ලක්ෂෙට කොඩිය දාන හරිම පුදුම දයිය කරල

පෙබරවාරි 27, 2023

 

වගාව සඳහා සුළු සෙවණක් ඇති පරිසරයක මේ වගාව කළ හැකි වේ නම් වගාවේ ඵලදාව වැඩි වෙයි. එසේම කරලේ බරද වැඩි වී හොඳ ඵලදාවක් ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.

අපේ ආර්ථිකය නිර්මාණය වෙලා තිබෙන්නේ කෘෂි කර්මාන්තයත් සමඟ බැඳුන ජීවන රටාවකට. ඒ නිසා අප සෑම කෙනකුගේම ඇඟේ වගා කිරීමේ සහජ කුසලතාවය තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ පර්චස් දෙක තුනක පුංචි මහල් නිවාසයක ජීවත් වුණත් පෝච්චියක හරි ගහක් හදා ගන්න සෑම කෙනෙක්ම උනන්දු වෙන්නේ ඒ නිසයි. ඇත්තටම අපට වගාවක් කරන්න ලොකු විශාල ඉඩමක්ම අවශ්‍ය නැහැ. නිවෙසක උඩු මහලේ බැල්කනියක පර්චස් 2 – 3ක් තිබුණත් ප්‍රමාණවත්. අද අප ඔබට මඟ පෙන්වීම ලබා දෙන්නේ මෙවැනි පුංචි ඉඩකින් දහස් ගණනක් මුදල් සොයන්න පුළුවන් වගාවක් ගැන. ඒ තමයි නයි මිරිස් වගාව.

 

ඇත්තටම මේ දිනවල නයි මිරිස් අපනයනය කිරීම හා හෝටල් කර්මාන්තය සඳහා නයි මිරිස්වල ඇති ඉල්ලුම හරිම ඉහළයි. නියම ප්‍රමිතියට ඉල්ලුමට සරිලන නයි මිරිස් වගාවක් කිරීමෙන් මාසයකට රුපියල් ලක්ෂයකට වගා ලාභ උපයන සාර්ථක වගාකරුවෝ අපේ රටේ සිටිනවා.

 

නයි මිරිස් වගාව කිරීමෙන් මුදල් උපයන්න විශාල ඉඩමක්ම අවශ්‍ය නැහැ. මල් පෝච්චිවල වගා මලුවල පවා නයි මිරිස් ගස් 20 – 30ක් හදා ගන්න ඔබට හැකියාව තිබෙනවා. මෙවැනි කාලයක අපේ ආර්ථික බර ටිකක් හරි අඩුකර ගන්න නයි මිරිස් වගාවක් ඉතාම පොඩියට පටන්ගන්න සෑම ගෘහණියකටම අසීරු කටයුත්තක් නොවෙයි.

 

ආරක්ෂක ගෘහ තුළ වගාව

ආරක්ෂක ගෘහ තුළ වගාව කියන්නේ වර්තමානයේ ඉතාම සාර්ථක ක්‍රමයක්. මෙවැනි ආරක්ෂණ ගෘහයක් තුළ වගා මළු යොදා ගනිමින් නයි මිරිස් පමණක් නොවෙයි මාළුමිරිස්, අමු මිරිස්, බෙල් පෙපර් පවා මෙවැනි වගා කරන්න පුළුවන්.

 

නයි මිරිස් වගාවක් ආරම්භ කිරීමේදී අපට මුලින්ම ඇතිවන ගැටලුව තමයි වගාව සඳහා පැලළ සපයා ගැනීම. ඊළඟ පියවර තමයි වගාව සිදු කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගැනීම. මේ සඳහා හොඳින් ඉඳුණු නයි මිරිස් ජීවග්‍රහණය කිරීමෙන් පසු තවානක සිටුවා අපටම පැළ ලබා ගැනීමට ද හැකි අතර, පැළ කරන ලද නයි මිරිස් පැළ ද අලෙවි කරන රජයේ ලියාපදිංචිය ලැබූ ආයතන රටා පුරාම පවතී.

