අම්මා තමයි මාව ලෙඩෙක් කළේ

මේ කතාව දරුවකුගෙන් අහන්න අම්මලා සූදානම්ද?
මාර්තු 10, 2021

පදමට ලුණු නො දැම්මොත් දුවේ පවු‍ලම අනාතයි.

 

ලුණුයි කාන්තාවයි අතර තියෙන්නේ සාගරයයි වෙරළයි වගේ සබඳතාවක්. ඇයගේ ජීවිතයත් ලුණු කැටයක් වගේ තම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් දිය වී යනවා.

තවත් අතකින් නිවෙසේ මුළුතැන් ගෙයි රැජන වන ඇයට මුළු තැන් ගෙයි ලුණු මුට්ටිය නැති වුණොත් ඔටුන්න නැති වුණා වගෙයි. හොද්දට පදමට ලුණු දාන්න බැරි නම් ඇයට අදක්ෂ ගෘහණියක් කියන ලේබලය ඇලවෙනවා. කාන්තා දිනයත් සමඟ උදාවෙන ලුණු ගැන දැනුවත් කරන සතිය හරියට ගහට පොත්ත වගේ තියෙන මේ සබඳතාව තවත් සවිමත් කරනවා. කාන්තා දිනය මාර්තු 8 වැනිදා. හරියටම මාර්තු 8 වැනිදා සිට මාර්තු 14 වැනිදා දක්වාම ලුණු ගැන දැනුවත් කරන සතියක්. ඒ පවුලේ නීරෝගිතාව වර්ධනය කිරීමට අවශ්‍ය දැනුමෙන් ඇය සන්නාහ සන්නද්ධ කරමින්.

මුළුතැන් ගෙයින් මොනතරම් ලුණු කන්දරාවක් ඔබේ ගතට පටවනවාද?

වෛද්‍යවරුන් පවසන්නේ දවසකට ලුණු ග්‍රෑම් 9 - 12 අතර ප්‍රමාණයක් ඒ කියන්නේ තේ හැඳී දෙකක් තුනක් අතර ප්‍රමාණයක ලුණු අප නො දැනුවත්ව ආහාරයට ගන්නවා. බතටත් ලුණු දානවා. හොද්දටත් ලුණු දානවා. කොපමණ පැවසුවත් සියයට පනහකට වඩා ගෘහණියන් ප්‍රමාණයක් තවමත් හොද්දට ලුණු දාන ගමන් බතටත් ලුණු දානවා.

අපේ ශාරීරික අවශ්‍යතාවන්ට දවසකට ලුණු අවශ්‍ය වන්නේ කැපූ තේ හැඳී 1 ක්, ඒ කියන්නේ ලුණු ග්‍රෑම් 5 ක් පමණයි. ඒත් ඒ බව දන්නේ කී දෙනාද? දැන ගත්තත් දිව ඉල්ලන ලුණු රස ළඟ හැමදේම අමතක වෙනවා.

ලුණු කියන්නේ ජාඩියයි මූඩියයි වගේ සෝඩියම් සහ ක්ලෝරයිඩ් කියන සංයෝග දෙක එකට එකතු වෙලා හැදුණු දෙයක්. වෙන වෙනම ගත්තොත් සෝඩියම් දවසකට ග්‍රෑම් 2.3 ක් වගේ ශරීරයට හොඳටම ඇති. මේ ප්‍රමාණය ඉක්මවා යාම කේන්තියේ රතු ඉර ඉක්මවා යාම වගේ භයානකයි.

පවුලේ එක් අයකුට හෝ අධි රුධිර පීඩනය ඇත්නම් ඒකට හොද්ද රස කරන්න ඔබ ආදරයෙන් එකතු කරන ලුණු හැඳී ගණනත් වග උත්තරකරුවෙක්. අධි රුධිර පීඩනයට නැත්නම් හැමෝම කියන ප්‍රෙෂර් එකට ගැහැනු පිරිමි භේදයක් නැතිව 26% ක් එකතු වෙලා. ඒ කියන්නේ හතර දෙනකුගෙන් එක් කෙනෙක්. ලුණුවලින් ඇතිවන නරක ප්‍රතිඵල එයින් අවසන් වෙන්නේ නැහැ. පොලිය වගේ තවත් රෝග ගණනාවක් මේකට එකතු වෙනවා. හෘදයාබාධ, ආඝාතය (ස්ට්‍රෝක්), හෘද අකර්මණ්‍යතාව (හාට්ෆේලියර්), වකුගඩු අක්‍රීය වීම කියන ආයු කාලයට මරු පහරක් ගෙන එන රෝග තත්ත්ව ගණනාවකටම වැඩි ලුණු භාවිතය හේතු වෙනවා. අප නො සිතන රෝග ගණනාවකටත් ලුණු බලපාන බව විද්‍යාඥයන් කියන්නේ කට කහනවට නො වෙයි, පරීක්ෂණ ගණනාවකින්ම ඔප්පු වුණාට පස්සෙයි. ආමාශයේ පිළිකා, අසාත්මිකතා (ඇලර්ජි), ඔස්ටියෝපොරෝසිස් (අස්ථි ගෙවී යාම) වගේ තත්ත්වයන්ට වැඩි ලුණු හේතු වෙනවා. ඔස්ටියෝපොරෝසිස් රෝගයට වැඩිපුරම ගොදුරු වන්නේ කාන්තාවන්. කොන්ද කෙළින් තියාගෙන වැඩක් කරන්න බැරි තත්ත්වයට ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය නිසා කෙනෙක් පත් වෙනවා.

