මෙතරම් සංහාරයක් වන්නේ, මිනිසුන්ගේ අකුසල කර්මවල බලවත්කම නිසා ද?

සැප්තැම්බර් 8, 2021

කෝවිඩ් වසංගතය හමුවේ මුළු ලෝකයම දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ. දරුවන්ට දෙමවුපියන් ද, දෙමව්පියන්ට දරුවන්ද, අහිමි වෙමින් මහා මිනිස් සංහාරයක් මේ මොහොත වන විට ද මේ මිහිපිට සිදුවෙමින් පවතී. මෙතෙක් කිසිදු ඖෂධයකට මේ මිනිස් සංහාරය සහමුලින්ම නතර කිරීමට නොහැකි වී තිබේ. නමුත් යම්තාක් දුරකට තරමක් මර්දනය කර ගැනීමට හැකිවී තිබේ.

කෝවිඩ් වසංගතය හමුවේ, ඖෂධ වලද, තුණුරුවන්ගේ ද, දෙවියන්ගේද, පිහිට නොමැතිව මෙතරම් සංහාරයක් වන්නේ මිනිසුන්ගේ අකුසල කර්මවල බලවත්කම නිසා ද? යැයි බොහෝ දෙනා අසති. මේ ඒ පිළිබඳ විමසා බැලීමකි. එයට පිළිතුරු දීමේදී ඔබ පළමුව පහත සඳහන් කරුණු දැනගෙන සිටිය යුතු වේ.

මිනිස්සුන්ගේ වේවා! දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, සතර අපාගත සත්ත්වයින්ගේ, ආදී ලෙස සියලුම සත්වයින්ගේ මරණය සිදුවන්නේ සතර ආකාරයකට ය. ඒ

 

ආයුක්ඛය මරණය

නියමිත ආයු කාලය ගෙවීමෙන් සිදුවන මරණය.

කම්මක්ඛය මරණය

කර්ම බලය අවසන් වීමෙන් සිදුවන මරණය.

උභයක්ඛය මරණය

ආයුෂත් කර්මයත් දෙකම එක්වර ගෙවීමෙන් සිදුවන මරණය

උපච්ඡේදක මරණය

ආයුෂත් කර්මයත් ඉතිරිව තිබියදී, අතීත භව වලදී හෝ වර්තමාන භවයේ දී කළ පාප කර්මයකින් රෝග ආදී අනතුරු ඇතිකර සිදුකරන මරණය.

 

සියලුම දෙනාගේ මරණය සිදු වන්නේ ඉහත කී ආකාරය අනුව ය. පවතින කෝවිඩ් වසංගත තත්වය නිසා උපච්ඡේදක මරණ ප්‍රමාණය වැඩි වී තිබේ. කර්මය සහ තවත් බොහෝ හේතු වලින් සත්වයින්ගේ නාමරූප ධර්ම වල පැවැත්ම සිදුවූවත්, සියල්ල සිදු වන්නේ කර්මයෙන් නොවුනත්, කර්මය තරම් සත්වයින්ට බලපාන තවත් ධර්මතාවයක් නැති තරම් ය.

කර්මයෙනුත් ඉතාම බලවත් කුසල අකුසල කර්මයන් හැර සාමාන්‍ය කුසල අකුසල කර්මයන් තම තමාගේ ඵල ඇති කරන්නේ උපකාරක හේතු පැමිණීමත්, බාධක හේතු නොපැමිණීමත් යන කරුණු අනුව ය. උපකාරක හේතු හතරක් තිබේ. බාධක හේතුත් හතරක් තිබේ.

 

උපකාරක හේතු සතර

 

1. ගති සම්පත්තිය

ඒ ඒ අයගේ කුසල කර්ම බලයෙන් මිනිසෙක් දෙවියෙක් ආදී ලෙස යහපත් ආත්මභාවයක උප්පත්තිය ලබන්නේ ගති සම්පත්තිය නිසා ය. ඒ ගති සම්පත්තිය නිසා ඔහුට හෝ ඇයට අතීතයේ කළ නොයෙකුත් කුසල කර්ම වල විපාක ලැබෙන්නට පටන් ගනී. ඒ නිසාම ගති සම්පත්තිය ඇති අයගේ අතීත භව වල අකුසල කර්මවලට විපාක දීමට ඒ කාලයේදී ඉඩ නො නොලැබේ.

 

2. උපධි සම්පත්තිය

උප්පත්තියෙන් ලබා සිටින තැන හොඳින් වැඩුණු අංගසම්පූර්ණ නිරෝගී ශරීරය උපධි සම්පත්තිය වේ. මෙවැනි හොඳින් වැඩුණු නිදුක් නිරෝගී අංග සම්පූර්ණ ශරීරය නිසා ඔවුන්ගේ කුසල කර්මයේ විපාක දීම ලෙස යන යන තැනදී සැලකිලි ආදිය ලැබේ. මේ උපධි සම්පත්තිය නිසා අතීත අකුසල කර්ම වලට විපාක දීමට අවස්ථාව නොලැබී යයි.

 

3. කාල සම්පත්තිය

හොඳ මිනිසුන් සිටින රටක්, හොඳ දේශගුණයක්, යහපත් හොඳ ආණ්ඩුවක්, ධනය ධාන්‍ය භව භෝග සම්පත් සුලබ කාලය අයත්වන්නේ කාල සම්පත්තියට යි. එවැනි කාලයක උපදින අයට මේ කාල සම්පත්තිය නිසා දුර්වල වූ කුසල කර්මයන්ගේ විපාකයද ලැබෙන්නට පටන් ගනියි. මේ කාලයේදී ඔහුගේ හෝ ඇයගේ අතීත අකුසල කර්මයන්ට විපාක දීමට ඉඩ නොලැබේ.

 

4. ප්‍රයෝග සම්පත්තිය

ජීවත්ව සිටින විට පාප කර්ම වලින් වැළකී සිටීම. දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම ආදී යහපත් කටයුතු කිරීම ප්‍රයෝග සම්පත්තිය වේ. ප්‍රයෝග සම්පත්තිය ඇති විට ඔහුගේ අතීතයේ කරගෙන තිබූ දුර්වල වූ කුසල කර්මයන්ගේ පවා විපාක ලැබෙන්නට ගනී. වර්තමානයේ සිල්වත්ව ගුණවත්ව සිටින ගිහි පැවිදි පින්වතුන්ට ගරුබුහුමන් ලැබෙන්නේ ඔවුන්ගේ අතීත කුසල් නිසා වුවත්, ඒවායේ විපාකය ලැබෙන්නේ සිල් රැකීම ආදී ප්‍රයෝග සම්පත්තිය නිසා ය. ප්‍රයෝග සම්පත්තිය ඇති විට ඇතැම් අතීත අකුසල කර්ම වලට විපාක දීමට ඉඩ නොලැබේ.

 

මේ කාරණා හතර කුසල කර්ම වලට තමන්ගේ යහපත් විපාකය ඇති කිරීමට උපකාරක හේතු වේ.

 

බාධක හේතු සතර

 

1. ගති විපත්තිය

නරක තිරිසන් ප්‍රේත අසුර යන සතර අපායට අයත් භවයක උත්පත්තිය ලැබූ අයට, ඒ අපායෙහි උප්පත්තිය ලැබීම ඔහුගේ හෝ ඇයගේ අතීත භවවල දුර්වල අකුසල කර්ම පවා විපාක දීමට හොඳම අවස්ථාවක් වේ. ඔහුට හෝ ඇයට බොහෝ කුසල් තිබුනත් ඒ කාල සීමාවේ ඒ කුසල් වලට විපාක දෙන්නට අවස්ථාව නොලැබේ. අවස්ථාව ලැබුණත් ලැබෙන්නේ ඉතා බලවත් අතීත කුසල් වලත් ඉතා අල්ප විපාක වලට පමණි.

 

2. උපධි විපත්තිය

ශරීරයෙහි විරූපී බව, අත් පා නැති බව. කොරවීම, අන්ධවීම, ගොළු වීම, බිහිරි වීම, ලාදුරු, ඒඩ්ස් වැනි දීර්ඝ කාලයක් පවතින රෝගවලින් පීඩාවට පත් වීම යනාදිය උපධි විපත්තිය වේ. බලවත් අතීත කුසල කර්ම තිබුනත්, උපධි විපත්තියේ සිටින කෙනෙක්ට, මේ උපධි විපත්තිය නිසා අර අතීත බලවත් කුසලයන්ගේ විපාකය නොලැබී යයි. මෙම උපධි විපත්තියේ සිටින අයට දුර්වල වූ අතීත අකුසල් පවා විපාක දේ.

 

3. කාල විපත්තිය

හොඳ පාලකයන් නැති, යුද්ධ පවතින, නරක මිනිසුන් සිටින, අපරාධ බහුල, දුර්භික්ෂයක් තිබෙන, වසංගත රෝගාබාධ පැතිරෙන නරක කාලයන් කාල විපත්තිය වේ. මෙවැනි කාල වල ජීවත් වෙන්නන්ට ආහාරපාන, ඇඳුම් පැළඳුම්, වස්තු මිල මුදල් ආදිය ලබන්නට පෙර පින් තිබුනත් ඒවා නොලැබී යයි. ලැබුණත් ලැබෙන්නේ ඉතා අල්ප ලෙස ය. හොඳ කාලයේදී විපාක දීමට තරම් ශක්තියක් නැති දුර්වල අකුසල කර්ම ද, කාල විපත්තියෙදී විපාක දේ.

 

4. ප්‍රයෝග විපත්තිය

සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම, ආදී පාප කර්ම වල යෙදීම ප්‍රයෝග විපත්තිය වේ. කම්මැලිකම, අද අද කළ යුතු දේ පසුවට දැමීමේ නරක පුරුද්ද ආදියද මෙයටම අයත් ය. ප්‍රයෝග විපත්තියේ සිටින අයට අතීත කුසල බලයෙන් ලැබෙන්නට තිබෙන උසස් තනතුරු, ගරු බුහුමන් ආදිය නොලැබී යයි. ධනවත් වෙන්නට පින් තිබුනත් ප්‍රයෝග විපත්තිය නිසා දුප්පත් වේ. දීර්ඝායුෂ ලබන්නට පින් තිබුනත් ප්‍රයෝග විපත්තිය නිසා අල්පායුෂ වේ. ප්‍රයෝග විපත්තියේ සිටින අයට දුර්වල වූ අතීත අකුසල කර්මවලින් දුප්පත්කම ලෙඩ රෝග හැදීම ආදිය මෙන් ම මරණය පවා ගෙන දිය හැකිය.

ඉහත කරුණු දෙස බලා, ඒ ඒ සත්ත්වයාගේ නාම රූප, ස්කන්ධ, ධාතු, ආයතන ආදියට කර්මය බලපාන ආකාරය සහ සම්පත්ති හතරත්, විපත්ති හතරක් උපකාර වන ආකාරය විමසා තේරුම් ගත යුතු ය. දැන් වර්තමානයේ පවතින කෝවිඩ් වසංගතයට ඖෂධ හෝ තුණුරුවන්ගේ ආශිර්වාදයත්, දෙවියන්ගේ රැකවරණයත් බලපාන ආකාරය විමසා බලමු.

කෝවිඩ් වසංගතය දුර්භික්ෂ, අමනුස්ස, රෝග ලෙස ඇතිවන තුන් බියක් නො වේ. එය වසංගත රෝග බියක් පමණී. අයත් වන්නේ කාල විපත්තියට ය. මෙවැනි නරක කාලයක් නිර්මාණය වී තිබියදී පෙර පින් කොපමණ තිබුණත් ඒවා විපාක දීමට අවස්ථාව නොලැබී යයි.

මෙම කාල විපත්තිය නිසා බොහෝ දෙනාට ආහාරපාන, ඇඳුම් පැළඳුම්, වස්තු, මිල මුදල් ආදිය ලබන්නට පෙර පින් තිබුනත් ඒවා නො ලැබී යමින් තිබේ. ලැබුණත් ලැබෙන්නේ ඉතා අල්ප ලෙසට ය. බොහෝ දෙනාගේ අතීත භව වල දුර්වල අකුසල කර්ම පවා මේ කාල විපත්තියෙදී විපාක දෙන ආකාරය දැකිය හැකිය. බොහෝ අයගේ අතීත දුර්වල අකුසල කර්ම පවා මතු වී මරණයට පවා පත් වෙමින් තිබේ.

එය තුණුරුවන්ගේ පිහිට නොලැබීම නොවේ. දෙවියන්ගේ රැකවරණය නොලැබීමත් නොවේ. එය කාල විපත්තියේ වරදයි.

මෙකල ප්‍රයෝග සම්පත්තියේ හැසිරිය යුතුය. එනම් තුනුරුවන් සරණ ගොස් වඩ වඩාත් ධර්මයෙහි හැසිරිය යුතුය. දෙවිවරුන්ට පුණ්‍යානුමෝදනා දීම ද අඛණ්ඩවම කළ යුතු ය.

කෝවිඩ් වසංගතය නතර කර ගත හැකි වන්නේ ඖෂධයකින්ම පමණි. ඖෂධයක් සොයා ගන්නා තෙක් එය අපූරුවට කළමනාකරණය කරගත හැකිය.

තුනුරුවන් සරණ ගොස් ධර්මයෙහි වඩ වඩා හැසිරීමෙන්, වර්තමාන කාල විපත්තිය හමුවේ මතු වන අතීත දුර්වල අකුසල් පවා, යම්තාක් දුරකට සමනය කර ගත හැකි වටිනා ප්‍රයෝග සම්පත්තියක් වේ. එම නිසා තෙරුවන් සරණ ගොස් නිරතුරුවම ධර්මයේ හැසිරිය යුතුම ය. රතන සූත්‍රය වැනි පිරිත් සූත්‍ර සජ්ජඣායනා කළ යුතු ය. ධර්මානුකූලවම සිල්වත්ව ගුණවත්ව කටයුතු කළ යුතුය.

දෙවිවරුන්ද සසර සැරිසරණ අසරණ සත්ව කොට්ඨාසයකි. එම දෙවියන්ට ද පුණ්‍යානුමෝදනා කළ යුතු ය. දෙවියන් ද තමන්ට හැකි සහයෝගයන් මිනිසුන්ට ලබා දේවි.

 

 

 

අනුශාසනාව

පූජනීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.