සදහටම පරදවමු කොරෝනා ලෙඩෙක් නිවෙසේ සිටිනවා නම් කළ යුතු හා නො කළ යුතු දේ

මැයි 12, 2021

 

ගහෙන් ගෙඩි එන්නා වාගේ නව කොරෝනා රෝගීන් වාර්තා වෙන්නේ අලුත් අවුරුද්දේ ප්‍රීතිය සමූලඝාතනය කරමින්. කකුළුවා දිය රත් වෙන තුරු විනෝද වුණා වාගේ අපේ අයත් සුව නීති උල්ලංගනය කරමින් සතුටු වීමේ විපාක ලෙස ජීවිතයෙන් පවා වන්දි ගෙවනවා.

දැන් දැන් කෝවිඩ් - 19 නො වැලඳුණු රෝගියෙක් නො මැති නිවෙසක් සොයා ගැනීමට බැරි තත්ත්වයක් උදා වේ ගෙන එන්නේ. එනිසාම වෛරසය ආසාදනය වී තිබුණත් රෝග ලකුණු නො පෙන්වන හා සුළු රෝග ලකුණු පෙන්වන රෝගීන්ට නිවෙසටවී හුදෙකලා වීමට සිදුවනවා. නිවෙසේදී කොහොමද නිරෝධායනය වෙන්නේ ? ඔහු / ඇය පවුලේ අනිත් සාමාජිකයන්ගෙන් දුරස්ව වෙනම කාමරයක සිටිය යුතුයි. මේ කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබීම වැදගත්. කවුලු පියන් විවෘත කර තැබීමෙන් නැවුම් වාතය කාමරයට පැමිණෙනවා. විසබීජ රැගත් වාතය පිට වෙනවා. රෝගියාත් රෝගියාට‍ උවටැන් කරන අයත් මුහුණු ආවරණ පැලඳීම අනිවාර්යයි. ශල්‍ය මුහුණු ආවරණයක් පැය අටකට වඩා පැලඳීම සුදුසු නැහැ. පැය අටකට පසු අලුත් මුහුණු ආවරණයක් පැලඳිය යුතුයි. N-95 මුහුණු ආවරණයක් පැලඳිය හැකි නම් වඩාත් හොඳයි. යළි භාවිත කළ හැකි මුහුණු ආවරණ සෝඩියම් හයිපොක්ලෝරයිට් සියයට එකක දියරයකින් පිරිසුදු කර ගන්න. මූලික සුව නීති නිරන්තරයෙන්ම පිළිපදින්න.

උවටැන් කරන අය අත් ආවරණ පැලඳ සිටීම වැදගත්. රෝගියාගේ සෙම වැනි තරල නො ගෑවෙන සේ උපස්ථාන කළ යුතුයි. රෝගියාගේ කිසිදු දෙයක් හුවමාරු කර නො ගැනීමටත් වග බලා ගන්න.

රෝගියා තම රෝග තත්ත්වය වෛද්‍යවරයාට දෛනිකව වාර්තා කළ යුතුයි. වරින් වර උණ බැලීම වැදගත්. හුස්ම ගැනීමේ අපහසුතාවක් පපුවේ වේදනාවක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර පතා යොමු කළ යුතුයි. අලුත්ම වෛද්‍ය උපදෙස්වලට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 650 ක් දිනකට හතර වරක් රැගෙනත් උණ අඩු නො වෙයි නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

රෝගීන් තමන්ට නියමිත ඔසු ලබා ගැනීමට අමතරව දිනකට දෙවරක් වාෂ්ප ඇල්ලීම ද වැදගත්.

රෝගියකුගේ නිරෝධායන කාල සීමාව අවසන්වූ පසු නැවත පරීක්ෂණයක් කිරීම අත්‍යාවශ්‍ය නැහැ.

 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී

පද්මා ගුණරත්න

--------------------------------------

 කෝවිඩ් සහ අනිත් ස්වසන රෝග වෙන්කර හඳුනා ගන්නේ කෙසේද?

කෝවිඩ් - 19 පමණක් නො වෙයි ඕනෑම ස්වසන රෝගයකට මුලදීම ප්‍රතිකාර කළ යුතුයි. නැත්නම් නියපොත්තෙන් කැපිය යුතු දේ පොරොවෙන් කපන්නවත් බැරි තත්ත්වයක් උදා වෙනවා.

