ළමා සිත් සතන් නොතළා ආදරයෙන් රැකගන්නා රිජ්වේ ආර්යා ළමා රෝහලේ සුව විරු ළඳුන්

දූ දරුවන්ගේ සුව සෙත වෙනුවෙන් කරන කැපවීමට අපේ ගෞරවය මෙලෙස පුදකරන්නෙමු
අගෝස්තු 1, 2022

 

 

අපේ ගෞරවාදරයට පාත්‍ර වන පුද්ගලයන් අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වූවන් එහෙමත් නැතිනම් සුව විරුවන්ගේ නම් සනිටුහන් වන්නේ ඉහළින්මයි. විශේෂයෙන්ම පසුගිය කාලවකවානුවේ පැවති කොරෝනා වසංගතය හමුවේ ඔවුන්ගේ සේවය අතිමහත්.

 

මෙරට මුහුණ දුන් විවිධ ව්‍යසනයන්හි දී පමණක් නොව අපට සුව සහනයක් අවැසි සෑම මොහොතකම සුව විරුවන් ඔවුන්ගේ සේවය සලසාලන්නේ නිර්ලෝභීවයි. එබැවින් මෙවර තරුණී කවරය හැඩ කරන්නේ එවැනි සුව විරුවරියන් සිව්දෙනකුගේ සොඳුරු රුවෙනි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරියක්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක්, හෙදි සොයුරියක් සහ හෙදියක් වූ මේ සිව්දෙනා ගැනයි අපේ කතාබහ.

 

පළමුව අපි වෛද්‍ය මෙලනි සෙනවිරත්න සමඟ කතාබහ කළෙමු.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරියක ලෙසින් කටයුතු කරන ඇය මෙලනි සෙනෙවිරත්න. ළාබාල වෛද්‍යවරියක වූ මෙලනි වෛද්‍ය සේවයට පිවිසෙන්නේ 2021 වසරේදීයි. සිය පළමු පත්වීම වූ කොළඹ, කාසල් කාන්තා රෝහලේ වසරක පමණ සේවා කාලයකින් අනතුරුව දැනට මාස කිහිපයකට පෙර රිජ්වේ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයට සම්බන්ධ වන්නීය.

 

මතුගම, අගලවත්ත උපන් ඔබ සිප් සතර හදාරන්නේ කොළඹ විශාඛා විද්‍යාලයෙන්. මේ වෛද්‍යවරියක වීමේ සිහිනය ඇරඹෙන්නේ පාසල් කාලයේදීමයි.

“ ඇත්තටම මම පුංචි කාලේ ඉඳන් සිහින මැව්වේ වෛද්‍යවරියක් වෙන්න. පාසලේ දී ගුරුවරුන් අහනකොටත් කිව්වෙ මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීම කියලයි. ඉතින් ඒ වෙනුවෙන් කැපවීමෙන් ඉගෙනීමේ කටයුතුවල යෙදුණා. එහි ප්‍රතිඵලයක් විදිහට කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට මම වාසනාවන්ත වුණා."

 

ඔබේ පළමු පත්වීම ලෙස කාසල් රෝහලේ කටයුතු ආරම්භ කරද්දි කොරෝනා වසංගතය නිසා රටම භීතියෙන් ඇළලී ගිය කාලයක්.

“ ඔව්. අපි අවසාන වසරේ ඉගෙනුම් කරද්දී තමයි කොරෝනා ආරම්භ වුණේ. ඒ නිසා ඒ ගැන දැනුවත්ව, අවදානම දරාගෙන තමයි වෘත්තීය කටයුතු ආරම්භ කළේ. ඉතින් පරෙස්සමට සහ වැඩි අවධානයකින් කටයුතු කළා. කොහොමටත් විශේෂ ඇඳුම් කට්ටල එහෙම ඇඳගෙන එක දිගට රාජකාරියේ යෙදෙන එක පහසුවක් වුණේ නෑ."

 

කාසල් රෝහලේ දී ඔබේ සේවය ලැබුණේ ගැබිනි මවුවරුන්ට. දැන් රිජ්වේ රෝහලේ නිසා පුංචි දරුවන් එක්කයි කටයුතු කරන්න වෙන්නෙ. මොකද ඒ ගැන හිතෙන්නෙ?

“ මම කටයුතු කරන්නෙ ශල්‍ය වෛද්‍ය ඒකකයේ නිසා පුංචිම දරුවන්ගේ උපතේ දී පටන් ඇතිවන විවිධ සංකූලතා දකිනවා. ඇතැම්විට මවුවරුන් ගැබිනි කාලයේ දී නිසිලෙස පරෙස්සම් නො වුණු නිසා දරුවන්ට ඇති වූ විවිධ ගැටලු දකින්න පුළුවනි. ලංකාවේ විවිධ පළාත්වල දරුවන් මෙහි රැගෙන එනවා. ඒ නිසා ගැබිනි මවුවරුන් එක්ක කටයුතු කළාට වඩා මේ දරුවන් එක්ක කටයුතු කිරීම වෙනස් අත්දැකීමක්."

 

ඔබේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමු.

“ මගේ තාත්තා නාවික ඉංජිනේරුවෙක් හැටියට කටයුතු කරලා දැන් විශ්‍රාමිකයි. අම්මා රබර් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරනවා. මගේ එකම මල්ලිත් වෛද්‍ය පීඨයේ හතරවැනි වසරේ දැන් ඉගෙනුම ලබනවා. නුදුරේදී ඔහුත් වෛද්‍යවරයෙක් විදිහට කටයුතු ආරම්භ කරාවි."

 

විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී ලක්මාලි ධර්මවංශ දැක්වූ අදහස්....

 

රිජ්වේ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරියක වූ ලක්මාලි ධර්මවංශ කටයුතු කරන්නේ හතරවැනි අංශය භාරවයි. මේ රෝහලේ විශේෂ ඒකකයක් වූ අක්ෂි, වකුගඩු, සමේ රෝග, පුනරුත්ථාපන, විකලාංග දත්ත, ස්නායු, මානසික රෝග, විකිරණ යන රෝහලේ විශේෂ ඒකකයන් සේම මධ්‍යම ජීවානුහරණ ඒකකය සහ මධ්‍යම කිරි සැපයුම් ඒකකයේ අංශභාර විශේෂ හෙද නිලධාරිනිය වන්නී ඇයයි.

ඇල්පිටිය ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කරන ලක්මාලි පහ වසර ශිෂ්‍යත්වය සමත්ව කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වන්නීය. අනතුරුව කොළඹ හෙද විදුහලට ඇතුළු වන ඇය හෙද සේවයේ උපාධිය හිමි කරගන්නේ විවෘත විශ්ව විද්‍යාලයෙනි.

 

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇති මේ හෙද නිලධාරිනිය 2017 වසරේ සිට මේ දක්වා රුහුණු විශ්වවිද්‍යාලයේ හෙද පීඨයේ බාහිර කථිකාචාර්යවරියක ද ලෙස සේවය කරයි.

 

අද දවසේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක වුණත් ඔබත් පුංචි කාලේ හීන දැක්කෙ වෛද්‍යවරියක් වෙන්න.

“ මගේ හීන කාලෙන් කාලෙට වෙනස් වුණා. පුංචි කාලේ මට ඕනෙ වුණේ වෛද්‍යවරියක් වෙන්න. ඊට පස්සේ 9,10 පන්තිවල දී මම කිව්වෙ විශ්වවිද්‍යාල ආචාර්යවරියක් වෙනවා කියලා. හැබැයි උසස් පෙළ හැදෑරුවේ විද්‍යා විෂයයන්. හෙද ඇඳුමට ආස වුණේ ඊටත් පස්සෙ."

 

හෙද විදුහලෙන් ඉවත් වන ඔබේ පළමු පත්වීම ලැබෙන්නෙ රිජ්වේ ආර්යා ළමා රෝහලට.

“ ඔව්. මම හෙදියක් විදියට මේ රෝහලේ බාහිර රෝගී අංශයෙන් තමයි කටයුතු ආරම්භ කළේ. ඊට පස්සෙ වාට්ටු අංක 4 සහ 09 වාගේම වෛද්‍ය දැඩි සත්කාර ඒකකයෙත් හෙදියක් විදිහට කටයුතු කළා. හෙදි සොයුරියක් වුණේ ශල්‍ය මහාචාර්ය ඒකකයේ වැඩ කරගෙන යද්දීයි. මේ විශේෂ ශ්‍රේණියට ආවට පස්සෙ ගාල්ල මහ මෝදර රෝහලේ වසර දෙකක් කටයුතු කළා. ඊට අමතරව තාවකාලිකව කොළඹ ජාතික රෝහලේ කටයුතු කළත් වසර 25ක් වුණු මගේ සේවා කාලයම කැප කළේ මේ රෝහල වෙනුවෙන්."

