බොහෝ කල් පවතින රූමත් බවක් ලබන්නට නම් ධර්මානුකූලව කළ යුත්තේ කුමක්ද?

මාර්තු 14, 2022

කාන්තාවන්ට වටිනාම ආභරණයක් වන්නේ රූපය යි. කාන්තාවක් රූමත් විය යුතු අතර, ඇයට රූමත් බව පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. මාතුගාම සූත්‍රයේ පුරුෂයන්ගේ කැමැත්ත කාන්තාවන්ට අනිවාර්යෙන්ම ලැබෙන කරුණු පහක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබේ.

ඒවා නම්:-

“මහණෙනි, කරුණු පහකින් යුක්තවූ කාන්තාවට පුරුෂයා ඒකාන්තයෙන් මනාප වේ. ඒ කරුණු පහ වන්නේ, කාන්තාව රූමත්ද, ධනවත්ද, සිල්වත්ද, කම්මැළි නැති දක්ෂ තැනැත්තියක්ද, දරුවන් ලබනවාද, මහණෙනි, මේ අංග පසින් යුක්තවූ කාන්තාවට පුරුෂයා ඒකාන්තයෙන් කැමති වේ."

මෙම කරුණු අතර පළමු වැන්න රූමත් බවයි. රූමත් වීම වෙනුවෙන් කාන්තාවන් විවිධාකාර දේවල් කරනු ලැබේ. ඔවුන් විවිධාකාර ආලේපන, සායම් වර්ග, ක්‍රීම් වර්ග, පෙති වර්ග, ඉන්ජෙක්ෂන් වර්ග මෙන්ම, ප්ලාස්ටික් සැත්කම් ආදී බොහෝ දේවල් කර ගනිති. ඒවායෙන් දැන් පවතින ශරීරයේ පැහැය හැඩරුව ආදියේ යම් යම් වෙනස්කම් කර ගත්තත් ශරීර වර්ණය ලැබෙන කර්මජ හේතුව ඒවායින් වෙනස් කළ නොහැකිය.

විවිධ හේතූන්ගෙන් සෑදෙන මේ ශරීරයට කර්මය තරම් බලපාන හේතුවක් තවත් නැති තරම්ය. මිනිසුන්ගේ විවිධාකාර වෙනස්කම් වලට හේතු වෙන්නේ කුමක්ද කියා සුභ තරුණයා දිනක් භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය. එහිදී බුදු රජාණන් වහන්සේ

“කම්මස්සකා මානව සත්තා

කම්මයෝනි,

කම්ම බන්ධු කම්ම පටිසරණා කම්මං

සන්තෙ විභජති යදිදං

හිනප්පණිතතායාති”

(ම.නි. චුල්ලකම්ම විභංග සූත්‍රය)

“මානවකය, සත්ත්වයෝ කර්මයම තමා අයත් දෙය කොට ඇත. කර්මය දායාදය කොට ඇත. කර්මයම කාරණය කොට ඇත. කර්මයම නෑයන් කොට ඇත. කර්මය පිළිසරණ කොට ඇත. කර්මය විසින් සත්ත්වයා උස් පහත් වශයෙන් බෙදෙන්නේය.” යනුවෙන් දේශනා කළ සේක.

තමන් විසින් රැස් කර ගන්නා කුසල අකුසල කර්ම අනුව සත්ත්වයාගේ මුළු සසර කථාවම තීරණය වේ. රූපයට ද කර්මයම ප්‍රධාන කාරණාවක් වේ. ඉතාමත්ම කැත වෙන්නත්, ඉතා ලස්සන වෙන්නත්, ඉතා දුප්පත් වෙන්නත්, ඉතාමත්ම පොහොසත් වෙන්නත් හේතුව කුමක්දැයි දිනක් මල්ලිකා දේවිය බුදු රජාණන් වහන්සේගෙන් ඇසුවාය.

