නෝමල් අධිවේගී මැෂිම හඳුනා ගනිමු

ඔබේම මැහුම් ව්‍යාපාරයක් අරඹන්න අත්වැලක් වීමට තරුණී මැහුම් ඉස්කෝලේ සූදානම්
දෙසැම්බර් 27, 2021

 

මහන මැෂිමේ ඉතිහාසය ගැන පසුගිය සතියේ අපි කතා කළා. වර්ෂ 1850 දශකයෙන් ව්‍යාපාරික මට්ටමෙන් ඇරැඹී මඳ කලකින්ම ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගනිමින් විවිධාකාර නිෂ්පාදන රැසක් ලෝකය පුරා ව්‍යාප්ත වුණා.

මෙහි දැක්වෙන්නේ එම මහන මැෂින් පෙළයි. මේ අපූර්වත්වය මින් පෙර ඔබ දැක තිබෙනවාද? තරුණියනි.... එදා ඔබගේ මිත්තණියන් සිටියේ මෙතැනයි.

* අද ඔබ සිටින්නේ මෙතැනයි....

 

(නෝමල් අධිවේගී මහන මැෂින්)

ඇයත් සමඟින් පිය නඟමු ආර්ථිකයේ අනාගත රන් දොරටුව වෙත. ‘ඇය‘ කියා සඳහන් කළේ නෝමල් අධිවේගී මැෂිමට. උදේ හවස ඇස ගැටෙමින් රැඳී සිටි ඇයගෙන් වැඩ ගැනීමට කාලයයි මේ...

මේ මැෂින් එක බොහොමයක් නිවාසවල දකින්නට පුළුවන්. මෙයට යොදන්නේ එක් ඉඳිකටුවක් පමණයි.

මේ ආකාරයේ මැෂින් වර්ග පහක් තිබෙනවා. මේවා ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් නිසා වෙන් කර තිබෙනු හඳුනාගත හැකියි. එහිදී

* යන්ත්‍රය ක්‍රියාත්මක වන වේගය

* යන්ත්‍රයෙන් මැසිය හැකි රෙදි වර්ගය

* යන්ත්‍රයේ අනෙකුත් කාර්මික ලක්ෂණ එම කරුණුයි.

ඉහතින් සඳහන් කරුණු සැලකිල්ලට ගෙන වර්ග කර ඇති තනි ඉඳිකටුවේ මැෂින් වර්ග පහ.

01. DDL - 552 (ලිස්සනසුලු තුනී රෙදි මැසීමට)

02. DDL - 553 (ඝනකම් / ගොරෝසු රෙදි මැසීමට)

03. DDL - 555 (ඝනකම් / ගොරෝසු රෙදි මැසීමට)

04. DDL - 227 (ඕනෑම රෙදි වර්ගයක් මැසීමට)

05. DDL - 5550 (ඕනෑම රෙදි වර්ගයක් මැසීමට)

මේ යන්ත්‍රය මිනිත්තුවක් තුළ සිදුරු 5550ක වේගයක් ලබා දෙමින් ක්‍රියාත්මක වෙනවා. මේ මැෂින් සඳහා ‘DB‘ වර්ගයේ ඉඳිකටු යොදා ගත යුතුයි. මෙම ඉඳිකටු (Needle) එක් එක් ප්‍රමාණයන්ගෙන් දක්නට පුළුවන්. එනම් 9/11/12/14/16/18/20/23 ආදී වශයෙන් ඒවා අංකනය කර තිබෙනවා.

ඉඳිකටු තෝරා ගැනීමේ දී පහත සඳහන් වගුව උපයෝගී කර ගැනීම ඔබට පහසුවක් වේවි.

ඉඳිකටු වර්ගය රෙදි වර්ගය

Size - 9/12/14 තුනී රෙදි මැසීමට භාවිත කරයි

Size - 16/18/20/23 ඝනකම් රෙදි මැසීමට භාවිත කරයි

 

ඉහතින් සඳහන් කළ DDL මැෂින් වර්ග මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ දකින්නට නැහැ. මේ වන විට පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය වූ DDL - 9000 වැනි අති නවීන අධිවේගී මැෂින් දක්නට ලැබෙනවා.

පුංචි ඇඟලුම් කම්හලක සිහිනය යථාර්ථයක් කර ගැනීමට සිහින දකින ඔබට, පාරිභාෂිත පද මාලාවක් සහිත ‘පුංචි ශබ්ද කෝෂයක් - Mini Dictionary‘ එකක් ලබන සතියේ සිට බලාපොරොත්තු වන්න.

 

 

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ ඔයාමා ග්‍රැෆික්ස්