ලස්සන බතික් සරමක් නිර්මාණය කර ගනිමු

මාර්තු 3, 2021

 

මුලින්ම ඔබ ජායාරූපයෙහි දකින වෙස් මුහුණ සහිත රූපය (අන්තර්ජාලය ඔස්සේ ද මෙවැනි පින්තරයක පිටපතක් ලබාගත හැකිය) කාඩ් බෝඩ් කැබැල්ලකට ඇඳ ගන්න.

 

ඉන් පසුව එම රූපය කාබන් කොළයක ආධාරයෙන් සරම නිර්මාණය කිරීමට අදහස් කරන රෙද්ද මත ඔබට අවශ්‍ය ස්ථානයෙහි ඇඳ ගන්න.

දැන් රූපය ඇඳගත් රෙද්ද ලී රාමුවක (ජ්අඒර්ඡ් එකක)සවිකර ගන්න. පසුගිය සතියේ බතික් පාඩමෙන් දැක්වූ ආකාරයට ඔබ තෝරාගත් රෙද්දට ගැළපෙන ඉටි මිශ්‍රණය සකස් කර ගන්න.

දැන් අපි සූදානම් වන්නේ නිර්මාණය ඉටි කර ගැනීමටය. ඉටි කරන අන්දම දැක්වෙන ජායාරූපය වෙත අවධානය යොමුකරමින් ඔබගේ නිර්මාණයත් ඒ ආකාරයට ඉටිකර ගන්න.

එසේ ඉටි කරගත් නිර්මාණය වතුර බේසමකට දමා හොඳින් පොඟවා ගන්න. ඉන්පසු මෙය දිය බේරෙන්නට එල්ලා තබන්න. (ඉටි නොකැඩෙන ආකාරයට)

 

සරමට අවශ්‍ය ඩයි සකස් කර ගැනීම

ඩයි සකස් කර ගැනීම සඳහා ඔබ භාවිත කරන ප්ලාස්ටික් භාජනය ගෙන එයට කෝස්ටික් සෝඩා මේස හැඳි 4ක් දමන්න. එයට උණු ජලය මිලි ලීටර් 250ක් එක් කර හැන්දකින් හොඳින් දියකර ගන්න. තවත් භාජනයක් ගෙන එයට හයිඩ්‍රෝ මේස හැඳි 4ක් ද නිල් වර්ණකයෙන් මේස හැඳි 2ක් ද දමන්න. එය කැටි නොගැසෙන පරිදි උණු ජලය

මිලි ලීටර් 250ක් දමා දිය කර ගන්න. පසුව එසේ සකස් කරගත් ඩයි භාජනයට කලින් සකස් කරගත් කෝස්ට්ක් සෝඩා ද්‍රාවණය ද දමා හොඳින් දියකර ගන්න.

අපි දැන් සරම සඳහා අවශ්‍ය ඩයි එක සාදා අවසන්.

දැන් අපි සරම වර්ණ ගන්වන්නේ කෙසේදැයි බලමු.

මේ සඳහා ජායාරූප වල පෙනෙන පරිදි ජලය ලීටර් 10ක් පමණ බාත් එකට දමා එයට වර්ණකය දමා හොඳින් මිශ්‍ර කරන්න. එසේ සකසා ගත් බාත් එකට අප පෙර සකසා ගත් ඩයි එක හොඳින් මිශ්‍ර කරන්න. කලින් ජලයේ පොඟවාගත් ඉටි කර ගත් සරම ගෙන (ජලය හොඳින් ඉවත්වී තිබිය යුතුය. රෙද්ද මිරිකා ජලය ඉවත් නොකරන්න. තෙත රෙද්ද එල්ලා දිය බේරෙන්නට තබන්න.)

සකසා ගත් ඩයි බාත් එකට ඉටි කරගත් රෙද්ද දමා, රෙද්ද උඩට මතු නොවන සේ මිනිත්තු 20 ක් පමණ පිරි මදින්න. ඩයි බාත් එකේ තැබූ සරම මිනිත්තු 20 කට පසුව ඉවතට ගෙන වතුර පිරවූ බේසමක බහා සෝදා ගෙන මඳ පවනේ වේළා ගන්න.

අවසන් පියවර වන්නේ නිර්මාණයෙන් ඉටි ඉවත්කර ගැනීමයි.

හොඳින් රත්වුණ ජලය භාජනයක (ජායාරූපයේ පෙනෙන පරිදි ) සරම ගිල්වා ඉටි ඉවත් කර ගන්න.

අවසානයේ ඉටි ඉවත් වනතුරු සබන් යොදා රෙද්ද සෝදා ගන්න. ඉටි ඉවත් කරගත් සරම මඳ පවනේ වියළා ඔබට අවශ්‍ය පරිදි මසා ගත ගන්න.

සැ යු - ඩයි සකස් කර ගන්නා අවස්ථාවේ පටන් සරම වර්ණ ගන්වා අවසන් වනතුරුම අත් වැසුම්, මුව වැසම පැළඳගෙන සිටීමට වගබලා ගන්න.

 

 

ඡායා

ආසිරි උපේන්ද්‍ර ඩයස්

 

 

ඉදිරිපත් කිරීම ඬkenuri batik ආයතනයේ අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා