ඔසප් අපහසුතාවන් මෙලෙස මඟහරවමු

දෙසැම්බර් 4, 2019

මසකට වරක් සිදුවන ඔසප්වීම කරදරයක්, හිරිහැරයක් ලෙස දකින්නටයි බොහෝ දෙනා හුරුවී සිටින්නේ. විශේෂයෙන්ම හිරිමල් වියේ පසුවන යුවතියන්ට මෙය මහත් හිසරදයක්. මේ නිසාම ඔසප් රුධිරය අඩුවෙන් පිටවන, දින දෙකකට, තුනකට සීමාවන අය බෙහෙවින් සතුටට පත්වෙයි. එහෙත් මෙය යහපත් තත්ත්වයක් ද?

ඔසප් රුධිරය අඩුවෙන් පිටවීම පිළිබඳ අප පසුගිය සතියේ කතාබහ කළා. නාරි හා ප්‍රසව ආයුර්වේද විශේෂඥවරිය මෙවර එය තව තවත් පැහැදලි කරදෙයි.

හැසිරීමේ වෙනස්කම්

එදිනෙදා සාමාන්‍ය හැසිරීමේ වෙනස්කම් ඔසප් චක්‍රයේ විවිධත්වයක් ඇති කරාවි. වෙහෙසකාරී බව, නින්ද නොයෑම හෝ රාත්‍රියේ අතරමැද අවදිවීම, ආහාර රුචියේ අඩුවැඩිවීම් මෙහිදී දැකිය හැකියි. වෙනදා මෙන් කාර්යක්ෂමව ක්‍රියාකිරීමේ අපහසුවට හේතුව මෙබඳු තත්ත්වයන් විය හැකියි.

දෙස් විදෙස් සොයාගැනීම්වලට අනුව කාන්තාවන් අතින් සිදුවන අපරාධ, ගෘහස්ථ හිංසන, ළමා හිංසන බොහොමයක් මෙන්ම කාන්තාවන් අතින් රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාව හා ගෘහස්ථ අනතුරු සිදුවීමේ ප්‍රවණතාව ද මෙම කාලසීමාවේ වැඩි බැව් ඔප්පු වී ඇත. එයට හේතුව ඔසප් ආශි‍්‍රතව ශාරීරික වෙනස්වීම් මෙන්ම යම් යම් මානසික වෙනස්වීම් ද පැවැතීම වේ.

මානසික වෙනස්වීම්

මානසික තත්ත්වයේ වෙනස ඉතා සියුම් ව පරීක්ෂා කිරීමෙන් වටහා ගත හැකියි. නොසන්සුන් බව, කේන්තිය, යමක් හෝ යම් කාර්යයක් හෝ ඉටුවන තෙක් ඉවසා සිටිය නොහැකි ස්වභාවය මේ කාලයේ දී ඇති වේ. හේතු රහිතව හෝ සහිතව ඇතිවන දුක් සහගත බව, ඍණාත්මක සිතුවිලි ඔසප් වීමේදී වන මානසික වෙනස්වීම් ය.

කායික අපහසුතා

හිසරදය බොහෝ කාන්තාවන්ට මාස්වීම ආසන්නව ඇතිවන අපහසුකාරී තත්ත්වයකි. මෙය සාමාන්‍ය වේදනානාශක උපක්‍රමවලින් සමනය නොවන අතර දවස පුරාම පවතී. පියයුරුවල තදබව හා වේදනාව, යට ඇඳුම් ඇඳීමේ දී දැනෙන වේදනාත්මක බව, ඉදිමුණු ස්වභාවය ඇතිවේ.

පිටකොන්ද, යටි උදරය ආශි‍්‍රත වේදනාව, ශරීරයේ සියලුම මාංසපේශී හා සන්ධිවල වේදනාත්මක ස්වරූපය හේතුවෙන් පඩි පෙළක් ආදිය නැඟීමේ දී වේදනාවට වඩා අපහසුතාවක් දැකිය හැකියි. එමෙන්ම මෙම තත්ත්වය පවතින නිසා ඉණ අඟල් කිහිපයක් විශාලවී දැනීම ද, ශරීර බර ග්‍රෑම් කිහිපයකින් වැඩිවීම ද දැකිය හැකියි. මෙය සෑම මසකම හෝ සමහර මාසවල පමණක් පැවැතිය හැකියි.

මාස්වීමේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා

තල හා තල යෙදූ ආහාර කොල්ලු, උඳු හෝ උඳු පිටි ආශි‍්‍රතව සැකසූ තෝසේ, ඉට්ලි, උත්තප්පම් වැනි ආහාර වර්ග, මුදවාපු කිරි, උක් හකුරු වඩාත් සුදුසුය.

සුදුලූනු, කොත්තමල්ලි ආදිය ව්‍යංජන සඳහා කුළු බඩු ලෙස යෙදීම ද තනිව හෝ ආහාරයට ගැනීම ද වැදගත්ය.

අළු පුහුල්, මුරුංගා, රාබු, කරවිල, නමිනං, අන්නාසි, උගුරැස්ස, නෙල්ලි, දෙහි කුලයේ පලතුරු, වැල්දොඩම්, ලොවි ආදී එළවළු, පලතුරු ද වඩා ගුණදායක ය.

කොත්තමල්ලි කුඩුකර තබාගෙන උණු දියෙන් වත්කර දිනකට දෙවරක් පානය කිරීම ද උචිතය. කොල්ලු, ව්‍යංජන හෝ කැඳ ආහාරයට ගැනීම, සතකුප්ප ඇට තම්බා ගත් ජලය, උක් හකුරු සමඟ පානය කිරීම.

 

උපදෙස්

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාරි හා ප්‍රසව ආයුර්වේද විශේෂඥ වෛද්‍ය

කෞමදී කරුණාගොඩ

 

2019/12/04 තරුණි බලන්න