කාන්තා විමුක්තිය ලොවට දායාද කළ මහා ප්‍රජාපතිය

අප්‍රේල් 25, 2022

 

කාන්තා විමුක්තිය යන සංකල්පය ලොවට දායාද කළේ කොහෙන්දැයි ඇසුවහොත් බොහෝ දෙනකුට සිතෙන්නේ බටහිර ලෝකයෙන් කියාය. එසේ සිතීම බොහෝ දුරට සාධාරණය. බුදුරජාණන්වහන්සේ පහළ වූ යුගයේ ඉන්දියාවේ බ්‍රාහ්මණ සමාජය තුළ කිසිදු සමාජ වරප්‍රසාදයක් ස්වාධීනත්වයක් නොමැතිව ජීවත් වූ කාන්තාව නින්දා අපහාසයට නිරතුරුව ලක්වූ අතර කාන්තාවක ඉපදීම පවා පවුලට අභාග්‍යයක් කොට සැලකූහ. භාරතීය උපදේශ ග්‍රන්ථවල පවා කාන්තාව නිග්‍රහ කොට අැති අයුරු දක්වා ඇත.

 

එවන් සමාජයක බුද්ධ ශාසනයක් තුළ යමෙකුට ලැබිය හැකි ඉහළම තත්ත්වය වන ඒ උතුම් වූ අරිහත්වය පවා ලැබීමේ වරම කාන්තාවන් හට ලබා දුන්නේ අපගේ, ඒ උතුම් මහා ප්‍රජාපතී ගෝතමී උත්තමාව නිසාවෙන්මය. සැබැවින්ම අපගේ ගෞතම බුද්ධශාසනය සම්පූර්ණ වීම සිදුවුයේ ඇය නිසාය. එනම් ඕනෑම බුද්ධශාසනයක් සම්පූර්ණ වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසම ශාසනයේ පහළ වූ පසුය. එදා ඇය කාන්තාවන්ට පැවිද්ද ලබාදීමට මූලිකත්වය ගැනීමත් සමඟ කාන්තාවන් මිනිසුන්ගෙන් පමණක් නොව, දෙව් බඹුන්ගෙන් පවා වන්දනාමාන ලැබීමට සුදුසු පිරිසක් බවට පත්විය. එය කාන්තාවන් දෙස මෙපමණ කලක් පිරිමින් තුළ තිබූ දෘෂ්ඨි කෝණය මුළුමුනින්ම කනපිට හැරවීමක් විය. මහා කුලවත් බ්‍රාහ්මණයන්ට පවා කාන්තාවන් ඉදිරිපිට දණගසා වැඳීමට සිදුවිය. මෙවැනි සිදුවීම නිසා බුද්ධකාලයේ ඉන්දියාවේත්, ඉන්පසු ලංකාවේත් කාන්තාවන්ගේ සමාජ මට්ටම අන් සමාජයන්ට සාපේක්ෂව යහපත් තත්ත්වයකට පත්වීමට හේතුවිය. මේ සියල්ල පිටුපස සිටින ඒ ප්‍රධාන චරිතය වන්නේ අපගේ මහා ප්‍රජාපතී ගෝතමී උත්තමාවයි.

 

මහා ප්‍රජාපතී තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන, වීර්යය වඩා නොබෝ දිනකින්ම රහත් ඵලයට පත්වූසේක. සෙසු තෙරණියෝ නන්දකෝවාද සූත්‍රය අසා උත්තම රහත් බෝධියට පැමිණ වදාළ සේක.

 

උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ එකත් පසව සිටියහ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා

 

“ එතදග්ගං භික්ඛවෙ මම සාවිකානං භික්ඛුණීනං චිරරත්තඤ්ඤුතං යදිදං මහා ප්‍රජාපතී ගෝතමී”

මහණෙනි, මාගේ ශාසනයෙහි ශ්‍රාවිකාවන් අතර පැවිදි වී බොහෝ කල් ඉක්ම වූ භික්ෂුණීගෙන් මේ මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ අග්‍ර වන්නේ යැයි වදාරා අගතනතුරෙහි පිහිටුවා වදාළ සේක.

මෙසේ කලක් ගතවද්දී සාරිපුත්ත, මොග්ගල්ලාන, රාහුල, නන්ද, යශෝධරා, ඛේමා, උප්පලවණ්ණා යන රහත් උත්තම උත්තමාවියන් පිරිනිවන් පානු යැයි බලා වදාරා තමන්වහන්සේගේද වයස අවුරුදු එකසිය විස්ස යැයි දැක පිරිනිවන් පෑමට අධිෂ්ඨාන කරගත් සේක. මෙය ඇසූ අනිකුත් භික්ෂුණීන් වහන්සේලාද අප ඔබ වහන්සේ සමඟ එකටම ගිහිගෙයෙහි විසුවෙමු. එකටම පැවැදි වූයෙමු. එකටම විමුක්ති රසයද වින්දෙමු. එමනිසා අප එකටම පිරිනිවන් පාමුයැයි වදාළ සේක. මෙසේ සංවේගයට පත්වූ භික්ෂුණීන් පිරිසගේ සංවේගය දුරුකිරීම පිණිස එතුමිය මෙය වදාළ සේක.