අම්මා ,බිරිය, දියණිය, නැන්දණිය, සොයුරිය මේ කුමන භූමිකාවෙන් මුළුතැන් ගෙය‍ට ගිය ද ලුණු දමන පදම තියෙන්නේ කාන්තාවගේ අතේයි. පදම වැරැදුණොත් ඔබේ පවුලේ සාමාජිකයාත් මෙරට බෝ නො වන රෝගවලින් සිදුවන 83% ක්වූ මරණ ප්‍රතිශතයට එකතුවීම වළක්වන්න අමාරුයි. අද කාලයේ හැටියට කියනවා නම් ෆුල් ඔප්ෂන් වෙලා මරු තුරුළට ඉක්මනින් යන්න වෙනවා. ඒ විතරක් ද මේ වගේ අයට කෝවිඩ් - 19 වගේ ලෙඩක් හුළගෙන් වුණත් හැදෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සංකූලතා ඇතිවෙලා මිය යාමටත් ඇති ඉඩ වැඩි වෙනවා. කෝවිඩ් මරණ ගැන සලකා බැලුවොත් ඉන් සියයට සියයක්ම වගේ බෝ නො වන ලෙඩවලින් පෙළුණු අයයි. බෝ නො වෙන ලෙඩවලින් 34% ක්ම මිය යන්නේ හෘදය හා රුධිර වාහිනී සම්බන්ධ රෝගවලින්. මේ රෝගවලට අධි රුධිර පීඩනය තදින්ම බලපානවා. අධි රුධිර පීඩනයට ලුණු හේතු වෙනවා. මැක්කාගේ කතාව වගේ අන්තිමට අධික ලුණු කියන වචන දෙක තමයි අන්තිමට ඉතුරු වෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ අනවශ්‍ය විදියට ලුණු භාවිතා නො කළොත් ලෝකයේ සිදුවන මරණවලින් දලවශයෙන් මිලියන 2.5 ක් වළක්වා ගන්න පුළුවන් කියලා.

මුළුතැන් ගෙයිදී හොද්දට බතට එකතු වෙන ලුණු වගේම ආපනශාලාවලින් දිගට හරහට ගිල දමන ක්ෂණික කෑම බීම නිසා ද ලුණු සාගරයක් වගේ එකතු වෙනවා. එයටත් ගෘහණිය කොටස්කාරයෙක්. පවුලේ සාමාජිකයන්ට ආදරය ද එකතුකර තමන්ගේම දෑතින්ම කෑම පිළියෙලකර දෙනවා නම් එවන් විපතක් වන්නේ නැහැ. චූන් පාන්කරු එනවිට නයිටිය පිටින්ම ගෙමිදුලට දුව යන්නේ අපේම ගෘහණියන්. එසේත් නැත්නම් පුංචි දුව, පුතා, ස්ථුල සැමියා ඉදිරියේ ආපනශාලාවට ගොස් ක්ෂණික ආහාර, ( පාන් පිටි කෑම / බේකරි නිෂ්පාදන, කට්ලට්, රෝල්ස්, පැටිස්, පේස්ට්‍රි, පීසා ආදිය ) මිලදි ගන්නේත් අපේම ගෘහණියයි.

සෞඛ්‍ය බලධාරීන් අවුරුද්දක් වෙන තුරු දරුවාට තෙල්, ලුණු, සීනි අඩංගු ආහාර සීමා කරන්න උපදෙස් දෙන්නේ ඒ රසයන්ට දරුවාගේ දිව හුරු වෙන එක වළක්වන්නයි. ඒ දරුවාගේම යහපතටයි. ඒත් සමහර අම්මලා ඒ උපදේශය කනකට ගන්නේ නැහැ. ළදරු පාසල් වයසට එනතුරු දරුවාගේ ආහාර වේල ගැන හීනෙන් දකින තරමට උනන්දු වුණත් නව යොවුන් වයසට එළඹුණු පසු කෑම පිඟාන ගැන නම් අම්මලා උනන්දු වෙන්නේම නැහැ. ඒ වෙන කොට අම්මලා විමසිලිමත් වන්නේ විභාග ප්‍රතිඵල ගැන විතරමයි. ඒකෙ ප්‍රතිඵලයක් විදිියට අපේ නව යොවුන් දරු දැරියන් වැඩිපුරම කන්නේ කොත්තු, රයිස් වගේ කෑමයි. ඒ වගේම පෙර පිසින ලද කෑම ජාතිවලටත් මේ වයසේ අය දක්වන්නේ පුදුම උනන්දුවක්. බර්ගර්ස්, සොසේජර්ස්, මීට් බෝල්ස්, ලුණු අධික බිස්කට්, චිප්ස් මේ පරපුරේ ප්‍රධාන ආහාර වෙලා. මොවුන්ගේ විභාග ප්‍රතිඵලත් හොඳ නැත්තේ නිසි පෝෂණය නො ලැබීමෙන්. අපේ ගෘහණියන් වැඩි දෙනෙක් කරන්නේ අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලය වහන එක. අන්තිමට තමන්ට කලින් දරුවන් මාරයාගේ නාම ලේඛනයට එකතු වෙනවා.

දිවට ලුණු රසය හුරුවූ පසු එය අත් හැරීම අසීරුයි. හරියට දුම් වැටියට, මත් වතුරට ඇබ්බැහි වුණා වගේ.

නමුත් ඕනෑම පුරුද්දක් සති දෙක තුනකින් වෙනස් කරගැනීමට පුළුවන්.

 

උපදෙස් - සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ

ශාන්ති ගුණවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.