මොකක්ද මේ රුධිර කැටි ප්‍රශ්නය ?

මාර්තු 24, 2021

 

රුධිර කැටියක් කියන්නේ අර්ධ ඝන තත්ත්වයට ( ජෙල් වගේ ) පත්වූ රුධිර සෛලයක්. සාමාන්‍යයෙන් කැපුමක්, තුවාලයක් වූ විට රුධිර වහනය වැළැක්වීමට රුධිර කැටි සෑදෙනවා. නහර තුළ රුධිර කැටි ඇති වුණ විට එය ඉබේ දිය වන්නේ නැහැ. මෙය ඉතා භයානක ජීවිතයට තර්ජනයක් විය හැකි තත්ත්වයක්. රුධිර කැටිය ගමන් නො කර තිබෙන තුරු හානියක් වන්නේ නැහැ. ඒත් එය ගමන් කළොත් භයානකයි. රුධිර කැටිය හදවතට හෝ පෙණහලුවලට ගමන් කළොත් එය නහරවල ඇලීමට පුළුවන්. එසේ ඇලී ඉන් එහාට රුධිරය යාම වළකිනවා. මේ අවස්ථාවේ වහාම වෛද්‍ය ප්‍රතිකාර නො ලැබුණොත් ජීවිතය අනතුරේ.

“ඔබ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා ගත්තාද? එසේ නම් මෙය අනිවාර්යයෙන් බලන්න. “ මෙවැනි සමාජ වෙබ් අඩෙවි පණිවිඩ ඔබත් දැක ඇති. ඇස්ට්‍රසෙනිකා කෝවිඩ් එන්නත ලබාගත් පසු රුධිර කැටි ඇති වී මිය යන බව‍ට පැතිර යන ආරංචියෙන් මුළු ලොවම කැළඹිලා.

කෝවිඩ් - 19 ටත් වැඩි බියක් මේ නිසා එන්නත ගැන ඇතමුන් තුළ හටගෙන. සමහර රටවල් එන්නත ලබා දීම පවා නතර කරලා. මොකක්ද මේ රුධිර කැටි ප්‍රශ්නය ? පුද්ගලයන් 167,000 කට එන්නත ලබා දුන්විට එක් අයකුට රුධිර කැටි ඇතිවීමේ අවදානම ඇති බවට ලැබුණු ආරංචිය මීට මුලපුරා තිබෙනවා. ඇස්ට්‍රසෙනිකා නිෂ්පාදක කණ්ඩායම පවසන්නේ එන්නත දීම නතර කිරීම විශාල අනුවණකමක් බවයි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් වන ඇන්ඩෘ පෝලාඩ් හා ඇන්තනි හාන්ඩන් එන්නතින් රුධිර කැටි ඇති වන බවට කිසිදු සාක්ෂියක් නැති බවත් එය ජීවිත බේරා ගන්නා බවත් කියා සිටිනවා.

ලොවේ අන් කිසිදු රටකට වඩා මේ එන්නත් මාත්‍රා භාවිත කර ඇත්තේ බ්‍රිතාන්‍යයයි. එන්නත් මිලියන 11 ක් එරට ප්‍ර‍ෙයා්ජනයට ගෙන තිබෙනවා. එහෙත් කිසිදු බරපතළ සෞඛ්‍ය ගැටලුවක් මතුවී නැහැ. හිසරදය, මාංසපේශි වේදනාව, උණ වැනි අතුරු ආබාධයක් හැරෙන්නට ඔවුන්ට වෙන කිසිදු ගැටුලුවක් මතු වී නැහැ. ඒවා සියල්ල කෙටි කාලීනයි. මහාචාර්ය ඇන්තනි හාන්ඩන් පවසන්නේ සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයෙන් රුධිර කැටි ඇති වීමේ ගැටලුව ඇති මාසිකව 3000 ක් පමණ හඳුනා ගන්නා බවයි. එන්නත නිසා නොව මෙය ස්වාභාවිකවම ඇති විය හැකි තත්ත්වයක් බව ඔවුන් පෙන්වා දෙනවා.

කෝවිඩ් - 19 වැලඳුන විට ස්වාභාවිකවම රුධිර කැටි ඇති වීමේ අවදානමක් පවතින බව බොහෝ දෙනකුට මතක ඇති. ඉතා සංකීර්ණ රෝගයක් වන කෝවිඩ් - 19 සිරුරට විවිධාකාරයෙන් පහර දෙන අතර සමහරු සුළු රෝග ලකුණු පෙන්වීමටත් තවත් අය දරුණු රෝග ලකුණු පෙන්වීමටත් ඉඩ තිබෙනවා.

සිරුරේ අවයව, පටක වාගේම රුධිරයට ද වෛරස බලපානවා.

නව කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් රුධිර කැටි හට ගැනීමට හැකි අතර එයින් ඇතිවන ගැටලු සුළු හෝ ජීවිතයට තර්ජනයක් වන අන්දමේ බරපතළ ගැටලු වීමට පුළුවන්. රුධිර කැටියක් සිර වීමෙන් නහර හෝ හෘද නහර අවහිර වූ විට ඔක්සිජන් හා පෝෂණය ඒ නහරවල පටකවලට නොලැබීමෙන් ඒ ප්‍රදේශයම මිය යනවා. පෙණහලුවල, පාදවල හෝ සිරුරේ වෙනත් තැනක රුධිර කැටි ඇති වීමට පුළුවන්.

මොළය කරා යන නාල අවහිර වුණොත් ආඝාතය හට ගන්නවා. වකුගඩුවලට යන නහර අවහිර වුවහොත් වකුගඩු අකර්මණ්‍ය වෙනවා. සමට ආසන්න සියුම් රුධිර නාල අවහිර වුණොත් සමේ පලු ( රෑෂ් ) ඇති වෙනවා. පාදයේ ඇඟිලිවල වේදනාකාරී හෝ කසනසුලු රතු / දම් පැල්ලම් ඇති වෙනවා.

එන්නතින් රුධිර කැටි ඇති වීමේ අවදානම ගැන ඔක්ස්ෆර්ඩ් විශේෂඥයන්ගේ අදහස එයයි.

කොහොම වුණත් එන්නත ගෙන දවස් හතරකට වඩා වැඩි කාලයක් හිසරදය පවතිනවා නම් වෛද්‍ය වහාම උපදෙස් ගැතිය යුතුයි.

අන්තර්ජාලයෙනි