 

රෝගී වුණු පුංචි දරුවන් ඇසුරේ කටයුතු කිරීම ඉතාමත් සංවේදී කටයුත්තක් බව ඔබ පැවසුවා.

“ ඇත්තටම ඔව්. මේ රෝහලට ලංකාවේ සෑම ප්‍රදේශයකම දරුවෝ රැගෙන එනවා. විශේෂයෙන් මවු කුසෙන් බිහි වෙද්දීම විවිධ සංකූලතා සහිතව උපන් දරුවෝ බොහොමයක් විවිධ ශල්‍යකර්ම ආදිය සඳහා එනවා. ඉතින් ඒවා හරිම සංවේදී සිදුවීම්. ඇතැම් දරුවෝ දිනයක් දෙකක් ඇතුළත රෝහලෙන් පිටවී ගියත් සමහරුන් මාස ගණනාවක් රෝහලේ. මවු කුසින් පිටතට ආපු තවත් දරුවෝ තමන්ගේ ඥාතීන් දකින්නෙ මාස ගණනාවකට පස්සෙ. විවිධ අසනීප තත්ත්ව නිසාම මෙලොව හැර යන දරුවොත් ඔය අතරේ ඉන්නවා. ඉතින් ඇත්තටම මේ රාජකාරිය පුදුමාකාර තරම් සංවේදීයි. ඒ නිසා වෘත්තීය ගරුත්වය රැකගෙන වඩාත් ඉහළ සේවාවක් ලබා දෙන්නට මම හැමදාම කැප වෙනවා."

 

ඔබේ පෞද්ගලික ජිවිතය ගැනත් කියමු නේද?

“ මගේ සැමියා සේවය කරන්නේ යුද හමුදාවේ බ්‍රිගේඩියර් කෙනෙක් හැටියට. අපිට පුතෙක් ඉන්නවා. ඔහු නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා."

 

අපි ඊළඟට කතාබහට එකතු කරගත්තේ දර්ශනි ප්‍රදීපිකා හෙද සොයුරියයි.

රිජ්වේ රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ හෙදි සොයුරියක් ලෙස කටයුතු කරන ඇය දර්ශනී ප්‍රදීපිකා විද්‍යාරත්න. කිරිබත්ගොඩ විහාර මහාදේවි බාලිකාවෙන් සිප් සතර හැදෑරූ දර්ශනී හෙද වෘත්තියට පිවිසෙන්නේ 2007 වසරේදීය. නාවල විවෘත විශ්ව විද්‍යාලයෙන් විද්‍යා උපාධියක් හිමි කරගන්නා ඇය අනතුරුව මැලේසියාවේ විවෘත විශ්ව විද්‍යාලයෙන් හෙද උපාධියක් හිමි කර ගන්නීය.

අනෙක් අය හෙද වෘත්තිය වෙනුවෙන් පුංචි කාලේ ඉඳන් හීන මැව්වට දර්ශනී කියන්නෙ එහෙම කෙනෙක් නෙවෙයි.

“ ඇත්තටම මම කවදාවත් හෙදියක් හෝ වෙනත් වෘත්තියක් වෙනුවෙන් හීන මැව්වෙ නෑ. මට හොඳට ඉගෙන ගන්නයි අවශ්‍ය වුණේ. අධ්‍යාපනයෙන් මගේ දක්ෂතාව තියෙන පැත්තට හැරුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමා මම මුලින්ම හෙදියක් වුණේ. අනතුරුව ඊට අයත් විභාග සමත් වෙලා දැන් හෙද සොයුරියක් විදිහට වැඩ කරනවා."

 

ඔබ හෙදියක් විදිහට මුලින්ම සම්බන්ධ වුණේ මේ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයට. මොකද ඒ ගැන හිතුණේ?

“ ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළු වන්නෙ විවිධ ශල්‍යකර්ම සඳහා භාජනය වුණු දරුවන්. එහිදී අලුත උපන් බිලිඳුන් වාගේම විවිධ වයස් සීමාවන්ට අයත් විවිධ රෝගී තත්ත්වවලින් පෙළෙන දරුවන් තමයි සිටින්නේ. ඒක ලොකු අභියෝගයක් වාගේම මගේ වෘත්තීය ජීවිතයට අත්දැකීම් බොහොමයක් එකතු වුණු ස්ථානයක්."

 

ඒ වාගේම තමයි දැන් ඔබ කටයුතු කරන වෛද්‍ය දැඩි සත්කාර ඒකකය?

“ ඔව්. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන්නේ ජිවිත අවදානමක් සහිත, ඉතාමත් හොඳින් රැකබලා ගත යුතු දරුවන්. අපේ අවධානය ඉහළින්ම තිබිය යුතුයි. අපි උපරිමයෙන් රැකබලා ගෙන ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ සමහර වෙලාවට මේ ලෝකයෙන් සමුගන්නවා. ඒක දරාගන්න හරි අමාරු දෙයක්. මම පළමු දවසේ ඒ වාගේ අත්දැකීමට මුහුණ දුන් විට දැනුණු හැඟීමම තමයි තව අදටත් ඒවාගේ සිදුවීමක දී දැනෙන්නෙ."

 

මේ දිනවලදී මෙනවාගේ රෝගී දරුවන් ද වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නෙ.

“ මේ දිනවල ඩෙංගු අවදානම තදින්ම තිබෙනවා. ඒ නිසා ඩෙංගු වැලඳුන දරුවෝ වැඩි වශයෙන් හමුවෙනවා. ඊට අමතරව ඇස්මා, නිව්මෝනියාව වාගේ රෝගී තත්ත්ව සහිත දරුවනුත් නිරතුරුවම මේ දැඩි සත්කාර ඒකකයට ගැනෙනවා."

 

ඔබේ පවුලේ තොරතුරු ගැනත් කියන්නකෝ...

“ මම විවාහකයි. මගේ සැමියා පෞද්ගලික ආයතනයක සේවය කරනවා. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා පහ වසරේ. චූටි පුතා තුන්වැනි වසරේ. මම තමයි අපේ පවුලේ එකම දරුවා. තාත්තා විදුහල්පතිවරයෙක් විදියට කටයුතු කළා. අම්මා සේවය කළේ බැංකු ක්ෂේත්‍රයේ. දැන් දෙන්නම විශ්‍රාමිකයි. ඉතින් මගේ දරුවෝ දෙන්නා බලාගන්නෙ ඒ දෙන්නා. මගේ වෘත්තියේ නිදහසේ කටයුතු කරන්න ඒ දෙන්නගෙන් වාගේම සැමියාගෙන් ලැබෙන සහයෝගය හරිම වටිනවා. මොකද අපේ මනස නිදහසේ තියාගත්තොත් තමයි හැමදේම හොඳින් කරගන්න පුළුවන් වෙන්නෙ. ඉතින් මගේ පවුල තුළින් ඒ සහයෝගය මට උපරිමව ලැබෙනවා."

 

හෙද නිලධාරිනි නුවන්තිකා ද සිල්වා දැක්වූ අදහස්...

 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ 09 වැනි වාට්ටුවේ හෙදියක් ලෙසින් සේවය කරන ඇය නුවන්තිකා ද සිල්වා.

ඇඹිලිපිටියේ උපන් නුවන්තිකා සිය ප්‍රාථමික අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නේ බෝධිමළුව විද්‍යාලයෙනි.

 

අනතුරුව පහවසර ශිෂ්‍යත්වය සමත් වන ඇය ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වූවාය. විද්‍යා විෂයයට දැඩි කැමැත්තක් දැක්වූ නිසාම උසස් පෙළ සඳහා විද්‍යා විෂයයන් තෝරා ගත්ත ද ඇයට විශ්වවිද්‍යාල වරම් හිමි නොවීය. එබැවින් හෙදියක ලෙසින් ජීවිතය අරඹන්නට තීරණය කළ ඕ රත්නපුර හෙද විද්‍යාලයට ඇතුළත් වූවාය.

 

ඉතින් ඊට පස්සෙ...

