සරණක් අවැසි පිළිකා රෝගීන්ට නොමිලේ සෙවණ දෙන නවාතැන

මැයි 31, 2021

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිදුවුණු උතුම් වෙසක් පුන් පොහෝදිනය අදයි. වසරේ වෙනත් පුන් පොහෝ දිනයන්ට වඩා ලෝක වාසී බෞද්ධයන් අති මහත් භක්තියෙන් යුතුව සමරන්නේ ඒ නිසයි.

මේ ලෝකයට අප ඉපදීම දුකකි. ලෙඩ වීම දුකකි. මරණයට පත්වීම දුකකි. ඒ නිසාම අප්‍රමාදව පින් රැස් කර ගනිමින් ඉපදීම නවතා දමා සසර කතරින් එතෙර වන්නට මාර්ගය බුදු හිමියෝ අපට පෙන්වා දුන් සේක.

උන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනෙක් සසරින් එතෙර වන්නට පින් කුසල් රැස් කරති. ඒ වෙනුවෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි නියැළෙති.

පිළිකාව යනු දරුණු එමෙන් ම මාරාන්තික රෝගයකි. පවුලේ කෙනකු පිළිකා රෝගයට ගොදුරු වුවහොත් එය මොන තරම් නම් බලපෑමක් කරනවාද ? පිළිකා රෝගයට වයස් භේදයක් නැත. කිරිකැටි බිලිඳාගේ සිට බාල, තරුණ, මහලු මේ ඕනෑම කෙනකු පිළිකා රෝගයට ගොදුරු විය හැකිය.

පිළිකා රෝගයට ප්‍රතිකාර කරන අපේ රටේ ප්‍රධානතම මධ්‍යස්ථානය වන්නේ මහරගම පිහිටි අපේක්ෂා රෝහලයි.

අපේක්ෂා රෝහලට ප්‍රතිකර පතා එන රෝගීන් මෙන්ම ඔවුනගේ පවුල් වල පිරිස් අතරින් බොහෝ දෙනෙක් මේ රෝගය නිසා අන්ත අසරණ තත්ත්වයට පත්වූවෝ වෙති. සමහරු තම ආදරණීයාගේ ජීවිතය බේරාගන්නට මුළු සේසතම වියදම් කර අවසානයේ ඇඳිවත පමණක් ඉතිරිව මහ මඟට වැටුණෝ වෙති.

වෛද්‍යවරුන් පවසන අන්දමට වසරකට දහස් ගණනක පිරිසක් අලුතෙන්ම පිළිකා රෝගීන් ලෙස හඳුනා ගැනේ. මෙලෙස හඳුනා ගන්නා රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන අතර බොහෝ දෙනෙක් පළමුව ශල්‍යකර්ම ආදියට බඳුන්ව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කරයි. පසුව ඔවුන් කීමෝ ප්‍රතිකාර සහ විකිරණ ප්‍රතිකාර සඳහා යොමුකරවයි. මේ සඳහා එම රෝගීන් බාහිර රෝගී සායන වෙත යොමු කරන අතර අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඔවුනට දිනපතා එම සායන වලට පැමිණෙන්නට සිදුවේ. එවැනි රෝගීනට රෝහලේ ඇඳක් හිමි නොවන අතර ඔවුනට බොහෝවිට සිටින්නට සිදුවන්නේ රෝහල් කොරිඩෝවක, බංකුවක් මත, පුටුවක් මත හෝ ඇඳක් යටය. යමක් කමක් ඇති අය සහ දිනපතා පැමිණිය හැකි දුරක සිටින අයට තම තමන්ගේ නිවෙස් වලට ගියත් ඈත දුෂ්කර පළාත්වල සිට පැමිණි රෝගීන්ට යන්නට එන්නට තැනක් නැති කම නිසා හෝ රෝහල අසල කාමරයක ගන්නට වත්කමක් නැති නිසා හෝ මේ රෝගීන් ගෙවන්නේ ඉතාමත්ම දුෂ්කර වූ ජීවිතයකි. එසේම රෝහල අසලින් කාමරයක් හොයා ගන්නට ගොස් ජාවාරම් කාරයන්ට හසුවී අන්ත අසරණ තත්වයට පත්වුණු ඇතැම් රෝගීන් ද සිටී.

පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ගන්නට පැමිණෙන රෝගීන්ට ඔස්ට්ට්‍රේලියාවේ එම රෝහල් අසලින් ම Transit Home තනා තිබේ. ප්‍රතිකාර ගන්න කාලසීමාවේ මෙම නිවෙසේ ලැගුම් ගෙන සිට දිනපතා රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණිය හැකිවේ.

Transit home හි ප්‍රතිකාර නොකෙරෙන අතර ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පියමැන නැවත මෙහි නවාතැන් ගත හැකිවේ. අපේ රටේත් අපේක්ෂා රෝහල අසල මෙවැනි Transit home එකක් තිබේනම් එය දුර බැහැර සිට පැමිණෙන මෙවැනි අසරණ රෝගීන්ට මොන තරම් සහනයක් වේවිද? සැබැවින්ම අප මේ කියන්නට යන්නේ අපේ රටේ මහරගම අපේක්ෂා රෝහල අසල ඇති එවැනි Transit home පිළිබඳව ඔබට කියන්නටය.

CCC House යනුවෙන් නම් කර ඇති මේ මධ්‍යස්ථානය මෙවැනි අසරණ රෝගීන්ට නොමිලේ නවාතැන් ගත හැකි ස්ථානයකි.

එනමුදු බෝසත් සිත් ඇත්තවුන් වන ඔබට මහරගම අපේක්ෂා රෝහල වෙත පියමනින රෝගීන් වෙත කිසියම් පිළිසරණක් වන්නට හැකි වේ.

කෝවිඩ් තත්ත්වය නිසා මේ දිනවල අපේක්ෂා රෝහල් පරිශ්‍රය වෙත ගන්නේ ප්‍රතිකාර අත්‍යාවශ්‍ය ම රෝගීන් පමණකි. එබැවින් CCC House හි ද සිටින්නේ වෙනදා සිටින රෝගීන්ගෙන් සියයට 60 - 70 අතර පිරිසකි.CCC House සමඟින් දිගින් දිගටම රැඳෙමින් අසරණ පිළිකා රෝගීන්ට දානමාන ලබාදෙන පිරිසක් සිටියි. මේ පිරිස අතරට ඔබේ දෑතත් දිගුවේ නම් එය මහඟු උපකාරයක් වනු ඇත.

CCC House Courge (ධෛර්යය) , Compassion (අනුකම්පාව), Commitment (කැපවීම) යන සංකල්පයන් මුල්තැන්හි ලා හිඳුවමින් කටයුතු කරන ආයතනයකි. ලාබ නොලබන සමාජ සුබසාධක ආයතනයක් ලෙස කටයුතු කරන CCC පදනමෙහි නිර්මාතෘ ජේතා දේවපුර යි.

 

එවකට පිළිකා රෝහලේ අධ්‍යක්ෂකවර‍යකුව සිටි විශේෂඥ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්නගේ මඟ පෙන්වීම අනුව රෝහල් භූමියේ ම ඉඩක් ලබා දෙමින් Transit Home එකකට සමාන අන්දමින් CCC House ඉදිවන්නේ ජේතා ඇතුළු කණ්ඩායමේ අප්‍රතිහත ධෛර්යයත් කැපවීමත් නිසාය. දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද එහි ඉඩක් හිමිවේ. එදා මිලියන 170 ක ඇස්තමේන්තුවකින් අසීරුවෙන් මෙම තුන්මහල් ගොඩනැගිල්ල අදියර දෙකක් ඔස්සේ ඉදිවිය. 2009 නොවැම්බර් මාසයේ පළමු පිළිකා රෝගියා සඳහා ඉඩක් වෙන්වූ CCC House 2013 වන විට මුළු ගොඩනැඟිල්ල ම සාදා අවසන් විය.