එයට බුදු රජාණන් වහන්සේ “නිතර කේන්ති ගන්නා, පුංචි දේටත් ගැටෙන අයගේ රූපය අනාගතයේදී අවලස්සන කැත වන බවත්, නිතර කේන්ති නොගන්නා, නිතර මෛත්‍රීයෙන් සිටින කාන්තාවන් ඉතාමත්ම ලස්සන රූමත් තැනැත්තියන් වන බවත් දේශනා කළ සේක. (මල්ලිකා සූත්‍රය)

එම සූත්‍රයේදීම, පැවිදි උතුමන්ට දානය පූජාකරන, වැඳුම් පිදුම් කරන, ඊර්ෂ්‍යාව ද්වේෂය නැති කාන්තාවන්, මෙතනදී කර්මානුරූපව මියගොස් නැවත මිනිස් ලොව හෝ දෙව්ලොව උපත ලබා, ඉතාමත්ම දර්ශනීය රූපසම්පත්තියක් ඇතිව, ඉතාමත්ම උසස් අයුරින් ධන ධාන්‍ය භවභෝග සම්පත් ඇති, මහේශාක්‍ය තැනැත්තියක් වන බවද දේශනා කළ සේක.

එයින් පෙනෙන්නේ පෙර සංසාරයේදී දානමාන ගරු සත්කාර වන්දනාමාන පුද පූජාවන් කරමින් ඊර්ෂ්‍යාව නැති ද්වේෂය නැති, නිතර කිපෙන්නේ නැති අය විශාල පරිවාර සම්පත්තියක් සමඟ මහ ධනවත්ව, උපදින බවත්, ඔවුන් ඉතා රූමත් වන බවත් ය. නිතර කේන්ති ගැනීමත්, අනුන්ට

ඊර්ෂ්‍යා කිරීමත්, කැත වන්නට අවලස්සන වන්නට හේතුව වේ. එම නිසා අනුන්ට ඊර්ෂ්‍යා නොකර මෛත්‍රී කළ යුතු ය. මෛත්‍රී කිරිමෙන් ලැබෙන ආනිසංස එකොළසින් එකක් වන්නේ “මුඛ වණ්ණෝ විප්පසීදති” මුහුණු ශරීර පැහැපත් වීමයි. ඒ බව මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වේ.

මේ ලෝකයේ රූමත් බවින් ඉහළින්ම සිටින්නේ භාග්‍යවතුන් වහන්සේ ය. බුදු රජාණන් වහන්සේගේ රූමත් බවට කිසිවෙකු සමකළ නොහැක. භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු සිරුර දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හා අසීති අනුව්‍යංජනවලින් යුක්තය. පෙර සංසාරයේ පිරූ උතුම් පාරමී බලය නිසා භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝකයේ රූමත්ම උත්තමයාණන් වහන්සේ වූ සේක.

ආනන්ද තෙරුන් වහන්සේ, මහා කාශ්‍යප තෙරුන් වහන්සේ, මහා කච්චායන තෙරුන් වහන්සේ, යශෝධරා තෙරණින් වහන්සේ, උප්පලවණ්ණා තෙරණින් වහන්සේ, විශාඛා සිටු දියණිය, කෝසල මල්ලිකා දේවිය, උත්තම උත්තමාවියන්ගේ චරිත කථා කියවූ වර්තමානයේදී ඉතා රූමත් ශරීරයක් ලබන්නට එම උතුමන් වහන්සේලා අතීතයේදී කළ කී පින්කම් දැන ගත හැකිය.