 

ඊළඟ ගැටලුව වන්නේ අපගේ ඵලදාව අලෙවි කරගන්නා ආකාරයයි. එසේම හොඳ පැළ වර්ග මිලදී ගන්නා ආකාරය ගැනද නිසි අවබෝධයක් ඔබට තිබේ නම් මේ වගාවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගතහැකි වනු ඇත.

 

නයි මිරිස් වගාකර විදේශ වෙළෙඳපොළට අලෙවි කිරීම මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වී පවතී. ඒ සඳහා සෑම වර්ගයකම නයි මිරිස් විදේශ වෙළෙඳපොළට අලෙවි කිරීමට නොහැකි වෙයි. විදේශ පොළේ ඉල්ලුමට සරිලන ස්කොච් බොනට් නමැති වර්ගය සඳහා හොඳ ඉල්ලුමක් ඇති අතර, හෝටල් කර්මාන්තයේද හොඳ ඉල්ලුමක් පවතී. මේ වර්ගයේ නයි මිරිස් පැළ සිටුවා මාස 2ක් 2 ½ ක් ගතවන විට ඵලදාව ලබා ගැනීමට ඔබට හැකියාව පවතී. සාමාන්‍යයෙන් පර්චස් 10ක ප්‍රමාණයක වගාවක් කළ ගෘහණියක් දවසකට ගහකින් කරල් 3 – 4ක් කඩා ගත්තත් සතියක් තුළ කිලෝ ග්‍රෑම් 25 – 30ක් කඩා ගන්න පුළුවන්. මේ ඵලදාව හොඳ මිලකට අලෙවි කළොත් ඔබට සතියකට රුපියල් පහළොස් දහසක්, විසි දහසක් වැනි මුදලක් ගන්න හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් මේ ආකාරයට මාසයකට ඔබ රුපියල් හැටදහසක් වැනි මුදලක් උපයා ගන්න හැකියාව තිබෙනවා.

 

නයි මිරිස් වගාව කිරීමේදී අපට ඇතිවන ලොකුම ගැටලුව වගාව සඳහා ඇතිවන රෝග හා කෘමි හානියයි. ඔබ මේ වගාව ආරක්ෂක

 

ගෘහයක් තුළ කිරීමෙන් එය බොහෝ ප්‍රමාණයක් අඩුකර ගැනීමට හැකියාව ලැබෙන අතර, ඇතිවන කෘමි හානි ද අවම වෙයි.

 

මෙලෙස නයි මිරිස් අපේ රටේ ඕනෑම පරිසරයක හොඳින් වැවෙයි. නමුත් වගාව සඳහා සුළු සෙවණක් ඇති පරිසරයක මේ වගාව කළ හැකි වේ නම් වගාවේ ඵලදාව වැඩි වෙයි. එසේම කරලේ බරද වැඩි වී හොඳ ඵලදාවක් ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත. මෙහිදී උෂ්ණත්වයට වඩා ලැබීම ඉතා වැදගත්වන අතර, ඇතැම් ප්‍රදේශවල වගාව සඳහා මෙවැනි ආරක්ෂක ගෘහයක් අවශ්‍යම නොවෙයි.

 

ඔබට මෙවැනි වගාවක් සිදු කිරීමට කෘෂි උපදෙස් හා වගා ණය ලබා ගැනීමට හැකි ආයතන ද පවතී. එවැනි ආයතනයක් සම්බන්ධ වී මුලින්ම උපදෙස් ලබාගත් පසු ඔබගේ අස්වැන්න එම ආයතනවලටම විකුණා ගැනීමට ද අවස්ථාව තිබේ. එසේම ඔබ මේ වගාව කිරීම සඳහා අවශ්‍ය ආයතනවල තොරතුරු හා විස්තර අවශ්‍ය නම් අපට දුරකතන ඇමතුමක් ලබා දෙන්න. අප ඒ පිළිබඳ විස්තර ලබාදීමට සූදානම්. අපගේ දුරකතන අංක 011 – 2429592 අංකයට කතා කරන්න.