අද වන විට එහි 194 දෙනකු සඳහා ඇඳවල් තිබේ. කාමර 48 ක්, පිරිමි වාට්ටු 2 ක් සහ ගැහැනු වාට්ටු 2 ක් තිබේ. කාමර වෙන්වන්නේ දරුවන් වෙනුවෙනි. මෙම කාමරවල දරුවන් සමඟ අම්මා, ආච්චි.... වැනි කෙනකුට සිටීමට ද ඇඳක් තිබේ. එක් එක් කාමර සඳහා වෙන් වූ වැසිකිළි මෙන්ම පොදු නාන කාමර හා වැසිකිළි පද්ධතියක් ද ඇත.

 

රෝගීන්ගේ මනස සුවපත් කරන කාර්ය මණ්ඩලය

 

මසකට මිලියන 1 1/2 ක පමණ මුදලක් විය පැහැදම් කොට ඉතාම පිරිසුදුව ආරක්ෂිතව CCC House නඩත්තු කරමින් පවත්වාගෙන යයි. රෝගීන් ඇතුළත් කර ගැනීම් (Admission), නිවෙස් බලායෑම් (Discharge) මෙහිද තිබේ. හෙද සත්කාරයේ නියැළෙන (Nursing Officers and Nursing Assistants) කාර්ය මණ්ඩලයක් සිටියි. හෙද සත්කාරයේ යැයි කියූ විට ඔවුන් සිදුකරනුයේ රෝගීන්ගේ මනස සුවපත් කිරීමයි. CCC House නවාතැන්ගෙන සිටින පිරිසක් නිවෙසක දී මෙන් රැකබලා ගැනීම ඔවුන් අතින් සිදුවේ. මෙහි පැමිණෙන ඇතැමුන් බස්නාහිර පළාතට මුල්වරට පැමිණෙන්නේ පිළිකා රෝහල වෙතයි. ඔවුන් අන්ත අසරණ වූවන් බව නොකිවමනා ය.

පිළිකා රෝගයෙන් පෙළේ යැයි සවනත වැකුණු දා මුළු ජීවිතයම දෙපතුල මත කඩා වැටේ. එදා පටන් මහරගමට පැමිණ ඉන්න හිටින්න තැනක් නොමැතිව ජාවාරම්කරුවන්ට හසු වූ අය ද නැත්තේ නොවේ.

CCC House හි නවාතැන් ගෙන සිටින්නවුන්ට සියලු පහසුකම් සපයනුයේ නොමිලයේ ය. ඔවුන් වෙනුවෙන් දානමාන දෙමින් උපකරණ පරිත්‍යාග කරමින් බෝසත් සිතුවිලි අතර සැරිසරන්නෝ ද බොහෝ යි.

CCC House හි සිට ඔවුන් අපේක්ෂා රෝහල වෙත දිනපතා පියමනිනුයේ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යි. ඒ සඳහා CCC House හා අපේක්ෂා රෝහල පාලමකින් යාවී ඇත. ළමා වාට්ටු සඳහා ඇත්තේ ඇවිදගෙන යන දුරකි. වැඩිහිටි අය පවා තනිවම රෝහල වෙත යයි. CCC House වෙත යොමු කරන්නේ තනිවම තමන්ගේ වැඩ කටයුතු කරගත හැකි වැඩිහිටි රෝගීන් ය.

මෙහි රැඳී සිටින රෝගීන් කාලය ගත කරනුයේ විටෙක රෝදුක් පවා අමතක කරමින් සතුටු සිතිනි. ඔවුන්ට කිසිදු අඩුපාඩුවකින් තොරව හැමදේම ලබාදීමට කටයුතු කරයි. කරුණාබරිත හදවත් ඇත්තවුන් එහි කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරයි. CCC House හි රැඳී සිටින කාලසීමාවේ මානසිකව හැකි තරම් සතුටින් තැබීමට මේ කාර්යය මණ්ඩලය ඇප කැප වේ. ඇතැම් රෝගීන් වසරකට ආසන්න කාලයක් පවා මෙහි රැඳී සිටියි.

