නිර්මාණයක් සඳහා සාධාරණ මිලක් තීරණය කරන්නේ කොහොමද?

අප්‍රේල් 14, 2021

 

ස්වයං රැකියාවක් කරන බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් වන්නේ තම නිෂ්පාදනයේ මිල තීරණය කිරීමයි.

“මොනවා කළත් වැඩක් නැහැ. කෝ ඒවට වෙළෙඳ පොළක්.”

මෙය බොහෝ දෙනෙක් නඟන මැසිවිල්ලක්. බොහෝවිට මේ තත්ත්වය ඇතිවන්නේ මිල තීරණය කිරීමේ නොහැකියාව යන සාධකය සමඟයි.

වැඩි දෙනා කරනු ලබන්නේ වෙළෙඳ පොළේ තම නිර්මාණයට සමාන නිර්මාණයන්ට ලබාදී ඇති මිලට සමාන හෝ අඩු මිලක් නියම කිරීමයි. උදාහරණයක් ගෙන බලමු.

ඇය සීතා. ඇයට ඉන්නවා සුබ පැතුම්පත් නිර්මාණය කර අලෙවි කරන යෙහෙළියක්. ඇයගේ ව්‍යාපාරය ස්ථාවරයි. හොඳ ආදායමක් ලබනවා. ඔන්න ඉතින් සීතාටත් හිතෙනවා “මේකනෙ වැඩේ” කියලා. නිතර ඇස ගැටෙන නිසා ඇයට නිර්මාණය කිරීම හුරු පුරුදුයි. අමුද්‍රව්‍ය මිලදී ගන්නෙ කොහෙන්ද කියලත් දන්නවා. ඉතින් බඩු තොගයකුත් අරගෙන ඇයත් වැඩේ පටන් ගන්නවා. ඇය තමන්ගේ නිර්මාණ වලට යෙහෙළියට වඩා අඩු මිලක් තීරණය කරනවා. ඒත් අසාර්ථකයි. ඇය හිතනවා මිතුරියට හරි යන්නත් තමන්ම වරදින්නත් හේතුව මොකක්ද කියලා.

ඔබ හිතන්නෙ මොකක්ද? මෙය බොහෝ දෙනකු මුහුණ දෙන ගැටලුවක්. නිසි අවබෝධයක්, වෙළෙඳපොළ සමීක්ෂණයක් නැතිව කරන්නන් වාලේ කටයුතු කිරීමයි අවුලට හේතුව. සීතා තමන්ට යන වියදම ගැන නොසිතා යෙහෙළියට වඩා අඩු මුදලක් තීරණය කළා. මුලින්ම ඇය කළ යුතුව තිබුණේ තම නිෂ්පාදනයට උචිත පරිසරයක් තිබෙනවාද කියා විමසා බැලීමයි.

තවත් නිදසුනක් ගනිමු. තමන් වාසය කරන ප්‍රදේශයේ ඇඳුම් මසන ස්ථාන කිහිපයක් හොඳ ආදායම් ලබන බව දකින අයෙක් තමනුත් එවැනිම ව්‍යාපාරික ස්ථානයක් අරඹනවා. ටික කාලෙකින් බංකොලොත් වෙලා ගත්තු ණය ගෙවා ගන්නත් බැරිව අසරණ වෙනවා. ඔහු හෝ ඇය කළ යුතුව තිබුණේ කුමක්ද? කළ යුතුව තිබුණේ ඇඳුම් මසන අයට අවශ්‍ය වෙන නූල්, ඉඳිකටු, බොත්තම්, සිපර්, රේන්ද ඇතුළු අනෙකුත් උපාංග සාධාරණ මිලකට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ඇරැඹීමයි. දැන් ආයෙමත් මුලට යමු. ඔබගේ නිෂ්පාදනවල මිල තීරණය කළ යුතු වන්නේ තරගකාරි නිෂ්පාදකයා හෝ මිලදී ගන්නා ව්‍යාපාරිකයා නොව ඔබමයි.

නිර්මාණයකට භාණ්ඩයකට මිල තීරණය කරන්නේ කොහොමද?

01. නිෂ්පාදනය සඳහා තමන්ට වැය වූ සියලු වියදම් සටහන් කරන්න.

