වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
හොඳ වැඩ කරන අපට විතරක් අැයි මෙච්චර කරදර
ධාර්මිකව ජීවත් වන පුද්ගලයා යාන වාහන, ආරක්ෂක නිලධාරීන්, සැප සම්පත්, සුවිසල් මැඳුරු නොමැතිව සිටියත් ඔහුගේ සිත තුළ අාධ්‍යාත්මික සැනසිල්ල, සැබෑ සතුට පවතී.
යම් කිසි පුද්ගලයෙකු තමා දැනුවත්ව අනෙකාට අයහපතක්, අවැඩක් කළේ නම් එය සිදු කළ මොහොතේ පටන් මානසික තාපයක් ද තමා දැනුවත්ව යහපතක් කළේ නම් එය සිදු කළ මොහොතේ පටන් මානසික තෘප්තියක් ද ඇති වේ. එය ධර්මානුකූලව අකුසල හා කුසල යනුවෙන් හඳුන්වා දිය හැකි අතර බුදු දහමට අනුව කුසල්, අකුසල්, පින් පව් යන සෑම දේට ම මනස ප්‍රධාන වේ.
අචේතනිකව සිදුවන ක්‍රියාවන්ට කර්ම රැස් නොවන අතර සත්ත්වයන් විසින් සචේතනිකව තිදොරින් සිදු කරනු ලබන ක්‍රියාවන්ට ඒ අවස්ථාවේ දී මුල්වන චේතනාවට අනුව කර්ම රැස් වේ.
මා භායිත්ථ පුඤ්ඤං - පින් සිදුකර ගැනීමට බය වෙන්න එපා. කත්තබ්බං කුසලං බහුං - බොහෝ කොට කුසල් දහම් වඩන්න යනුවෙන් අවවාද කළ බුදුන් වහන්සේ පාපය, වරද කුඩා වුව ද ඉන්
තමන්ටත් සමාජයටත් හානි සිදුවන හෙයින් කුඩා වූ වරදෙහි වුව ද බිය උපදවා ඉන් වැළකී සිටිය යුතු බව දක්වයි. (අනුවජ්ජෙසු වජ්ජෙසු භය දස්සාවි) තමා සිදු කරනු ලබන සෑම සචේතනික ක්‍රියාවකටම වගකිවයුත්තා තමාම බව දක්වන බුදුන් වහන්සේ එම ක්‍රියාවන්ට ලැබෙන විපාක වැළැක්වීමට, විඳීමට හෝ ඉන් ගලවා ගැනීමට ඒවාට උපදෙස් දෙන, උදවු කරන කිසිවෙකුට නොහැකි බවත් එය තමාම දැරිය යුතු බවත් දක්වයි.
තුනුරුවන්ට ගෞරව දක්වන, පින්කම් කරන, අනෙකාට කරදරයක් නොවන පරිදි ජීවත්වන මිනිසුන්ට බොහෝ කරදරවලට මුහුණ දීමට සිදු වන බවත් අධාර්මිකව, පව්කම් කරමින් ජීවත් වන මිනිසුන් සැප
සම්පත් ඇතිව සමාජයේ ඉහළින් වැජඹෙන බවත් එම නිසා ධාර්මිකව ජීවත් වීම කිසි දිනෙකවත් දියුණුවීමට රැකුලක් නොවන බවත් එබැවින් කුමන දේ හෝ සිදුකොට සම්පත් ළඟාකර ගත යුතුය යන්න
වත්මන් සමාජයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වන කරුණකි.
සමාජය දෙස බලන විට අපට දක්නට ඇත්තේ ද එය යි. නමුත් ධර්මානුකූලව මෙම කරුණ විග්රහ කරගැනීම, මෙලොව සැප බලාපොරොත්තුවෙන් පමණක් අධාර්මික ක්‍රියාවන්ට යොමුවන
පුද්ගලයින් මුදා ගැනීමට ඉවහල් වනු ඇත.
