දිගුකාලීන කොරෝනා රෝග ලක්ෂණ දෙසීයකටත් වැඩියි

ජූලි 28, 2021

 

අශ්වයකු මෙන් වේගයෙන් පැමිණෙන කරදර විපත් දුරු වන්නේ ඉබි ගමනටත් වඩා සෙමිනි. නිරෝගී සම්පත උතුම්ම සම්පත වෙද්දී රෝගී වීම තරම් විපතක්, කරදරයක් තිබෙනවාද? කෝවිඩ් 19 ලෝකවාසීන්ට වේදනාකාරී අත්දැකීමකි.

වෙනත් බොහොමයක් රෝගාබාධයන්ට ද වඩා මේ වසංගතය බරපතළ වී ඇත්තේ බොහොමයක් රෝග ප්‍රතිකාර ගත් පසු නිට්ටාවටම වාගේ සුවවන නමුත් මේ රෝගය බහුතරයකට දිගු කාලීන සංකූලතා ඇති කරන බැවිනි.

පර්යේෂකයන් ලොව පුරා සිදු කළ අනාවරණය කරගෙන ඇති පරිදි නව කොරෝනා වෛරසය ආසාදනය වී වෛරසය පරාජය කළ ද බහුතරයකට දිගු කාලීන බලපෑම නම් අවසන් වන්නේ නැත. ඔවුන් පවසන්නේ කෝවිඩ් දිගු කාලීන ලකුණු 203 කටත් වැඩි බවය.

රෝගය සුළුවෙන් වැලඳුනත් දරුණු ලෙස වැලඳුනත් දිගුකාලීන රෝග ලකුණුවල වෙනසක් නැත. හාර දහසකට ආසන්න පිරිසක් දිගු කාලීන රෝග ලකුණු 203 කින් පීඩා විඳ ඇති අතර සාමාන්‍යයෙන් රෝගීන් විවිධ වෙනස් අතුරු ආබාධ ලක්ෂණ 56 ක් පමණ පෙන්වයි.

වඩාත් සුලබම ලකුණ වන්නේ දැඩි වෙහෙසය. වයස අවුරුදු 18 ට වැඩි සියයට 98.3 ක් මේ ලක්ෂණය පෙන්නුම්කර තිබෙයි.. ‘brain fog’නම් මානසික අවුල රෝගීන් තුන් දෙනකුගෙන් එක් අයකුට වැලඳිය හැකිය.

අවධානය යොමු කිරීමට අසීරු වීම, වැඩ කිරීමේදී දැනෙන වෙහෙස, මතක ශක්තිය අඩු වීම, ගන්ධය රස නො දැනීම, මනස ව්‍යාකූල වීම, වෙනදා මෙන් ඉක්මනින් සිතා වැඩ කටයුතු කිරීමට අසීරු වීම, වැඩ කිරීමට වැඩි කාලයක් ගත කිරීමට සිදුවීම, සුපුරුදු වැඩකටයුතු පවා අමතක වීම වැනි ලකුණු මෙවිට ඇතිවෙයි. මේ තත්ත්වය දුරු කිරීමට භාවනා කිරීම, අලුත් දෙයක් ඉගෙන ගැනීම, සවායු ව්‍යායාම කිරීම, සුවදායක නින්දක් ලබා ගැනීම, මත් වතුරෙන් ඈත් වීම ප්‍රයෝජනවත් වෙයි.

දිගු කාලීන සංකූලතා අතර සම කැසීම, ඔසප් චක්‍රය වෙනස් වීම, හදවතේ ගැස්ම වේගවත් වීම, ඩයරියා, කායික බෙලහීනතාව, කනෙන් කුරු කුරු ගා හඬක් ඇසීම දිගු කාලීන කෝවිඩ් ලකුණු අතර ප්‍රධානය. රෝගීන්ගෙන් ඇතැමකුට මේ ලකුණු මාස තුනක් පවතිද්දී තවත් අයට මාස අටක් පමණ පවතියි.

රෝගය ඉක්මනින් සුව වූවන්ට දිගුකාලීන රෝග ලකුණු ඇති

වන්නේ සුළු ගණනකි. රෝගය මාස හතක් පමණ බලපෑ පුද්ගලයන්ට එක් වරම රෝග ලකුණු 17 ක් පමණ ඇතිවෙයි.

දිගුකාලීන රෝග ලකුණු හඳුනා ගැනීමට රුධිර පරීක්ෂණයක්

නව කොරෝනා වෛරසය විවිධ වෙස් අරගෙන දරුණු වෙද්දී රෝගය හඳුනා ගන්නා පර්යේෂණ ද අලුත් වෙමින් පවතියි. ඉදිරි මාස හය ඇතුළතදී දිගු කාලීන රෝග ලකුණු කෝවිඩ් වැලඳුණාට පසු හට ගැනීමට ඇති ඉඩකඩ ගැන සොයා බැලීමට රුධිර පරීක්ෂණයක් සූදානම් වෙමින් පවතියි. මේ සරල රුධිර පරීක්ෂණයකි. රුධිර පරීක්ෂණයෙන් රෝගීන්ගේ රුධිරයේ ඇති අසාමාන්‍ය ප්‍රතිදේහ හඳුනා ගනියි. දැනට දිගු කාලීන ලකුණු හඳුනාගත හැකි පරීක්ෂණයක් නො මැත.

දිගුකාලීන රෝග ලකුණු ඇති අයට මාසිකව කෝවිඩ් එන්නත ලබා දීම ද ප්‍රතිඵලදායක බව බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. අධික වෙහෙසකින් පීඩා විඳි සුවය ලැබූ රෝගීන්ට එන්නත ලබා දීමෙන් පසු විශාල සහනයක් ලැබී තිබෙයි. ජර්මනියේ විද්‍යාඥයන් හෘද රෝගීන්ට දෙන ඖෂධවලින් දිගු කාලීන රෝග ලකුණු ඇති අයට සුවයක් ලැබෙනවාදැයි කියා සොයා බලමින් පවතියි.

 

අන්තර්ජාලයෙනි