දන් දිමේ ආනිසංස ලෙස ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ආදිය ලැබේ. මෙතන වර්ණය ලෙස සඳහන් වූයේ ශරීර වර්ණය යි. ශරීරය සීයට සීයක් අංග සම්පූර්ණව පිහිටන්නේ කලාතුරකිනි. කුමන හෝ අඩුවක් පෙනෙන්නට තිබේ. සියලුදෙනාගේ ම මුහුණ ඇස්, කන්, නාස, මුව ආදිය පිහිටා තිබුණත් මුහුණට මුහුණක් හාත්පසින්ම වෙනස්ව පවතී. ලෝකයේ සියල්ලෝම එකිනෙකාට හැම අතින්ම සමාන වන්නේ නැත. මිනිස් රූපය අවයව හැඩහුරුකමින් සමාන වූවත් විවිධාකාර වෙනස්කම් වලින් යුක්ත වේ. එයට හේතුව සත්ත විඤ්ඤාණත්ඨිති, නව සත්තාවාස ආදිය යි.

අපගේ භවාංග චිත්ත සන්තතිය ප්‍රභාෂ්වර වේ. එහෙත් ආගන්තුක කෙළෙස් වලින් සිත කිළිටි වේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, මානය ආදී සිත කිළිටි කරන අකුඅසල ධර්මවලට ලැබෙන අනාගත අකුසල විපාකය වන්නේ රූපය අවලක්ෂණ වීමයි. අංගුත්තර නිකායේ ලෝණාඵල වග්ගයේ මෙසේ සඳහන් වේ.

“මහණෙනි, මේ ශාසනයෙහි සිල්වත් පැවිදි පින්වතුන් වහන්සේ පුංචි වරදෙත් බිය දැක ශික්ෂා වත් පිළිවෙත්වල හික්මී, ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙහි හික්මී වාසය කරනවානම්, ඒ පැවිදි පින්වතුන් වහන්සේ වර්ණ සම්පත්තිය තියෙන කෙනෙක් වේ.” ඉතාමත්ම ලස්සන රූමත් ශරීරයක් ලබන්නට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛර ආදිය නැති ඉතාමත්ම සිල්වතෙක් විය යුතුය.

ලස්සන වෙන්නට අවශ්‍ය කරන කර්මජ ප්‍රතිකාරය නොකර ශරීරයට අහිතකර පෙති, කරල්, සායම්, ඉන්ජෙක්ෂන්, ආදිය ගැනීමෙන් ටික කලක් පැහැය වෙනස් කර ගත හැකි වූවත්, ගසාගෙන යන සංසාර ගමනේදී බොහෝ කල් පවතින රූමත් බවක් එයින් ලැබෙන්නේ නැත. බෙහෙත් ආලේපන ආදිය විස වීමෙන් බොහෝ දෙනා අතුරු ආබාධද ඇති කර ගනී. වසර දෙකතුනකට රූමත් වන්නට උත්සහ කරමින් විනාශ කර ගන්නා ධනයද අති විශාලය.

රූමත් වන්නට ලස්සන වන්නට කැමති අය ඊර්ෂ්‍යාව අත් හළ යුතුය. කේන්ති යාම, වෛරය අත් හළ යුතුය. කෝපය, ද්වේෂය නැති කර ගනිමින් මෛත්‍රීය පුරුදු කර ගත යුතුය. එයින් නොමි‍ෙල්ම තමන්ට ස්වභාවික ඉතාමත්ම සුන්දර රූමත් බවක් ලැබේ.

ඒ සුන්දරත්වය මෙලොවට පමණක් නොව සසර වසනා තාක් කාලයක් ලැබේ. සිත පිරිසුදු කරගෙන, මෛත්‍රීය ඇති කර ගනිමින්, කරුණාව දයාව ඇතිව, දානමානාදී පින්කම්ද කරගනිමින්, පින්බර ජීවිතයක් ගෙවන අයට සසරට සුන්දර රූ සපුවක් පමණක් නොව, සියලුම ලෞකික සැපද, නිවන අරමුණු කළහොත් අවසානයේ ලෝකෝත්තර නිවන් සැපයද ලැබේ.

 

පූජ්‍ය, තපෝවනයේ
රතන ස්වාමින් වහන්සේ.
රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණඩිත,
මිණිපුර අමාශාන්ති තපෝවනය,
පැල්වාඩිය, රත්නපුර.