රෝගීන් එක් අයෙක්වත් මෙතෙක් කාලයකට නම් හරවා යැවීමට සිදුවී නැත. පැමිණෙන රෝගීන්ට හැකි පමණින් නේවාසික පහසුකම් ලබාදීමට CCC House කාර්ය මණ්ඩලය උත්සුක වෙයි.

 

පිළියෙල කළ ආහාර දාන වේලක් ලෙස

 

මෙහි රැඳී සිටින දරුවන්ට පැම්පර්ස්, සෙල්ලම්බඩු, වැඩිහිටි පැම්පර්ස්, තේ කොළ, පිටි, සීනි, තැඹිලි, යෝගට් ආදී දේ දරුවන්ට ඇඳුම් පවා ලබා දේ.

බෝසත් සිතුවිලිවලින් පිරුණු ඔබේ හදවත CCC House නේවාසික රෝගීන් වෙත විවර වේ නම් ඔබට ඔවුන් වෙනුවෙන් දාන වේලක් භාරගත හැකිවේ. එය පිළියෙල කළ ආහාර වේලක් විය යුතුවේ. CCC House කෑම පිළියෙල කිරීමක් සිදු නොවීම ඊට හේතුවයි..

රෝගීන් වෙනුවෙන් පිළියෙල කරන ආහාර වේලක් ලබා දීමට කටයුතු කළ යුත්තේ ද ක්‍රමයකට අනුවය. එහිදී මිරිස්, ලුණු, තෙල්, පොල්කිරි අධිකව නොයොදා පිළියෙල කළ යුතුවේ. කෘත්‍රී‍ම රසකාරක නොයෙදිය යුතුමයි. නමුත් රසය නම් තිබිය යුතුයි. මේ රෝගීන් කන්නේ ඉතාම කුඩා ප්‍රමාණයකි. එය ගුණාත්මක බවින් වැඩි රසවත් එකක් වීම වැදගත් වේ.

උදෑසන ආහාරය පෙරවරු 6.30 - 7.00 අතර ලබාදීමට පුළුවන. බොහෝ රෝගීන් පිරිසක් ප්‍රිය කරනුයේ බත් කෑමටයි. පොල්සම්බෝලයක්, කිරි හොද්දක්, මාළු කරියක් සමඟ බත්, ඉඳිආප්ප දිය හැකි වේ. ඇට වර්ග, පිට්ටු, කිරිබත්, තෝසේ ආදියත් ඇතැම් පිරිස් ලබා දේ.

දාන වේලක් භාර ගනිද්දී CCC House වෙත කතා කොට පිළියෙල කළ හැකියි. එහිදී ඔවුන් අවශ්‍ය ආහාර ප්‍රමාණය පවසයි. ඒ එදිනෙදා සිටින පිරිස වෙනස්වන නිසයි. කෑම වේල් පිළියෙල කළ යුතු අන්දම, පිළිගන්වන අන්දම පැහැදිලි කරයි. බොහෝ විට කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා පැක් ලෙස ලබාදීම, කෑම බෙදා දීමටත් පහසුවක් වේවි. අපි හිතමු උදේට ඉඳි ආප්ප දෙනවා කියා. එපිට ඉඳිආප්ප, පරිප්පු ටිකක්, පොල් සම්බෝලයක්, බිත්තරයක් ලෙස ලබාදීම හොඳටෝම ප්‍රමාණවත් වේ. මස් වර්ග ලෙස ලබා දෙන්නේ කුකුළු මස් පමණි.

