ආදරණීය වැඩිහිටියන් එන්නත් කරවීමේ වගකීම ඔබ සතුයි..

සැප්තැම්බර් 1, 2021

 

කොවිඩ් වසංගතය ලොව පුරා තම අණසක පතුරන්නේ මරණයේ භීතිකාව ද සමඟිනි. තමාගේ ළබැඳියන් කිසිදු අයුරකින් ඈත් කිරීමට අකැමැති වූ අපට ඔවුනගෙන් සදහට ම වෙන්වීමට සිදුව ඇත්තේ කිසිදු සමුදීමකින් තොරව ය. වෛරසයෙන් සිදුවන මරණයේ භීතිකාව අපේ රටට වඩාත්ම දැනෙන්ට පටන්ගෙන ඇත. මෙහි ඇති භයානක බව තීව්‍ර වන්නේ මේ සඳහා කිසිදු ඖෂධයක් මේ වන විටත් සොයාගෙන නැති නිසයි. නමුත් මේ වන විට සිරුරේ ප්‍රතිශක්තිය යම් දුරකට දියුණු කරන එන්නත් නිපදවා ඇත.

එම එන්නත් මඟින් වෛරසය ආසාදනය වීම යම් දුරකට අඩු කරන අතර වෛරසය ආසාදනය වුවද එය අසාධ්‍ය වී මරණය ළඟා වීම අවම මට්ටමකට ගෙන එයි. මේ නිසා දැනට වෛරසයෙන් මරණයට පත් වීම වැළැක්වීමට ඇති එකම හා සුදුසුම දෙය ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන ඇත්තේ එන්නත්කරණයයි.

කෝවිඩ් තුන්වැනි රැල්ලෙන් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ඉන් වැඩි පිරිසක් වයස 60ට වැඩි අයයි. රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසි පිරිසයි. අප වෙනුවෙන්, රට වෙනුවෙන් තම ජීවිත කැපකර මේ වන විට ජීවිතයේ සැඳෑ සමය ගත කරන පිරිසයි. ේ අපේ මව්පියන්, ගුරුවරුන්, ඥාති වැඩිහිටියන්, අසල්වැසි වැඩිහිටියන් ය. මේ හැම දෙනාම කුමනාකාරයකින් හෝ අපගේ ජීවිත සාර්ථක කරගැනීම උදෙසා උරදුන් පිරිසයි. වදනකින් හෝ අපට හරි මඟ කියා දුන් අයයි. මේ අවස්ථාවේ දී ඔවුන් කෝවිඩ් මාරයාගෙන් ගළවා ගැනීමට කටයුතු කිරීම අපගේ යුතුකමකි.

මහලු විය යනු නැවත ළමා අවධියට යාමක් වැනි ය. කොතරම් දැන උගත් වැඩිහිටියකු වුවත් වයස් ගත වීමත් සමඟ නොයෙකුත් ශාරීරික අපහසුතා නිසා මෙන්ම මනසින් ද ළමයකු මෙන් වේ. මෙය කාහටත් උරුම සොබා දහමේ රීතියයි.

කුඩා දරුවකුව සිටි ඔබට මෑණියන්ගේ අත, නොවැටී ඇවිදීමට රුකුලක් විය. දැන් ඇයට වාරුව ඔබගේ දෑතයි. එවන් විටෙක ඔබේ ශාරීරික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම ද වැදගත් ය. විශේෂයෙන් ම මේ වසංගතයෙන් ගැළවීමට නම් එය අපගේ වැඩිහිටියන් අසලට නොඒමට නම් අපි දැඩි සේ පරෙස්සම් විය යුතුය.

60ට වැඩි වයස් කාණ්ඩයේ සිටින ඇතැම් වැඩිහිටියන් මේ රෝගය පිළිබඳ නිසි සේ දැනුම්වත් නොවී තිබිය හැකිය. එමනිසා මෙය තවත් එක් රෝගයක් පමණකැයි ඔවුහු සිතති. බොහෝ වැඩිහිටියන් ලෙඩක් දුකක් හැදුණද අත්බෙහෙතක් මඟින් එය සුවකර ගැනීමට හැකියැයි සිතා වෛද්‍යවරයකු වෙත යාම ප්‍රතික්ෂේප කරයි. හරියට ම අප කුඩා කාලයේ බෙහෙත් ගන්නට යාමට අකැමැති වූ ලෙසින් ම.. ඒත් මව්පියන් කෙසේ හෝ රවටා අප වෛද්‍යවරයකු වෙත ගෙනගොස් රෝගයට අවශ්‍ය බේත් හේත් ලබා දුන්නා ඔබට මතක ඇති. ඔබේ මව, පියා, නිවෙසේ සිටින වැඩිහිටියා කුඩා දරුවකු ලෙස සිතන්න. ඔවුන් මේ එන්නත ලබා ගැනීමට අකැමැත්ත පළ කළ හැකිය. ඒ ඇතැම් විට ඔවුන්ගේ නොදැනුවත්කම විය හැකිය. එසේ නම් අප කුඩා කාලයේ අපට ලෝකය ගැන ඔවුන් කරුණු කියා දුන් ආකාරයට ඔවුනට මේ රෝගය හා ලෝකයේ පවතින තත්ත්වයත්, අපේ රටේ දැන් පවතින භයානක තත්ත්වයත්, එයට මේ වන විට ඇති එකම විසඳුම මේ එන්නත බවත් කරුණු වටහා දෙන්න. එසේ කිරීමෙන් ඔවුන් එන්නත් කිරීමට කැමැති කරවා ගන්න. තවත් වැඩිහිටියන් පිරිසක් දවස තිස්සේම රූපවාහිනියේ, ගුවන්විදුලියේ බණ අසමින් බණ පොත් බලමින් කාලය ගෙවයි. මේ රෝගය ගැන හා ඉන් මිය යාම ගැන ඔවුන් දක්වන්නේ, ‘‘පෙර පිං පව් අනුව තමයි හැමදේම වෙන්නේ.. ඒ නිසා ඉන්ජෙක්සන් ඕනෙ නෑ..‘‘. ලෙසයි. එවැනි විටෙක වසංගතවලට පිං පව් බල නොපාන බවත්, එය බුදුන් වහන්සේ පවා දේශනාකර ඇති බවත් ඔවුන්ට වටහා දෙන්න. එමෙන්ම මේ වයිරසයෙන් තමා ආරක්ෂා වීමට පියවර නොගැනීම තවත් අය අනතුරේ හෙළීමක් බැවින් එය ඇතැම් විට තමා කරගන්නා අකුසලයක් විය හැකි බව පවසා ඔවුගේ කැමැත්ත මත එන්නත ලබා දීමට යොමු කරන්න.

තවත් වැඩිහිටියන් පවසන්නේ, ‘‘කවදා හිටියත් මැරෙන එකනේ.. අද මැරුණත් එකයි හෙට මැරුණත් එකයි..‘‘යනුවෙනි. මෙසේ පවසන වැඩිහිටියන්ට මේ මරණය ඔවුන් හිතන තරම් පහසු මරණයක් නොවන බව පහදා දෙන්න. නිවෙසින් රැගෙන ගිය පසුව පවුලේ අය දකින්නට නොලැබෙන බවත්, හුස්ම ගැනීමට නොහැකිව අධික ලෙස වේදනාකාරීව මරණයට මුහුණ දීමට සිදු වන බවත් පවසන්න. දරුවන්, පවුලේ අය සමඟ තවත් කාලයක් ජීවත් වී ස්වභාවික මරණයක් ලබා ගත හැකි බවත් ඔවුනට වටහා දෙන්න.

කුඩා දරුවන් ලෙසින් ම ඇතැම් වැඩිහිටියන් මුරණ්ඩු විය හැකිය. එවිට ඔවුනට මේ තත්ත්වයන් වටහා දීමට හොඳ ඉවසීමක් ඇතිව ඔබ කටයුතු කිරීමට මතක තබා ගන්න. ඒ මුරණ්ඩු බව පාලනය කළ යුත්තේ ආදරයෙනි. ඔවුන්ගේ සිත තුළ ඔබ හා පවුලේ අනෙක් අය පිළිබඳ ඇති ආදරය මේ අවස්ථාවේ දී ප්‍රයෝජනයට ගැනීමට තරම් ඔබ උපක්‍රමශීලී විය යුතුය.

රටේ මෙතරම් ආර්ථික අපහසුතාවක් තිබිය දීත් රජයෙන් එන්නත් ගෙන්වා ජනතාවට ලබා දෙන්නේ එය වඩාත් වැදගත් නිසා බවත්, මේ අවස්ථාවේ රජයට අපට දිය හැකි සහයෝගය වන්නේ එන්නත ලබා ගැනීම බවත් ඔවුනට පවසන්න.

සෞඛ්‍ය අංශයේ අය, ආරක්ෂක අංශවල අය මේ දිනවල දී විඳින දුක වැඩිහිටියන්ට පෙන්වා දෙන්න. තමාගේ දරු පවුල් පවා අමතක කරමින් මේ මොහොතේ ඔවුන් ඉතාමත් අපහසු ආරක්ෂක ඇඳුම් දවස තිස්සේ ම දවටාගෙන විඳින දුක ගැන පවසන්න.

ඔවුන්ට සහනයක් ලබා දිය හැකි වන්නේ අපි මේ රෝගයෙන් පරෙස්සම් වීමෙන් බව පහදා දෙන්න. ඒ සඳහා එන්නත ලබාගෙන රෝගයෙන් ප්‍රවේසම් විය යුතු බව කියන්න.

වයසට යාමේ දී බොහෝ වැඩිහිටියන් ඩිමෙන්ෂියා රෝගයෙන් පීඩා විඳියි. එමනිසා ඔවුන්ට මේ දේවල් රූපවාහිනියෙන් දුටුවත් අමතක විය හැකිය. ඔවුන් දැන උගත් අය වුවත් මේ වන විට මතකය අඩුවීම නිසා මේ පිළිබඳ නිසි නිගමනවලට එලඹීමට නොහැකි වේ. ඔබට කොතෙක් වැඩ රාජකාරි තිබුණත් වැඩිහිටියන් වෙනුවෙන් යම් කාලයක් මිඩංගුකොට ඔවුන්ට වෛරසය හා මේ වසංගත තත්ත්වයේ බරපතල බවත්, ඉන් යම් තරමකට හෝ ආරක්ෂා වීමට නම් එන්නත ලබා ගත යුතු බවත් පහදා දෙන්න.

එපමණකින් නොනැවතී ඔබ පවුලේ සිටින වැඩිහිටියන් එන්නත්කරණය සඳහා කැඳවාගෙන යන්න. මන්ද ඔවුනට තමා පිළිබඳ ම වුවද කරුණු අමතක විය හැකිය. නොදැනුවත්කමින් අනාරක්ෂිත ලෙස එන්නත් ලබා දෙන ස්ථානයේ දී හැසිරිය හැකිය. තමාට යම් අපහසුතාවන්, රෝගාබාධ ඇතිබව මෙන්ම අසාත්මිකතා ඇත්නම් ඒ පිළිබඳ අමතක විය හැකිය. එබැවින් වැඩිහිටියන් තනිව හෝ වැඩිහිටියන් කිහිපදෙනෙක් එම ස්ථානයට යවනවාට වඩා ඔබ විසින් ම ඔවුන් කැඳවාගෙන යාම වඩාත් සුදුසු ය. මෙය මේ අවස්ථාවේ දී රටේ පුරවැසියන් ලෙස අප විසින් සිදු කළ යුතු යුතුකමක් හා වගකීමක් වන්නේ ය. එය ඔබේ සිතේ ධාරණය කරගෙන ඒ ගැන ඔබේ වැඩිහිටියන්ට ද අවබෝධ කරදෙන්න. සියල්ලට ම වඩා වැදගත් වන්නේ ඔවුනගේ සිත නොරිදෙන හා අනවශ්‍ය බියක් ඇති නොවන ආකාරයෙන් යථාර්ථය වටහා දීමයි. වැඩිහිටි විය යනු පසු ළමා අවධියක් බව සිතා ඔවුන්ව ආදරයෙන් රැකබලා ගත යුතුය. අප මේ විඳින්නේ ඔවුන් ද එලෙසින් ආදරයෙන් අපවෙත ලබා දුන් ජීවිතයයි.