තරුණ පිරිස එන්නත නොගන්නා හේතුව නීඩ්ල් ෆෝබියා ද?

ඔක්තෝබර් 6, 2021

 

ගෝලීය වසංගතයක් බවට පත් වූ කෝවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා හඳුන්වාදුන් එන්නත් මේ වනවිට ලෝකයේ රටවල් රැසක සාර්ථක අයුරින් ජනතාව වෙත ලබා දෙමින් සිටියි. මේ ඕනෑම එන්නතක් මඟින් ශරීරයට මනා ප්‍රතිශක්තියක් ලැබෙන බැවින් කෝවිඩ් වෛරසයට නොබියව මුහුණ දීමේ අවස්ථාව සැලසෙනවා..

එසේ වුවත් විවිධ දුර්මත නිසාත් එන්නත් පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත වීම නිසාත් තවමත් එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින පිරිසක් සිටිනවා. එමෙන්ම නීඩ්ල් ෆෝබියා නමැති එන්නත් කටුවට ඇති බිය නිසාත් ඇතැමුත් එන්නත ලබා ගැනීමට බියකින් පසුවෙනවා.

 

මොකක් ද මේ ඉදිකටු භීතිකාව.

 

භීතිකාවක් කියා හඳුන්වන්නේ යම් වස්තුවක් හෝ තත්ත්වයක් පිළිබඳව අහේතුකව අතිශයින් බිය වීමකි. භීතිකාව කොටස් දෙකකි. එනම් සරළ භීතිකාව සහ විශේෂිත භීතිකාවයි. Trypanophia හෙවත් Needle phobia එහෙමත් නැතිනම් ඉදිකටු භීතිකාව කියන්නේ සරළ භීතිකා කාණ්ඩයට අයත් මානසික තත්තවයක්.

සරළ භීතිකාව නිරතුරුව කේන්ද්‍ර වන්නේ එක් විශේෂිත සාධකයක් වෙතයි. ඒ විශේෂිත වස්තුවක්, පුද්ගලයෙක්, සත්ත්වයෙක් හෝ සිඳුවීමක් විය හැකියි. කැරපොත්තන්ට, උස් ස්ථානවලට, ජලයට, අඳුරු ස්ථානවලට බිය වීමට මේ යටතට අයත් වෙනවා.

කොරෝනා එන්නත්කරණය පිළිබඳ පුවත් මාධ්‍ය සහ සමාජ මාධ්‍යන්හි වාර්තා කිරීමේදී එන්නත ලබා ගන්නා පුද්ගලයන් අසාමාන්‍ය ලෙස බෙරිහන් දෙන එහෙමත් නැත්නම් ක්ලාන්ත වී ඇද වැටෙන, තවත් සමහරුන් එන්නත ලබා දෙන වෛද්‍යවරුන්ට පහර දෙන පුවත් ඔබත් දැක ඇති. එවැනි සිදුවීම් හාස්‍යට ගෙන ඔබත් සිනා සෙන්නට ඇති. නමුත් ඔබ දන්නවාද එවැනි සිදුවීම් පිටුපස මෙවැනි සරළ භීතිකා කාණ්ඩයට අයත් මානසික රෝග තත්ත්ව පැවතිය හැකි බව. මෙම භීතිකාව බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ ළමුන් තුළයි. වයසින් වැඩෙත්ම මෙම ඉදිකටු භීතිකාව අඩුවෙන බවක් දකිනට ලැබුනත් සමහර පුද්ගලයන්ට වැඩිහිටි වියේදී ද මෙම භීතිකාව අතිශයින් කරදරකාරී වන අවස්ථා අපට හඳුනාගන්න පුළුවන්.

 

රෝග ලක්ෂණ මොනවා ද?

