්‍රදක්ෂිණා කරලා බිම වැතිරිලා තමන්ගේ ජීවිත තුනුරුවන්ට පුජා කර රතන සුත්‍රයත් අංගුලි මාල පිරිතත් මෝර පිරතත් කියා උතුම් සෑයේ ආනුභාවයෙන් හා ධර්මයේ සත්‍ය බලයෙන් ඔබලාව ආරක්ෂා කරන්න කියා මා පැවසුවා. ඔවුන් මහා සෑයට ගොස් මා පැවසූ ආකාරයෙන්ම සෑයට පුද සත්කාර කොට පැමිණ තිබෙනවා. එදා ඉඳන් ඒ අය එම යක්ෂණියගේ බලපෑමෙන් නිදහස් වුණා. ඔය එක කතාවක් විතරයි පුඬුරු නිසා විනාශ වුණු.

තව දවසක් මට තරුණයෙක් හමුවුණා. ඒ තරුණයා කිව්වා ස්වාමින්වහන්ස මං ශ්‍රී මහ බෝධිය වටේ තිබෙන සෑම බෝධීන් වහන්සේ නමකගේම ගැට ගහපු සියලුම පඬුරු ගැලැව්වා කිව්වා. මම ඇත්තටම බය වුණා මේ කොල්ලට මොකක් වෙයි ද කියා. මම දැක්කා ස්වාමින්වහන්ස බෝධින්වහන්සේගෙ අතු තදවෙලා තියෙන විදිහ. ඒ නිසා මම ගලවා දැම්මා කිව්වා. නමුත් ස්වාමින් වහන්ස මට එදා රෑ නිදාගන්නම දුන්නෙ නැහැ. මගේ ඇඟ සීරුවා. බෙල්ල මිරිකන්න පටන් ගත්තා. මට එවලේම සිහි වුණේ මගේ බුදුරජාණන් වහන්⁣සේට අපහසුතාවක් ඇතිවෙයි කියා හිතලයි මන් පඬුරු ගැලෙව්වේ. එම නිසා තුනුරුවන්ගේ බල මහිමෙන්, උතුම් ස්වර්ණමාලි මහා සෑයේ අනුහසින්, ශ්‍රී මහ බෝධින් වහන්සේගේ අනුහසින් ධර්මයේ සත්‍ය බලයෙන් මට සෙත් වේවා කියලා හිතුවා විතරයි. සියලුම කරදරවලින් මා නිදහස් වුණා කිව්වා. ඇත්තටම මේ කොල්ලා බේරුණේ තිසරණේ හිත පිහිටවා ගත් නිසාමයි. නැත්නම් මරාගන්නවා.

පින්වතුනි, අද රථවාහන අනතුරුවලින් තරුණ ජීවිත කොතරම් නැතිවෙනවා ද? හොඳට හොයා බලන්න. ඔය නැතිවුණ දරුවෝ බොහෝ දෙනෙක් දේවාලවලට බාර කරපු දරුවන්. අද දරුවෝ විභාගවලට යෑමට පෙර මවුපියෝ දේවාලවලට ගිහින් අපේ දරුවන් විභාගයෙන් සමත් කරදෙන්න කියා පඬුරු ගැට ගහනවා. ගැට ගහන හැම පඬුරකටම භුත⁣යෙක් හෝ ප්‍රේත ආත්මයක් ගැට ගැසෙනවා. ඉතින් එම ආත්ම ළමයින්ගේ හිතට කාවද්දනවා විභාගයට හොඳට ලියපන් ලියපන් කියලා. ඔය හැම ළමයටම හිසේ කැක්කුමක් ඇතිවෙනවා හොඳට හොයලා බලන්න. දැන් ඔය විභාගය ලියන දරුවා විභාගය අසමත් වෙනවා ඉන්පසු මාපියෝ හිතනවා විභාගය පාස් වුණොත් විතරයි අපි පොරොන්දු වුණේ පුජා වට්ටියක් දෙවොලට රැගෙන යන්න කියා. දැන් ඕක දෙන්න ඕනේ නැහැ කියා හිතනවා. නමුත් පින්වතුනේ භුතයට පාස් ද ෆේල් ද වැඩක් නැහැ පඬුරක් ගැටගහලා බාර වුණා නම් පූජාව දෙන්නම ඕනේ. කිසිම බාරයකට පුජාවක් නොදී ඉන්න බැහැ. නැත්නම් එම දරුවන්ට නොයෙකුත් කරදරවලට මුහුණ පාන්න වෙනවාමයි.

ඔබට මේ සියලුම බාර හාරවලින් නිදහස් වීමට අවශ්‍ය නම් එක ක්‍රමයක් තියෙනවා. එක්කෝ දන්න දන්න බාර ඔක්කෝම ඔප්පු කරන්න ඕනේ. මොකද සමහර මාපියෝ ⁣වුණ බාර අමතක වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවල උතුම් ස්තානයකට ගොස් අපි හිතමු රුවන්වැලි මහා සෑයට කියා. ගිහින් භග්‍යවතුන් වහන්සේ උදෙසා විචිත්‍රාකාරයෙන් බුද්ධ පූජාවක් සකසා මල්,පහන්, සුවඳ දුම් උතුම් වු තතාගතයන් වහන්සේට පූජා කොට පිරිත් පොත අරගෙන මළුවේ වාඩි වී පිරිත් ටිකක් කියා මෙතෙක් සසරේ දැන නොදැන ගෙන අපි වුණ බාර තිබෙනවා නම් ඒ ඇත්තන්ට තුටු පඬුරු ලෙස මේ සිදුකළ පින අනුමෝදන් කොට අදින් පසු සියලුම බාර නිදහස් වේවා කියා ප්‍රාර්ථනා කරන්න. එදා ඉඳන් බාර නොවි ඉන්න. අදින් පසු ඔය මෝඩ වැඩ කරලා ඔ⁣බගේ ඔය වටින මිනිස් ජීවිත බිල්ලට නොදී උතුම් සද්ධර්මයේම පිහිට විතරක් පතන්න. මොකද අපට වෙන සරණක් නැහැ. එකම සරණ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සරණ පමණයි.

 

පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරෙනි.