විස බීජ විනාස කරන දේවලින් අපට වෙන හානිය දන්නවා ද ?

ජූලි 28, 2021

 

*සැනිටයිසර් නිසා හිතකර බැක්ටීරියාද විනාස වෙයි

*ඇඳුම් සේදීමට සබන් භාවිත කළ හැකිනම් හොඳයි

 

*හැකි සෑම විටම සබන් ගා අත් සේදීම මීට ඇති හොඳම විසඳුමයි

මේ දේවල් ගෙයි හතර මායිමටවත් ගන්න එපා

නිවෙසට පැමිණි විට කෙනකුට දැනෙන්නේ පුදුමාකාර සුරක්ෂිත බවකි. සිතට දැනෙන සැනසුම ද අපමණය. එහෙත් විසි එක් වැනි සියවසේ ජීවත් වන අපට නිවෙස සුරක්ෂිතයි කියා සිතිය හැකිද? නිවෙසේ කුදු මහත් කටයුතු සඳහා යොදා ගන්නා දෑ අපේ නිරෝගීභාවය සුරක්ෂිත කරනවාද?

දැනුවත්ව හෝ නො දැනුවත්ව අපේ නිවෙස් බොහොමයක් විස බලාගාර වී අවසන්ය. වසංගතය නිසා ද වෙනදාටත් වඩා අප විස ද්‍රව්‍යයන්ට නිරාවරණය වීමට පටන් ගෙන ඇත. ඒ වැඩිපුරම අප කාලය ගත කරන්නේ නිවෙසේ නිසාත් සැනිටයිසර්, රෙදි සෝදන කුඩු ආදිය සමඟ වෙනදාටත් වඩා අප ගැටෙන බැවිනි.

ෆ්ලෝ ක්ලීනර්

ෆ්ලෝ ක්ලීනර් හෙවත් අපේ ගෙබිම පිරිසුදු කරන වෙළෙඳ පොළේ ඇති කෘත්‍රිම දියරවලින් මේ කාලයේ වැඩිපුර ගෙබිම පිරිසුදු කරනවා නිසැකය. මේවායේ Diethylene glycol,petroleum distillates විස රසායන අඩංගුය. මේවා අපේ මධ්‍යම ස්නායු පද්ධතියට හානිකරය. ඇතැම් සෝදන දියර පිළිකාකාරකය. ගෙබිම මේවායින් පිරිසුදු කළ පසු එහි විස අවට පරිසරයේ පවතියි. විස නිසා ඇතිවන්නේ සුළු හිසරදයක් විය හැකිය. එහෙත් තවත් ප්‍රබල සෞඛ්‍ය තර්ජන ගණනාවක් ඒ නිසා ඇතිවිය හැකිය. එග්සීමා, සොරයිසිස් වැනි සමේ ගැටලු ඊට උදාහරණය. ඇතැම් පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ බාහිර පරිසරයටත් වඩා නිවෙස තුළ විස ඇති බවය. රසායනික දියරවල අඩංගු ඇසට නො පෙනෙන කුඩා අංශු පරිසරයේ පවතින බව වැඩි දෙනෙක් නො දනිති.

ඩිෂ් වොෂ්

මුළුතැන්ගෙට නැතිවම බැරි නිෂ්පාදනයක් බවට ඩිෂ් වොෂ් පත්වී අවසන්ය. වැඩි පිරිසුදුකමට යොදා ගන්නා ඩිෂ් වොෂ්වලින් සේදූ භාජනයක ආහාර ගන්නා සැම විටම සල්ෆේට් සහ එතිගිලින්ඩයමින්ටෙට්රාඇසිටික් අම්ලය ( EDTA) මිලිග්‍රෑම් ප්‍රමාණවලින් ශරීරගත වෙයි. දිනකට ( EDTA) ග්‍රෑම් තුනකට වඩා දින 5 - 7ක් ශරීරගත වුවහොත් වකුගඩුවලට හානි වීමට පුළුවන. භයානක ලෙස කැල්සියම් මට්ටම පහළ බසියි. එපමණක් නොව මිය යාමට පවා ඉඩ තිබෙයි. සල්ෆේට් ඇස්වලට, සමට හා පෙණහලුවලට හානිකර ලෙස බලපානු ලැබෙයි. ඩිෂ් වොෂ්වලින් පිරිසුදු කර කෙතරම් වතුරෙන් සේදුවත් ඒවායේ අඩංගු මේ රසායන බඳුනේ ඇලී පවතියි.

හෑන්ඩ් සැනිටයිසර්

හෑන්ඩ් සැනිටයිසර් හෙවත් කෘත්‍රිම අත් සෝදන දියර භාවිත වූයේ ජලය, සබන් නැති තැන්වලදී දෑත් විසබීජවලින් පිරිසුදු කරගැනීමටය. එහෙත් දැන් එය අත් බෑගයට මුදල් පසුම්බිය මෙන් නැතිවම බැරි උපාංගයක් බවට පත්වී ඇත. සැනිටයිසර් භාවිතය වැඩි වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ සම්බන්ධව උපදෙස් ලබා දී තිබෙයි. මේවායේ අඩංගු මධ්‍යසාරවලින් සිරුරට උරා ගන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. මධ්‍යසාරවලින් වන හානිය වළක්වා ගැනීමට සමහර සැනිටයිසර්වල වියළි බව වළක්වන සිසිලසක් සම‍‍ට ගෙන දෙන රසායන ද අඩංගුකර තිබෙයි. අත්ලට සැනිටයිසර් දමා දෑත් එකට හොඳින් අතුල්ලා තත්පර 20 - 30 ක් හෝදන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙනු ලබයි. එතනෝල්, ඉසොප්‍රොපනෝල් මෙහි ක්‍රියාකාරී රසායනය. තාවකාලිකව මේවා විස වීමෙන් මධ්‍යම ස්නායු පද්ධතියට, ස්වසන පද්ධතියට බලපෑම් ඇතිවෙයි. ඔක්කාරය වැනි විවිධ අපහසුතා ඇති වෙයි. දිගු කාලීනව මේ රසායනවලට නිරාවරණය වීමෙන් හදවතට, අක්මාවට, වකුගඩුවලට බලපෑම් ඇති වෙයි. කෙනකු මිය යාමට පවා ඉඩ තිබෙයි. සැනිටයිසර් නිසා හිතකර බැක්ටීරියා විනාශවීම තවත් අවාසියකි. හැකි සෑම විටම සබන් ගා අත් සේදීම මීට ඇති හොඳම විසඳුමය.

නිවෙස අවට පිච්ච වැනි සුවඳ මල් වවන්නේ නැතුව කෘත්‍රිම සුවඳින් නාස් පුඬු පුරවා ගැනීමට අපි පෙලඹී සිටිමු. සොබා දහම අපට ගෙන එන සුවඳ මෙන් නොව මේ සුවඳ උග්‍ර විස බව වැඩි දෙනෙක් නො දනිති. දැන ගත්ත ද ඒ ගැන නොතකා සිටිති. මෙවායේ රසායන දෙසීයකට වඩා ඇත. සමේ ඇතිවන අසාත්මිකතා, හිසරදය, ඇදුම පමණක් නොව පිළිකා වැලඳීමට පවා මේ රසායන හේතුවෙයි. පරිසරයම ස්වාභාවිකව සුවඳවත් කරන සගන්ධකාරක තෙලක් භාවිත කිරීම මීට පිළියමයි.

දැන් වෙනදාටත් වඩා රෙදි සේදීමට සිදුවී ඇත. ඒ නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේදී පිරිසුදුකම ද ඉතා වැදගත් නිසාය. එහෙත් නිතර රෙදි සෝදන කුඩුවලින් රෙදි සේදුවොත් අපේ සෞඛ්‍යයට කුමක් සිදු වෙයිද? රෙදි සෝදන කුඩුවල පීඑච් අගය වැඩි වන තරමට කුණු හොඳින් සේදෙයි. එනිසාම රෙදි සෝදන කුඩු නැත්නම් වොෂිං පවුඩර් නිෂ්පාදකයන් කරන්නේ හැකිතරම් පී එච්(ph) අගය ඉහළ වැඩි දෙයක් සෝදන කුඩුවලට එක් කිරීමය. බ්ලීචිං මීට ඇති හොඳම විසඳුමය. එය ලාබදායක ද වෙයි. ඇඳුම් සියල්ල භාජනයකට දමා රෙදිවල කුණු ඉවත් කරන ගෘහණිය ඉන්පසු කුණු සහ රෙදි සෝදන කුඩු ඉවත් කිරීමට දෙතුන් වරක් රෙදි ටික ජලයෙන් සෝදයි. කොපමණ සේදුවත් අපේ යට ඇඳුම් ඇතුළු සියලුම ඇඳුම්වල යම් පවිත්‍රකාරක ප්‍රමාණයක් ඉතිරි වෙයි. දහදිය දමන විට ඉතිරි පවිත්‍රකාරක දියවී සිරුරට උරා ගනියි. නොවත්ව හෝ අම්මලා පුංචි කිරිකැටියන්ගේ ඇඳුම් සෝදන්නේ ළදරු සබන්වලිනි. ළදරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේත් ඇඳුම් සේදීමට සබන් භාවිත කළ හැකි නම් පිළිකා, ඇදුම, හදවත් රෝග වැනි බෝ නො වන රෝග අවමකර ගැනීම පහසුය. දූවිල්ල, අපවිත්‍ර පරිසර වාතය, දුම් පානය කිරීම, ගොඩනැඟිලි ද්‍රව්‍ය, ලී භාණ්ඩ, පිරිසුදු කාරක දියර, කෘත්‍රිම පරිසර සුවඳ කරන රසායනික දියර ( එයාර් ෆ්‍රෙෂ්නර්ස් ), පරිගණක, ප්‍රින්ටර්ස්, ආහාර පිසීම වැනි ගෘහස්ථ කාර්යයන් නිසා ගෘහස්ථ පරිසරය බාහිර පරිසරයට වඩා විස සහිත විය හැකිය.

 

කායික රෝග විශේෂඥ වෛද්‍ය

වරුණ ගුණතිලක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.