මළගිය ඇත්තන්ට ගෙදරදී පින් දීම සුදුසු ද?

අගෝස්තු 18, 2021

මියගිය ඇත්තන්ට ගෙදරදී පින් දීම සුදුසු බව පිරිසක් කියන අතර, එය නුසුදුසු බව තවත් පිරිසක් කියනු අසන්නට ලැබේ. මෙම ලිපිය ඒ පිළිබඳ ධර්මානුකූල විවරණයකි. පළමුව මියගිය ඥාතීන්ට පින් දීම අනිවාර්යයෙන්ම කළ යුතු බව සඳහන් කරමින් පහත සඳහන් මාතෘකා ඔස්සේ කරුණු දක්වන්නට ලිපිය ආරම්භ කරමි.

 

1. කෙනෙක් මිය යාමත් සමගම සිදුවන්නේ කුමක්ද?

2. ඔහු හෝ ඇය උපත ලබන ස්ථාන මොනවාද?

3. ඔහු හෝ ඇය ඒ උපත ලබන භූමියේ දී යැපීම සිදුවන්නේ කෙසේද?

4. ඒ මිය ගිය අයගෙන් පින් අනුමෝදන් විය හැකි පිරිසේ ස්වභාවය කෙබඳුද?

5. පින් අනුමෝදන් කිරීම යනු ඒ ඥාතීන් සිටින තැනින් දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබ වීමක්ද?

6. පින් අනුමෝදන් කළ පසුව මිය ගිය අය පැමිණ ජීවත්ව සිටින අයට කරදර කරනවාද?

7. මියගිය ඤාතීන්ට පින් අනුමෝදන් කරන්න එපා යැයි කියන්නේ කුමන පිරිස්ද? ඔවුන් කියන ආකාරයට පින් අනුමෝදන් නොකළොත් කුමක් වෙයිද?

8. පින් අනුමෝදන් කළ යුත්තේ නි‍ෙවසේමද?

9. මළගිය ඇත්තන්ට නි‍ෙවසේදී පින් දීම නුසුදුසුය යැයි කීමට හේතු මොනවාද?

10. මියගිය අයට පින් දීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

 

ඉහත සඳහන් මාතෘකා ඔස්සේ මෙතැන් සිට කරුණු දක්වනු ලැබේ. එහිදී අවසාන නිගමනය කරුණු දැක්වීමෙන් පසුව ඔබම තීරණය කරන්න. විශාල මාතෘකාවක් නිසා කෙටි කර අවශ්‍ය කරුණු පමණක් දක්වනු ලැබේ.

 

1.කෙනෙක් මිය යාමත් සමඟම සිදුවන්නේ කුමක්ද?

 

දෙවි කෙනෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මනුස්සයෙක් හෝ නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපාගත කෙනෙක් හෝ කවුරු හෝ සත්ත්වයෙක් මිය යාමත් සමගම නැවත උත්පත්තිය ලබයි.

 

කිසිම සත්ත්වයකුට ස්ථිර ව තිබෙන රූපයක් හෝ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණයක් හෝ නැත. හේතූන්ගෙන් හට ගන්නා ඒ පඤ්චුපාදානස්ඛන්ධයෝ ලක්ෂණය සහ ආයු කාලය අනුව ඇති වූ සැණෙකින්ම නැතිව යයි. මේවා හේතු-ඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වන අතර අඛණ්ඩවම පවතී.

සියලු කෙලෙසුන් නැසූ බුදු, පසේබුදු, මහරහත් යන උත්තමයන් වහන්සේලා හැර, ඕනෑම කෙනෙක් මිය යෑමත් සමඟම ඔහුගේ කර්මය අනුව චුතියත් සමගම යම් තැනක ප්‍රතිසන්ධිය ලැබීම අනිවාර්යයෙන්ම සිදුවේ. ඒ ජලයේද, අහසේ ද, පොළොවේ ද, කුමන තැනකද යන්න තීරණය වන්නේ ඔහුගේ කර්මය අනුව ය.

 

2.ඔහු හෝ ඇය උපත ලබන ස්ථාන මොනවාද?

 

ඔහු හෝ ඇය උපත ලබන ස්ථානය වන්නේ ඔවුන්ගේ ගරුක, ආසන්න, ආචිණ්ණ, කටත්තා, ජනක, උපතස්ථම්භක, උපපීළක, උප ඝාතක ආදී කර්ම අනුව විඤ්ඤාණත්ඨිති හතෙන් එක් තැනක ය.

 

i. නානත්ත කායා නානත්ත සඤ්ඤා.

ii. නානත්ත කායා ඒකත්ත සඤ්ඤා.

iii.ඒකත්ත කායා නානත්ත සඤ්ඤා.

iv.ඒකත්ත කායා ඒකත්ත සඤ්ඤා.

v.ආකාසාණඤ්චායතනය.

vi.විඤ්ඤාණඤ්චායතනය.

vii.ආකිඤ්චඤ්ඤායතනය.

viii.නේවසඤ්ඤා නා සඤ්ඤායතනය.

ix.අසඤ්ඤසත්තය යන නව සත්තාවාසයන්ගේ යම් තැනක ඔවුන්ගේ වාසය සිදුවේ.

 

 

3.ඔහු හෝ ඇය ඒ උපත ලබන භූමියේ දී යැපීම සිදුවන්නේ කෙසේද?

 

ඒ ඒ සත්ත්වයින් උප්පත්තිය ලබන භූමි වලට අදාල කබලිංකාර ආහාරය ආදී ඔහුගේ නාම ධර්මයෝ, රූප ධර්මයෝ හටගන්වන හේතු අනුව පැවැත්ම සහ යැපීම සිදුවේ.

 

එහිදී පින් අනුමෝදන් වීමෙන් ආහාරපානාදිය ලබා ගත හැක්කේ පරදත්තූපජීවී අයට පමණී.

 

එක් දිනක් ජාණුස්සෝණිය නම් බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ ඇසී ය.

 

“පින්වත් ගෞතමයන් වහන්ස, අපි බ්‍රාහ්මණයෝ වෙමු. ‘මේ දානය පරලොව ගිය නෑ සහ ලේ නෑයන්ට පැමිණේවා. මේ දානය පරලොව ගිය නෑ සහ ලේ නෑයෝ වළඳත්වා’ යි දන් දෙමු. මතකබත් දෙමු. පින්වත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, ඒ දානය පරලොව ගිය ඒ නෑ සහ ලේ නෑයන්ට පැමිණේද, කිමෙක්ද, පරලොව ගිය ඒ නෑ සහ ලේ නෑයන්ට ඒ දානය පැමිණේද?”

 

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ "බමුණ ස්ථානගත ඥාතීන්ට ලැබේ. අස්ථානගත ඥාතීන්ට නොලැබේ" ලෙසයි. ඒ අනුව පිං අනුමෝදන් විය හැක්කේ පින් අනුමෝදන් විය හැකි ස්ථානවල උප්පත්තිය ලැබූ අයට පමණි. එවැනි තැන් වල උප්පත්තිය නොලැබූ අයට කලින් භවයේ නෑදෑයින් විසින් පිංකම් සිදු කර අනුමෝදන් කරන පිනෙන් ආහාර පාන ඉදුම් හිටුම් ආදිය උපදවා ගත නොහැකි බවයි.

 

එම සූත්‍රයේ සඳහන් වන ආකාරයට සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේළාම් කීම, ඵරුෂ වචන කතා කිරීම, හිස් වචන කථා කිරීම, දැඩි ලෝභය, කේන්ති යෑම, මිත්‍යාදෘෂ්ඨිය යන දස අකුසල කර්ම පථය අනුව අකුසල් කළ සත්වයෝ නරක, තිරිසන්, වැනි තැන්වල උත්පත්තිය ලබයි. එවැනි අයට ජීවත්ව සිටින නෑදෑයින් විසින් පින්කම් කර අනුමෝදන් කරන පිනෙන් ආහාර පාන, ඉඳුම් හිටුම් ආදිය ලැබෙන්නේ නැත. එම ස්ථාන පින් අනුමෝදන් විය නොහැකි ස්ථානයන් වේ.

එසේම තවත් පින් අනුමෝදන් විය නොහැකි ස්ථාන වන්නේ සතුන් මැරීමෙන් වැළකීම , සොරකම් කිරීමෙන් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සැර පරුෂ වචන කතා කිරීමෙන් වැළකීම, හිස් වචන කතා කිරීමෙන් වැලකීම, දැඩි ලෝභයක් නැතිකම, කේන්ති යෑමක් නැතිකම, සම්මා දිට්ඨිය ඇති කම යන දස කුසල කර්ම පථයේ හැසිරෙන අය මිනිසුන් අතර සහ දිව්‍යලෝක වැනි තැන්වල උප්පත්තිය ලබයි. එම ස්ථාන ද කලින් භවයේ නෑදෑයින් විසින් අනුමෝදන් කරන පින් වලින් ආහාරපාන, ඉදුම්හිටුම් ආදිය ලැබෙන ස්ථාන නොවේ. ඒවාද පින් අනුමෝදන් විය නොහැකි ස්ථාන වේ.

 

මෙම ලිපියේ ඉතිරි කොටස ඊලඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.

 

 

අනුශාසනාව

පූජනීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.