02. එයින් ලැබීමට අපේක්ෂිත ලාභය තීරණය කිරීම.

03. සාධාරණ මිලක් නියම කිරීම.

ව්‍යාපාරය -

පේපර් ක්වීලිං සුබ පැතුම්පත් නිර්මාණය.

* අමුද්‍රව්‍ය සඳහා වියදම (එක් නිර්මාණයකට)

01. A- 4 කොළ 05 (රු. 5x5 = 25/=)

02. A- 4 බෝඩ් 01 (රු. 15/=)

03. බයින්ඩර් ගම් 01 - රු. 150/= (මෙය කාඩ් 50 ට ප්‍රමාණවත්. එවිට - 150/50 = 3. එවිට නම් වියදම රු.3.00.

04. ටූල් එක - රු. 150/= (මෙය අවුරුදු පහක් පමණ භාවිත කිරීමට පුළුවන්. එසේ වුවත් මේ සඳහා වැය වීමක් දැමිය යුතුයි. එයට ශත පනහක් (50) වෙන් කරමු.

05. ප්‍රවාහන වියදම් - රු. 30/= (මෙය එකිනෙකාට වෙනස් වේ. ව්‍යාපාරය ආරම්භයේදී පොදු ප්‍රවාහන සේවා හැකි පමණ යොදා ගන්න.)

06. රාත්‍රියේදීත් නිර්මාණකරණයේ යෙදුණා නම් විදුලිය සදහා රු. 10/= ක්.

 

එකතුව:-

* මුළු එකතුව - 83.50/=

* ඇසුරුම් වියදම

ලියුම් කවරයට - රු. 5.00

පොලිතින් කවරය - රු. 5.00

දැන් වියදම රු. 93.50 යි. ආසන්න වශයෙන් රුපියල් 100.00 ක්.

දැන් බලමු අලෙවි කිරීමෙන් ලබන ලාභය පිළිබඳව. එය සාමාන්‍යයෙන් නිෂ්පාදන වියදමෙන් 20% ක් ලෙස ගණනය කළ යුතුයි. එවිට - රු. 100.00 + 20.00 = 120/=

දැන් ඔබගේ ශ්‍රමයට වටිනාකමක් එකතු කළ යුතු වෙනවා. අවම වශයෙන් රුපියල් 50.00 ක් විය යුතුයි. එයත් සමඟ එකතු කළ අගය එක් කාඩ් පතක් සඳහා රුපියල් 170/= කි. වෙළෙදසල් හිමියාට වට්ටම උපරිම රු. 20.00 ලබා දුන්නද ඔබට ලැබෙන ලාභය රුපියල් පනහකි.

මෙලෙස මිල තීරණය කළ පසුවත් වෙළෙඳසල් හිමියා මිල අඩුකරන ලෙස කේවල් කරන්නේ නම් එයට එකඟ වන්නට එපා. වෙනත් ස්ථානයක් සඳහා යොමුවන්න.

 

සැලකිය යුතුයි.

නිර්මාණයේ උසස් ප්‍රමිතිය, පිළිවෙළ, අපූර්වත්වය, ආකර්ෂණීය ඇසුරුම ආදිය සමඟින් පාරිභෝගිකයා ග්‍රහණය කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි. කිසිම අවස්ථාවක පාරිභෝගිකයා සැනසීමට ප්‍රමිතිය බාල කර මිල අඩු කිරීම නොකළ යුතුය. උසස් ප්‍රමිතියේ භාණ්ඩයක් තෝරා ගන්නා පාරිභෝගිකයා මිල සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකරන නමුදු ලබාගන්නා මුදලට උපරිම සාධාරණය ඉටුකිරීමට ඔබ සිතට ගන්න.

ඔන්ලයින් ක්‍රමයට ව්‍යාපාර කටයුතු කරනවා නම් අදාළ ඇණවුම සඳහා කුරියර් ගාස්තු හෝ තැපැල් ගාස්තුව වෙනම අයකර ගත යුතු බව සලකන්න.

 

උපදෙස් – වෘත්තිය පුහුණු උපදේශිකා, ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
නිම්මි අරලියා
CRAFT ARALIYA