අලුත උපන් ගැහැනු දරුවන්ගේ මලපහ පිරිසුදු කරන්නේ කොහොමද?

අගෝස්තු 11, 2021

 

හැම අම්මෙකුගේ ම ප්‍රාර්ථනය රුව ඇති දුවෙක්. ඉතිං මේ දුවකට රුව පමණක්ම ප්‍රමාණවත් ද? හිරණ්‍යා සහ සේමිතගේ ආදරබර කුරුලු කැදැල්ලට ඉර නැඟ එන එක්තරා හිමිදිරියක ආවේ පුංචි ම පුංචි පැටික්කියක්.

 

මේ චූටි පැංචියත් කෙළිලොල් අවදිය පසුකර තාරුණ්‍යයට පිවිසේවි. කවදහරි පෙම්වතකුගේ තුරුළේ පෙම් සුව විඳීවි.

දයාබර බිරියක් වේවි. ඔවුන් අතරට සුරතල් දරුවකු පැමිණේවි. ඇයත් මේ මං වගේම මව් පදවිය නමැති උත්තරීතර කිරුලේ හිමිකාරියක වේවි. ඒ සඳහා ඇය ශක්තිමත් විය යුතුයි. මාත් මගේ නංගිලා දෙන්නාවත් උස්මහත් කරන්න හැමවිටම පෝෂණය පිරි ආහාරවේලකින් අපව රසගන්වන්නට අම්මා ගත් උත්සාහය හිරණ්‍යට එකින් එක මතකයට ආවා.

අම්මලා බොහොමයක් දෙනා හිතන්නේ වැඩියෙන් ම කිරි දෙන්න ඕන පුතෙකුට, දුවෙකුට පුතෙකුට තරම්ම කිරි දෙන්න ඕන නැහැ. පුතෙකුට තරම් කෑමෙන් බීමෙන් පෝෂණය කරන්නත් ඕන නැහැ.... මෙවැනි පුහුමතවලින් නම් අම්මෙක් වහාම ඈත්විය යුතුයි. දුවෙකුට සාපේක්ෂව පුතෙක් වැඩියෙන් කිරි ඉල්ලාවි. වැඩිපුර කෑම බෙදලා දෙන්නත් වේවි. ඒත් දුවෙකුට බල කරමින් හෝ කෑම කැවීම, කිරි පෙවීම හරිම වැදගත්.

අනාගතයේ මවක් වීමට සිටින අද දවසේ පුංචි බිලිඳිය ඒ සඳහා සූදානම් කරවන්නේ කොහොමද? කුළුඳුල් මවකට කිරි කැටි දරුවකු උපත ලැබූ පසු මේ දරුවා හදාවඩා ගන්නා අයුරු පිළිබඳ නොයෙකුත් ගැටලු මතුවේවි. අපි මේ ගැටලු පිළිබඳව කෙටියෙන් හෝ කතා කරන්න හිතුවේ, අලුත් අම්මලට යම් අස්වැසිල්ලක් වෙන්නට.

 

පෙකණිය සම්බන්ධ ගැටලු

අලුත උපන් බබාගේ පෙකණිය අලුත් අම්මලට ගැටලු රැසක් ගෙන දෙන කාරණයක්. පෙකණිය වැටෙනකම්ම අලුත් අම්මලා ඉන්නේ බයෙන්.

මව් කුසේ ඉඳිද්දි පුංචි පැටියට අත්‍යවශ්‍ය ම පෙකණිවැල ඉපදුණාට පස්සේ තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ. උපතේ දී කපා ඉවත්කරන පෙකණියේ පුංචි කොටසක් නාභියේ ඉතිරි වෙනවා. එය වියළි තත්ත්වයට පත්වෙලා හැලෙන්න දින කිහිපයක් ගත වෙනවා.

පෙකණිවැල හොඳින් තෙත මාත්තු කර තබන්න. බබාගේ මුත්‍රාවලින් පෙකණිය තෙමීමෙන් වළක්වා ගන්න. මේ තත්ත්වය බොහෝ දුරට ඇතිවන්නේ පිරිමි දරුවන්ට යි. පෙකණියෙන් අස්වාභාවික දුගඳක් හමන්නේ නම් වෛද්‍ය උපදෙස් පතන්න සිදුවේවි.