මෙසේ දානමාන ලබාදෙන අය දහදෙනකු පමණ වන CCC House හි කාර්යමණ්ඩලයට ද එම ආහාරවේලම ලබා දේ. කාර්ය මණ්ඩලයට කෑම ලබාදීම අනිවාර්යය නැත.දහවල් කෑම වේල සඳහා විශේෂයෙන් කරන කෙනෙකුට ෆ්‍රයිඩ් රයිස්, කහබත් වැනි දෙයක් සමඟ කුකුළු මස් වැනි දෙයක්, සාමාන්‍ය බත් නම් ව්‍යංජන 4, 5 ක් සමඟ කෑම වේලක් දිය හැකිවේ. මෙය සමබල ආහාර වේලක් ලෙසින් පිළියෙල කළ යුතු වේ. තවත් කෙනකුට මෙවැනි ආහාර වේලක් සඳහා වැයවන වියදම CCC House වෙතින් තක්සේරු කරද්දී ඊට වැයවන මුදල ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කළ හැකියි. විදෙස් රටක කෙනකුට වුවත් මේ සඳහා දායක විය හැකියි. පෙරවරු 10.30 - 11.00 වන විට මෙම ආහාරවේල භාරදිය යුතුවේ.

රාත්‍රී ආහාරවේල පස්වරු 5.30 - 6.00 පමණ වන විට ලබාදිය යුතුවේ. ඒ සඳහා බත් හෝ ඉඳිආප්ප, පිට්ටු වැනි ආහාරයක් දිය හැකිවේ.

මීට අමතරව බිස්කට් (මාරි, ක්‍රීම් ක්‍රැකර්), සුප්, කේක් (බටර් කේක්) පලතුරු ආදි දේ ලබාදිය හැකියි.

මේ රෝගීන් යැපෙන්නේ මේ ආහාරවේල් වලිනි. ඔබ ලබා දෙන ආහාරවේලකින් කෙනෙකුගේ රසනහර පිනවයි නම්, ඔවුන්ගේ ජීවිත සුරැකේ නම් එය කෙතරම් පුණ්‍යානුමෝදනාවක් වෙයි ද?

 

සිතිවිලි පොත

CCC House වෙත පැමිණ එහි සෙවණේ සිටි පිරිස් තම හද පත්ලෙන් ම නැඟෙන සිතිවිලි පන්හිඳෙන් අකුරු කරවන්නට පසුබට වන්නේ නැත.

ඔවුන්ගේ ජීවිතවලට ලැබුණු සහයෝගය අපුරු වදන් පෙළක් බවට පත්ව

CCC පදනම සඳහා ඔබේ නොමසුරු ආධාර

CCC පදනමේ කොමර්ෂල් බැංකුවේ (විදෙස් ශාඛාව) ගිණුම වෙතට බැරකිරීම. බැංකු ගිණුම් අංකය 1416440701

ඔබ අත ඇති ජංගම දුරකතනයේ ඩයලොග් සබඳතාවක් ඇත්නම් CCCH (Space) බැර කරන මුදල සඳහන් කොට 7710 ට වෙත කෙටි පණිවිඩයක් යැවිය හැකියි. උදාහරණයක් ලෙස CCCH 500 ලෙස. රුපියල් 10 ක් වැනි මුදලක සිට රුපියල් 2500 දක්වා මුදලක් සෑම මසකම ඔබේ අතින් බැරවේ නම් නොදැනුවත්වම ඔබ පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබට කළ හැකි උපරිම දායකත්වය ලබා දී ඇත.

වැඩි විස්තර

www.cccfoundationsl.lk

වෙබ් අඩවියෙන්

ccchouse@

cccfoundationsl.lk /

[email protected]

විද්යුත් තෑපැලෙන්

+940777915293 දුරකතන

අංකයෙන්

නො. 171, දහම් මාවත,

මහරගම

ලිපිනයෙන් ලබාගත හැකිවේ.

 

 අදහස් දැක්වීම

CCC HOUSE හි තුසිතා

කුමාර කුලසිංහ