“ හෙද විදුහලෙන් පිටත්වන මට හෙදියන් විදිහට මුල්ම පත්වීම ලැබුණේ මේ රිජ්වේ ආර්යා ළමා රෝහලටයි. ඒ 2017 වසරේදී. එදා ඉඳන් අද දක්වාම මම මේ 09 වැනි වාට්ටුවේ හෙදියක් විදිහට කටයුතු කරනවා."

 

නව වැනි වාට්ටුවට ඇතුළත් කරන්නෙ කොයි වගේ රෝගී දරුවන් ද?

“ විවිධ රෝගවලින් පෙළෙන දරුවන් මෙයට ඇතුළත් කරනවා. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, නියුමෝනියාව, කැස්ස, ඩෙංගු ආදී රෝග තත්ත්ව සහිත දරුවන් තමයි වැඩිපුරම දකින්නට ලැබෙන්නෙ. ඊට අමතරව ස්නායු ආබාධ සහිත දරුවන්, තැලසීමියා වාගේ රුධිර ගැටලු ඇති දරුවන්, දියවැඩියාව නිසා ඉන්සියුලින් ලබා දීමට සිදුවන දරුවන් වාගේ විවිධ දරුවන් මෙහි සිටිනවා. සාමාන්‍යෙයන් දිනකට රෝගී වූ දරුවන් 50 - 60 ත් අතර ප්‍රමාණයක් මේ වාට්ටුවේ දකින්න ලැබෙනවා."

 

මේ දිනවල කෝවිඩ් 19 ආසාදිත දරුවන් දකින්නට නැතිද?

“ දැන්නම් කෝවිඩ් වැලඳුණු දරුවන් දකින්නට නැහැ. පසුගිය කාල වකවානුවේ නම් ආසාදිත දරුවන් බොහෝ ප්‍රමාණයකට ප්‍රතිකාර කරන්න සිදු වුණා. හැබැයි තව අදටත් කෝවිඩ් පසු සංකූලතා නිසා රෝගී වූ දරුවන් අප වෙත පැමිණෙනවා."

 

කොහොමද මේ පුංචි දරුවන් එක්ක කටයුතු කිරීම?

“ වයස දිනක් දෙකක් වූ දරුවන් වාගේම අවුරුදු 14 දක්වා රෝගී වූ දරුවන් අප වෙත රැගෙන එනවා. ඉතින් ඒ හැමෝම ආදරයෙන් රැකබලාගෙන, අදාළ ප්‍රතිකාර ලබාදිලා ඉක්මනින් නිවෙස් බලා පිටත් කිරීමටයි උත්සාහ දරන්නේ. ඇතැම් දරුවෝ ඉක්මනින් සුවපත් වෙලා ගියත් තවත් අය මාස ගණන් මෙහි රැඳී සිටිනවා. ඉතින් ඒ වාගේ බරපතළ ලෙස අසනීප වුණු අය ක්‍රමයෙන් සුවපත් වෙනවා දැකීමත් පුදුමාකාර සතුටක්."

 

වෙනත් වාට්ටුවල මෙන් නොව ඔබට බොහෝ වෙලාවට මුණගැසෙන්නේ සාමාන්‍ය රෝගී තත්ත්වවලින් පෙළෙන දරුවන්.

“ඇත්තටම ඔව්. මේ වාට්ටුවේ බොහෝ වේලාවට රැඳී සිටින්නේ සාමාන්‍ය රෝගී දරුවන්. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වාගේ දේවල්. ඒ නිසයි අපි හැම වෙලාවෙම වැඩිහිටියන්ට කියන්නෙ දරුවන් ගැන අවධානයෙන් සිටින්න කියලා. වැඩිහිටියන්ගෙ නො සැලකිල්ල වාගේම නො දැනුවත්කම නිසා දරුවන් අසනීප වෙන අවස්ථා වැඩියි. පුංචි දරුවෝ අසනිප වුණාහම එයාලගේ වර්ධන කටයුතු පසු බහිනවා. ඒ නිසා රෝග බෝවීමට ඉඩ නොදී රැකබලා ගැනීමයි වැදගත්."

 

ඔබේ පවුලේ විස්තරත් සඳහන් කරන්නකෝ...

“අපේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි, නංගිලා තුන්දෙනයි. ගැහැනු දරුවන්ම පහක්. ඒ අතරින් මමයි, අක්කයි විවාහකයි. මගේ සැමියා පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා."

 

 

 

 ඡායාරූප - ශාන් රූපස්සර