 

පරිඤ්ඤානං මයා දුක්ඛං

දුක්ඛහේතු විවජ්ජිතො

නිරොධො මෙ සචිජිතනො

මග්ගොචාපි සුභාවිතො”

“මා විසින් දුක පිරිසිඳ දක්නා ලද ය. දුකට හේතුව දුරුකරන ලද ය. මා විසින් දුක්ඛ නිරෝධය පසක් කරන ලද ය. මාර්ගයද මැනැවින් වඩනා ලද වේ.”

උන්වහන්සේ මෙසේ භික්ෂුණීන්ට අවවාද කොට භික්ෂුණීන් සමඟම භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස්, වැඳ එකත්පසව සිට පැවසූ දෙය තරමක් සංවේගදායකය.

 

“ අහං සුගත මාතා තෙ

ත්වංච වීරපිතා මම

සද්ධම්මසුඛදො නාථ

නාථා ජනාම්හි ගොතම

“සුගතයන් වහන්ස, මම ඔබගේ මව වෙමි. වීරයන් වහන්ස ඔබද මාගේ පියාවෙයි. නාථයන් වහන්ස, ඔබ මට සදහම් සුවය දුන් සේක. එනිසා ඔබ වෙතින් ම මම උපන්නෙමි”

 

‘සුගතයන් වහන්ස, ඔබගේ රූ කය මවිසින් වඩන ලදය. අනින්දනීය වූ සැප කැඳවූ මාගේ මේ දහම් කය ඔබ විසින් වඩන ලදී.

”මා විසින් ඔබ වහන්සේට කුඩා කල මොහොතක් පිපාසා සන්සිදුවන කිරිපොවන ලද්දෙමි. ඔබ විසින් අත්‍යන්ත ශාන්ත වූ දහම් නමැති කිරිපොවන ලදවෙමි”

“ මහා මුනිවරයාණෙනි, මා විසින් වැඩීමෙහි හා රැකීමෙහි ලා ඔබ ණයගැති නොවෙති. පුතුන් කැමැති යම් ස්ත්‍රීහු වෙත් නම් ඔබ වැනි පුතකු ලබත්වා”

 

මන්ධාතු ආදි රජුන්ගේ යම් මවක් වූ නම් ඕ“ බවසයුරෙහි ගිලුණායැ. පුත්‍රයාණනි, ඔබ විසින් (මම) භව සයුරෙන් තරණය කරන ලදුවෙමි”

 

“රඤ්ඤො මාතා මෙහෙසිති.

සුලනං නාම මිත්ථිනං

බුද්ධ මතාති යං නාමං

එතං පරමදුල්ලභං”

 

“රාජ මාතා” ‘රජ මහෙසි’ යනාදි නම් ස්ත්‍රින්ට සුලබය. ‘බුද්ධමාතා’ නාමය ලැබීම අතිශයින්ම දුර්ලභය” මෙසේ ප්‍රකාශ කරමින් තම හිස ගැටෙන සේ බුදු සිරිපා මුල වැටී වැඳ. ”ස්වාමීනි, බිහිවන කල මාගේ සහෝදරිය වු මහාමායා දේවින්ට කිසිදු පීඩාවක් ගෙන නොදුන් මහා පුරුෂයන් වහන්ස, බිහිවුදා පටන් ලොවට සෙත සෑදූ මහා කාරුණිකයන් වහන්ස, සුළු මව් වු මා හට අමා නිවන් රස පෙවූ අමාමෑණියන් වහන්ස, සසර සැරිසරූ කල්හිද මාගේ තිදොරින් යම් වරදක් වී නම්, සුළු මව වන මා කෙරෙහි සමා කළ මැනැවි. බුදුපියාණන් වහන්ස, මා පැවිද්ද ඉල්ලා සිටීමෙන් යම් වරදක් වී නම්, සමාවනු මැනවි. අතවැසි මෙහෙණින්ගෙන් හෝ වරදක් වී නම් සමාවනු මැනවි” යැයි වදාරන ලද්දාහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී වැනි රහත් තෙරණියගෙන් බුද්ධ මාතාවගෙන් සිදුවු වරදක් නොමැති නිසාවෙන් වරදක් නැතිකළ සමා කරන්නාටත් කරවන්නාටත් පලක් නොවන බව වදාළ සේක.