“මධුවා මඤ්ඤති බාලො - යාව පාපං න පච්චතී
යදා ච පච්චතී පාපං - අථ බාලො දුක්ඛං විහඤ්ඤති” අනුවණ පුද්ගලයා පව්කම් කොට එහි විපාකය තමා වෙත පැමිණෙන තුරු එය මී පැණි සේ සිතා කටයුතු කළ ද යම් වේලාවක විපාක දෙන්නේ ද එවිට මහා දුක් වේදනාවන්ට මුහුණ දීමට සිදුවන බව බුද්ධ දේශනාවයි. දොවා ගත් සැණින් කිරි නොමිදෙන්නාක් මෙන් පාපය ද ක්ෂණිකවම පුද්ගලයාට විපාක නොදෙන බව ගැමි ව්‍යවහාරයේ ද සඳහන් වෙයි. අධාර්මිකව, පව්කම් කරමින් ජීවත්වන මිනිසුන් යාන වාහන ඇතිව ආරක්ෂක නිලධාරීන් සහිතව සැප සම්පත් ඇතිව සමාජයේ ඉහළින් වැජඹෙන ආකාරය දුටු සැනින්ම මොවුන් බොහෝම සතුටින් විනෝදයෙන් සිටින බව ඔවුන් සමාජයට පෙන්වන බාහිර ස්වරූපය පිළිබඳ පමණක් දකින අපට සිතෙයි. නමුත් ඔවුන්ගේ ඇතුළාන්තය කෙතරම් දැවෙන්නේ දැයි අපිට නොපෙනෙයි.
සතුට පරම ධනයයි. එය මිල කළ නොහැකි ය. සැබෑ සතුට යාන වාහන, සුවිසල් මැඳුරු, ඉඩ කඩම්, ආරක්ෂක නිලධාරීන්, ආහාර පාන ආදි බාහිර වස්තූන් තුළ නොමැත. සැබෑ සතුට ඇත්තේ පුද්ගලයාගේ
සිත තුළ යි. රත්තරනින් සරසන ලද ඇඳක් තිබුණ ද හිතේ සැබෑ සතුටක් නොමැති නම් නින්ද අප වෙත නොපැමිණේ. එසේ නම් සිතේ සැබෑ සතුට ඇති වීමට නම් සිතෙහි ඇති ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල චෛතසිකයන් යටපත් විය යුතු ය. අධාර්මිකව
ජීවත්වන කිසිදු මිනිසෙක් තුළ මෙම සැබෑ සතුට කිසිසේත්ම ඇති වෙන්නේ නැත. ඔවුන්ගේ සිතේ ඇත්තේ ලෝභ, ද්වේෂ, මෝහ මුල් කරගත් අකුසල චෛතසිකයන් පමණි. ධාර්මිකව ජීවත් වන පුද්ගලයා යාන වාහන, ආරක්ෂක නිලධාරීන්, සැප සම්පත්, සුවිසල් මැඳුරු නොමැතිව සිටියත් ඔහුගේ සිත තුළ අාධ්‍යාත්මික සැනසිල්ල, සැබෑ සතුට පවතී.
ඔබ මෙම අත්භවයේ දී ධාර්මිකව ජීවත් වුවත් විවිධ කරදර බාධකවලට මුහුණ දීමට සිදුවන්නේ නම් එය උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම යන කාරණාවන්ට අයත් වන කරුණක් හෝ කර්ම නියම යනුවෙන් දැක්වෙන අතීත කර්මයක විපාකයක් විය හැකි ය.
නිදසුන් ලෙස, බුදුන් වහන්සේට නොයෙක් හිරිහැර කළ පංචානන්තරිය පව්කම් කළ දේවදත්ත හිමියන් ද අජාසත් රජුගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව බොහෝ දායක දායිකා හා ගෝල පිරිසක් ඇතිව සැපසේ වාසය කළ
භික්ෂූවකි. එහෙත් උන්වහන්සේ මරණින් මතු අපාගත විය. පූතිගත්තතිස්ස තෙරුණ් රහත් වුව ද දරුණු සමේ රෝගයකින් පෙළුණූ බව දැක් වේ. මුගලන් මහරහතන් වහන්සේ අතීත කර්මයක දී තම
මව්පියන්ට පහර දීම නිසා සෘද්ධිමතුන් අතර අග්‍රස්ථායී තනතුරට පත්ව සිටියත් පරිනිර්වාණයට පෙර සොරුන්ගෙන් පහර කෑමට සිදු විය. මෙසේ කරුණු විග්රහ කර බැලීමේ දී තමා සිදු කරනු ලබන
කර්මයන්ට විපාක දීමට කාලයක්, නියමිත ස්ථානයක් නොමැති බව පැහැදිලි වේ. එබැවින් අධාර්මිකව ජීවත් වන පුද්ගලයින් බාහිර සමාජයට පෙන්වන කාරණාවන්ට මුළා නොවී තමාටත් අනෙකාටත් අයහපතක් නොවන පරිදි ධාර්මිකව ජීවත් වන්න. එය ඔබට මෙලොව යහපත පිණිස පරලොව යහපත පිණිස හා සසර මග කෙටිකර ගැනීම පිණිස ඉවහල් වේ.
“අදමින් ජීවත් වනවා වෙනුවට
දැහැමෙන් මියයනු සොඳමයි දනහට”
තෙරුවන් සරණයි
අනුශාසනාව
තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී
යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.