 

එහි ප්‍රධානතම රෝග ලක්ෂණය එන්නත් කිරීමට ඇති අධික බියයි. එහිදී එන්නත්කරණයට භාජනය වීමට පෙර අධික රුධිර පීඩනය සහ හෘද ස්පන්ධදනය ඉහළ යා හැකියි. ඇතැම් විට රුධිර පීඩනයේ වේගය පහත වැටී ක්ලාන්ත තත්ත්වයන් ද ඇති වීමට ඉඩ තිබේ.

එන්නතේ කවරය ගලවන විටම ක්ලාන්ත වීම, එන්නත්කරණයට අසුන්ගෙන සිටින විට විලාප නැගීම, එන්නතක් විඳින් වීඩියෝවක් හෝ ඡායාරූපයක් බැලීමට පවා අපහසු වීම ඉදිකටු භීතිකාවේ මූලික රෝග ලක්ෂණයි. ඊට අමතරව කාංසාව, කරකැවිල්ල, නින්ද නොයෑම, ඔක්කාරය, වේගවත් හෘද ස්පන්දන සහ අදිකව දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණ පැවතිය හැකියි.

 

ඉදිකටු භීතිකාව ඇති වීමට හේතු සහ එහි බලපෑම

 

ඉදිකටු භීතිකාව ඇති වීමට හේතු නිශ්චිතව කිව නොහැකි අතර බොහෝ සාධක ගණනාවක් ඊට හේතු විය හැකියි. ඒ අතරින් එන්නත්කරණ අවස්ථාවකදී ඇති සෘණාත්මක අත්දැකීම් බහුල වශයෙන් හේතු වේ. එය පෞද්ගලිකව අත්විදපු දෙයක් විය හැකියි. එනම් කුඩා කාලයේ යම් එන්නතක් ලබා ගැනීමේදී මුහුණ දෙනු ලැබූ වේදනාකාරී අත්දැකීමක් හේතුවෙන් එම මතකයන් තුළින් ඇතිවන භීතිකා තත්ත්වයක් විය හැකියි. සමාජ ජාලා සහ මාධ්‍ය මඟින්, එන්නත් ලබා ගන්නන් යටි ගිරියෙන් කෑ ගසන විඩියෝ ප්‍රචාරය කිරීමත් එයට හේතුවකි. එමෙන්ම ජාන සහ පවුලේ ඉතිහාසය ද මෙම මානසික තත්ත්වය ඇති වීම සඳහා බලපානු ලබයි. එයට හේතුව වන්නේ මෙම භීතිකාවෙන් පෙළෙන බොහෝ දරුවන්ගේ මව හෝ පියා මෙම  භීතිකාවෙන් පීඩා විඳ ඇති බවයි.

 ඉදිකටු භීතිකාවෙන් ඇති වන ශාරීරික රෝග ලක්ෂණ හැරුණු විට හැසිරීම් වෙනස් කරන මානසික තත්ත්වයන් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් වැළකී සිටීම හේතුවෙන් බරපතල ගැටලු රැසක් උද්ගත විය හැකියි. විශේෂයෙන්ම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට ඇති සුදුසුම විකල්පය එන්නත්කරණයයි. මෙවැනි වසංගත සමයක පිරිසක් එන්නත්කරණය ප්‍රතික්ෂේප කිරීම ගැටලු රැසකට හේතුවකි.

 

නීඩ්ල් ෆෝබියා රෝගියකු කෝවිඩ් එන්නතට මුහුණ දෙන්නේ කොහොම ද?

 

හැකිතරම් උදෑසනින් එන්නත් මධ්‍යස්ථානයට ගොස් එන්නත ලබා ගැනීමෙන්, දවස පුරාම ඒ ගැන කල්පනා කිරීමෙන් වැළකී සිටිය හැකියි. එන්නත්කරණයට පහසු ආකාරයේ සැහැල්ලු අත්කොට ඇඳුමක් ඇදගෙන යෑම එන්නත්කරණයට පහසුවකි.