 

ප්‍රජාපතී තෙරණිය සහ අනෙකුත් තෙරණියෝ තෙවරක් බුදුරජාණන් වහන්සේ වටා පැදකුණු කොට “ ස්වාමීනි, ඔබ වහන්සේ ගේ රූප ශ්‍රී දකින්නේ නම් ඒ මහා පිනැත්තෙකි. ඔබ වහන්සේ ගේ මිහිරි හඬ අසත් නම් ඒ මහා පිනැත්තෙකි. ඔබ වහන්සේගේ සිරිපා පියුම් වැන්දේ නම් ඒ මහා පිනැත්තෙකි. ඔබ වහන්සේගේ දහම ඇසී නම් මහා පිනැත්තෙකි. ස්වාමීනි, මේ සියල්ලම මවිසින් ලබන ලද්දේයි” බුදුගුණ වනා ශ්‍රාවකයන් වහන්සේලා පිළිවෙළින් වන්දනා කරන්නට විය. ඉනික්බිති ආනන්ද තෙරණුවන්ගේද ගුණ වැයූ සේක.

 

එවිට භාග්‍යවතුන් වහන්සේ “බුද්ධ මාතාවනි, ඔබ වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවකට ප්‍රාතිහාර්ය නොපා පිරිනිවන් පෑම නුසුදුසුය. ස්ත්‍රීහුද නිවන් දක්නා බැව් පැවසීමටත්, සියල්ලන්ගේ සැකදුරුවීමටත් කිසියම් ප්‍රාතිහාර්යයක් පෑව මැනවැ”යි වදාළසේක.

 

මහත් වු ප්‍රාතිහාර්යන් පාන්නට වූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියෝ බුදු සිරිපතුල් යුග වැඳ අවසරගෙන මෙහෙණිවර තුළට පිවිස පිළිවෙළින් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ධ්‍යානයන්ට සමවැද පිරිනිවන් පා වදාළ සේක. සෙසු අතවැසි භික්ෂුණීහුද පිරිනිවන් පෑහ. මහපොළොව කම්පා විය. අහසින් විදුලිධාරා පතිත විය. මහාමේඝයෝ ගර්ජනා කළහ. දෙවියෝ කම්පා වූහ. පොළොවට මල් වැසි වැස්සූහ. දෙවියෝද නාගයෝද, අසුරයෝද, බ්‍රහ්මයෝද සංවේග වූහ.

 

ඒකාන්තයෙන් සංස්කාරයේ අනිත්‍යයහ. යම් සේ මෝ නිවීමට ගියාහුද එසේ ශාස්තෘ ශාසනකාරිණි වු (බුදුවදන අනුව හැසිරුණු) යම් මෙහෙණ කෙනෙක් මැය පිරිවරා සිටියාහුද පහන් සිළු හෙයින් උපදනා රහිතව නිවී ගියාහු’යි මහා ප්‍රජාපතී තෙරණිය හා අතවැසි භික්ෂුණිහු පිරිනිවී වැඩිබව දක්වා වදාළ සේක.

 

බුද්ධ මාතාවගේ ආදාහනය ඉතා අලංකාරව දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය සියල්ලෝම පවත්වන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා,

 

“මහණෙනි, බුදුවරයෙක් මෙබඳු ආදාහනයක් කරවූ අවස්ථාවක් නම් නැත.මෙය සියලුම මහා ශ්‍රාවකයන් ඇතුළු බුදුරජාණන් වහන්සේගෙන් යුතුව කළ එකම ආදාහනය වන්නේය. එහෙයින් මෙම ආදාහනය ආශ්චර්යය.”

 

මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ දේහය සඳුන් චිතකයෙහි දැවී ධාතු ශාරීරය පමණක් මුතු ඇටමෙන් බබළන්නට විය. භාග්‍යවතුන් වහන්සේ එම ධාතුන් ශ්‍රී හස්තයෙන් පිළිගෙන ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ ගුණ මෙසේ වැයූ සේක.

 

” මහතො සාරවන්තස්ස

යථා රුක්වස්ස තිට්ඨතො

යො සො මහන්තරො

ඛන්ධො පලුජෙය්‍ය අනිච්චතා

තථා භික්ඛුනී සංඝස්ස

ගොතමී පරිනිබ්බුතා’

 

“හර ඇති පවත්නා මහා රුකෙක ඉතා මහත්වූ කඳ යම් සේ අනිත්‍යතා හේතුයෙන් වැනසියේද , එසේ භික්ෂුණි සංඝයාගේ මහත් කඳ වූ ගෝතමි පිරිනිවියහ”

 

මෙසේ උත්තම සම්බුදු සසුනෙහි භික්ෂුණිත්වය උරුම කළ කාන්තා විමුක්තිය උදාකළ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය පිරිනිවී වැඩි සේක.

 

අනුශාසනාව

පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