පැච්වර්ක් ක්‍රමයෙන් ගමනට බිමනට කාන්තා බෑගයක්

පෙබරවාරි 20, 2023

 

අලුත් දේ දකින අලුතින් යමක් හිතන නිර්මාණශීලී දෑතක් හිමි ඔබ වෙනුවෙන් විවිධ බෑග් විලාසිතා අපි ඔබට තිළිණකර ඇත්තෙමු.

 

මේ පැච්වර්ක් ක්‍රමයෙන් නිර්මාණය කරගත හැකි එවැනි තවත් හුරුබුහුටි බෑගයකි. මෙය  පන්තියන දියණියන්ට  වගේම කාර්යාලයට යන ඔබට බත් එක, වතුර බෝතලය, කුඩය වැනි දේ රැගෙනයෑමට ප්‍රමාණය වෙනස් කරගෙන ද මෙවැනි බෑගයක් මසාගත හැකියි.

බෑග් විලාසිතාව ස්වයං රැකියාවක් ලෙසින් මැහුම් ක්ෂේත්‍රයේ නියැළී සිටින ඔබට වටිනාම තිළිණයකි. බෑග් එකක් නිර්මාණය කරන්න හුඟක් මිල අධික දේවල් වැය වෙන්නෙ නැහැ. ඒත් ඔබ නිර්මාණය කරන බෑගය වඩාත් නිර්මාණශීලී නම් ඉහළ මිලකට අලෙවි කළ හැකියි. ඒ නිසාම මෙය ඔබට කදිම ස්වයං රැකියාවකට මඟ පාදා දේවි.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

පාට කිහිපයකින් මුද්‍රිත රෙදි (ප්‍රින්ටඩ් රෙදි)

පැඩිං

ලයිනින්

කතුරක්

 

නිර්මාණය කරගන්නා ආකාරය

 

පළමුව මුද්‍රිත රෙදි වලින් අඟල් 2 1/2 පළල පටි කපා ගන්න. දැන් බෑගය සඳහා අවශ්‍ය දිග පළල අනූව ලයිනින් සඳහා තෝරා ගත් රෙදි කැබැල්ල කපා ගන්න.

පැඩිංවලින්ද එම ප්‍රමාණයම කපා ගන්න. ඉන්පසු රූප සටහනේ දැක්වෙන ආකාරයට දළ සටහන පැඩිං එක මත ඇඳගන්න. දැන් ලයිනින් රෙදි කොටස මත පැඩිං කොටස තබා අල්පෙනිතිවලින් රඳවා නූල් ඇද ගන්න. ඉන්පසු එය මත කපාගත් රෙදිපටි තබමින් මසා ගන්න.

පළමුව මැද කොටස නිමකර ඉන්පසු දෙපස කොටස් සම්බන්ධ කරන්න.

හැඩතල මසා නිමකළ පසු වැඩි කොටස් කපා ඉවත්කර දෙකට මැදින් නවා මූට්ටු කරන්න. ඉන්පසු පහළ කෙලවරෙන් අඟල් 1 1/2 × 1 1/2 කොටසක් කපා ඉවත්කර මසා ගන්න. බෑගය කොටස හොඳ පිට හරවා කට වටේට පයිපින් එකක් මසා ගැනීමෙන් වඩාත් හොඳ නිමාවක් ලබාගත හැකියි.බෑගයේ පටිය සැකසීමේදී අවශ්‍ය දිගට අඟල් 2 1/2 ක් පමණ පළල පටි හතරක් සහ ඒ සඳහා පැඩින් වෙන්කර ගන්න.

ඉන්පසු පැඩින් මැදිවන සේ පටි 2 බැගින් එකමත එක තබා මූට්ටු කරගන්න. සාදාගත් පටි දෙක බෑගයට තබා මසා ගන්න.

ඔබේ දෑතින්ම නිර්මාණය කළ මෙවැනි බෑගයක් හිතවතියකට තෑගී දෙන්නත් කදිමයි.

 

 

උපදෙස්

අත්කම් සහ මැහුම් ශිල්පිනී

අමිලා පෙරේරා

Pretty pink creations