මේ දිනවල කුමන ස්වසන රෝගය වැලඳුනත් කෝවිඩ් - 19 ද යන සැකය මතු වෙනවා. ඒත් සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යාවකත්, ෆ්ලූ හා කාලීන අසාත්මිකතා නිසා ඇති වන ස්වසන රෝග තත්ත්වත් කෝවිඩ් - 19 අතරත් වෙනසක් තියෙනවා. බොහෝ ස්වසන රෝගවලදී උණ, ඇඟේ පතේ වේදනාව, සීතල, කැස්ස වැනි ලකුණු හට ගන්නවා. නව කොරෝනා වෛරසයත් සුළු මට්ටමින් බලපෑ විට මෙවැනි ලකුණු ඇති වීමට හෝ ඇති නො වීමට ඉඩජ තියෙනවා.

කෝවිඩ් - 19 දී නව කොරෝනා වෛරසය ශරීරගතවී නිරෝගී සෛල ආක්‍රමණය කරනවා. මෙසේ ආක්‍රමණය කළ පසු ඉක්මනින් වර්ධනයවී පෙණහලු ආසාදනය වෙනවා. ෆ්ලූ නැත්නම් ඉන්ෆ්ලුවෙන්සාවට වඩා කෝවිඩ් - 19 දස ගුණයකින් මාරාන්තිකයි. උණ හා වෙහෙස රෝග දෙකටම පොදු නමුත් ඉන්ෆ්ලුවෙන්සාවේදී ඇ‍ඟේ පතේ වේදනාව සහ හිසරදය වඩාත් සුලබයි. නාසයෙන් සොටු දියර ගැලීමත් කෝවිඩ් - 19 දීට වඩා ෆ්ලූ තත්ත්වයේදී දකින්න ලැබෙනවා. ගඳ, සුවඳ, රස නො දැනීම කෝවිඩ්වල පොදු ලකුණක් වී ඇතත් ඉන්ෆ්ලුවෙන්සාවේදී එය සුලබ නැහැ.

කෝවිඩ් ලකුණු සති තුනක් තරම්වත් දිගු කලක් පැවතුනත් ඉන්ෆ්ලුවෙන්සාව සතියකින් පමණ සුව වෙනවා.

කෝවිඩ් කියා වරදවා වටහා ගන්නා ස්වසන රෝග තත්ත්ව කිහිපයක්ම තියෙනවා.

පීනස එවැනි එක් රෝගයක්. නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, ඇස් රතු වීම, ඇස් කැසීම එහි ප්‍රධාන ලකුණුයි.

සෙම්ප්‍රතිශ්‍යාව දින පහකින් හයකින් සුව වෙන සුළු ආසාදන තත්ත්වයක්. කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, වෙහෙස, කිවිසුම් යාම, හිසරදය, උගුරේ ආසාදන වැනි ලකුණු මෙවිට ඇති වෙනවා. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකට ඇඳ විවේකය ප්‍රමාණවත්.

ඉන්ෆ්ලුවෙන්සාවත් කෝවිඩ් වගේ විවිධත්වයක් ඇති රෝගී තත්ත්වයක්. රෝග ලකුණු නො පෙන්වන අය සිටින අතර සුළු රෝග තත්ත්වයේ සිට දරුණූ රෝග ලකුණු පෙන්වන අයත් සිටිනවා. සෙම් බිඳිති මඟින් සමීප ආශ්‍රයෙන් මෙයත් කෙනකුගෙන් කෙනකුට බෝ වෙනවා.

අසාත්මිකතා නිසා ඇති වන ස්වසන ආබාධ ද කෝවිඩ් හා සමාන රෝග ලකුණු පෙන්වනවා. මේ නිසා තමන්ට වැලඳී ඇත්තේ කුමන රෝගයදැයි කියා රෝගීන් අතරමං වීම පුදුමයක් නො වෙයි. තමන්ට වැලඳී ඇත්තේ කුමක්දැයි කියා සනාථ කර ගැනීම රෝගියකුට ඉතා වැදගත්.

කෝවිඩ් මුළු සිරුරටම බලපාන නිසාත් වෙනත් ස්වසන රෝගවලට වඩා වෙනස් ලකුණු පෙන්වන නිසාත් අනෙක්වාටත් වඩා තරමක් සංකීර්ණ ස්වසනාබාධයක්. උදරාබාධ, ඇස් ආසාදන වෙනස්ම ලකුණු අතර තිබෙනවා. සමහර විට උදරාබාධ ඇති වන්නේ ස්වසනාබාධයක ලකුණු පෙන්වන්නත් කලින්.