 

මලපහ පිරිසුදු කිරීම

කිරිකැටි දරුවන් දිනකට කිහිපවතාවක් ම මලපහ කරනවා. ඇතැම් විට කිරිබොන වාරයක් වාරයක් පාසාත් මලපහ පිටවෙනවා. යන්තම් මලපහ පිට වුවත් හොඳින් පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය යි. ඉපදී සති කිහිපයක් යනතුරු බොහෝවිට පුළුන් බෝල වතුරට දමා ඒ ආශ්‍රිත ප්‍රදේශය සුමුදුවට පිරිසුදු කිරීමයි කරන්නේ.

ගැහැනු දරුවන්ගේ මලපහ පිරිසුදු කිරීම ඉතා ප්‍රවේසමෙන් කළ යුතුයි. පුළුන් හෝ පිරිසුදු රෙදිකඩක් තෙමා පහළ අතට පිසදමන්න. ඉහළට සේදූවිට මුත්‍රා ආසාදන ඇතිවීමට පුළුවන. පුතෙකු නම් මුත්‍රා කරනවිට කෙලවර ඉදිමේ නම් සැහැල්ලු රෙදි කඩකින් තෙමා ලිංගේන්ද්‍රයේ කෙලවර සෙමින් දිනපතා ටික ටික පසුපසට ගන්න. මෙය ඉවසීමෙන් කරන්න.

 

ඉක්කා වැටීම

අලුත උපන් දරුවාට ඉක්කා වැටීම ඉතාම ස්වභාවික තත්ත්වයකි. ‍ඖෂධවල පිහිට පැතීමත් අවශ්‍ය නැත. කලබල විය යුතු ද නැත. බිලිඳු දරුවන් කිරි බොද්දී වාතය යම් ප්‍රමාණයක් ද ඇතුළු වේ. මේ නිසාත් ඉක්කා වැටේ. එසේම දරුවාගේ කුස උවමනාවට වඩා පිරුණු විට දී, මව්කිරි දෙද්දී මව සැර ආහාර අනුභව කිරීමෙන් දරුවාට ඉක්කාව ඇතිවේ. මෙහිදී දරුවා දෑතට ගෙන නැලවීම, පිට හෙමින් පිරිමැදීම, ගුඩුස් යැවීම, කුසගිනි වැඩිවන තුරු නොසිට කෑම බීම දීමෙන්

ඉක්කාව මගහරවා ගත හැකියි.

ඉක්කා යන විට ජලය පානයට දෙන්න එපා. මාස හයට අඩු දරුවන්ට එය හානිදායකයි. තත්පර කිහිපයකට හෝ නහය මිරිකාගෙන සිටින්නත් එපා. එය ද හානිදායකයි. පැයකටත් වඩා වැඩි කාලයක් ඉක්කාව පවතී නම් වෛද්‍ය උපදෙස්  පතන්න.

උගුරේ ගොර ගොර ශබ්දය

බිලිඳාගේ උගුරේ ගොර ගොර ශබ්දය පවතී නම් එය ඉතා ස්වභාවිකයි. මෙවැනි තත්ත්වයක දී මවුවරුන් කලබල වෙයි. මෙය බිලිඳාගේ ශ්වාසනාලය (Broncialtred) සංකෝචනය වීමෙන් ඇතිවන ස්වභාවික තත්ත්වයකි. මාස 3, 4, 5 යන විට මේ තත්ත්වයන් සියල්ල ඉබේම පහව යාවි.

 

ඇසෙන් කඳුළු ඉනීම

විශේෂයෙන් ම එක් ඇසකින් කඳුළු ඉනීමේ දී මවුපියෝ බියවෙති. මේ බිය ස්වභාවිකයි. ඇසෙහි සිට නාසය දක්වා ඇති නාලය මඳ වශයෙන් කුඩා වීමෙන් මෙවැනි තත්ත්වයක් හට ගනියි. ඇසේ ආසාදිත තත්ත්වයක් නම් අනිවාර්යයෙන් ඇස රතුවේ. එවිට වෛද්‍යවරයකු හමුවන්න. බිලිඳාගේ නිය පහරක් ද විය හැකියි.

 

 

 

උපදෙස් -

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය, මානව උපදේශක

වෛද්‍ය සුදත් ගුණතිලක