එන්නත ලබා ගන්න අතරතුර අවධානය වෙනතකට යොමු කරන්න. ළඟ සිටින මිතුරකු සමඟ කතා බහ කිරීම වැනි දෙයක් ඒ සඳහා කළ හැකියි.

 

නීඩ්ල් ෆෝබියා තත්ත්වය සුවකර ගනීමට මනෝ චිකිත්සාත්මක ක්‍රම පවතී. නමුත් භීතිකාව හේතුවෙන් ඇතිවන කාංසාමය තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා අතැම්විට ඖෂද ප්‍රතිකර සඳහා ද යොමු වීමට  සිඳු වේ. Exposure Therapy නිරාවරණ චිකිත්සාත්මක ක්‍රමවේදය මෙවැනි භීතිකා තත්ත්වයන් සුව කිරීම සඳහා යොදා ගනු ලබනවා. ඉදිකටු හෝ එන්නත්කරණය හා සබැඳි සඳහා ක්‍රම ක්‍රමයෙන් නිරාවරණය කිරීම මෙහිඳී සිදු වේ. එහිදි චිකිත්සකයා විසින් මුලින්ම ඉදිකටුවක හෝ එන්නත් සිරින්ජරයක ඡායාරූපයක් පෙන්වීම, එන්නත්කරණය පිළිබඳ සිදුවීම මෙනෙහි කිරීමට සැලැස්වීම ආදී ක්‍රම මඟින් ඉදිකටු හෝ එන්නත්කරණය ආශ්‍රිත ක්‍රියවලට නිරාවරණය කිරීම මෙහිදී සිදු වේ. ප්‍රජානන චර්යා චිකිත්සාව ද needle phobia සඳහා යොදාගනු ලබන ඵලදායි චිකිත්සක ක්‍රමවේදයකි.

 

කෝවිඩ් එන්නත ලබා නොගැනීමේ දුර්මත

 

කෝවිඩ් එන්නත ලබා ගැනීමෙන් ලිංගික අප්‍රාණිකත්වය සහ දරුඵල අහිමි වීම වැනි අසත්‍ය තොරතුරු සමාජගත වීම නිසා තරුණ පිරිස් එන්නත ගැනීමට මැලිකක් දක්වනවා. තවත් පිරිසක් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැබීමට බිය වන්නේ දෙවැනි මාත්‍රා නොලැබෙයි කියා බියක් දක්වබ නිසා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි එහි කිසිඳු සත්‍යතාවක් නොමැත.

 

Covid 19 ප්‍රතිශක්තිකරන එන්නත ලබා ගැනීම සුදුසුයද යන්න දරු ඵල අපේක්ෂාවෙන් සිටින් කාන්තාවන් බොහෝදෙනෙක් මේ දිනවල අසන ගැටළුවක්. දැනට භාවිතය සඳහා නිර්දේශිත එන්නත් වර්ග කිහිපයක්ම තිබෙන අතර ඉන් කිසිවක් මේලිපිය ලියන අවස්තාව වෙන තෙක් ගර්භණී මවුවරු යොදා ගෙන සායනික පරීක්ෂණ සිදු කර නැහැ. නමුත් සමහර රටවල දැනටමත් කොරෝනා වෛරසය ආසාදනය වීමට අධි අවදානමක් ඇති ගර්භණී මව්වරුන් 90000කට අධික පිරිසකට මෙම එන්නත් ලබා දී ඇති අතර එන්නත් වල ආරක්ෂිත බව එමගින් තහවුරු වී තිබෙනව. 

දරු ඵල අපේක්ෂාවෙන් සිටින බොහෝ කාන්තාවන් මෙම එන්නට ලබා ගැනීමට පෙර අපෙන් විමසන්නෙ ඉදිරියේදී ගැබ් ගැනීමක් ඇති වුව හොත් එන්නත මගින් එයට කිසියම් බලපෑමක් ඇතිවිය හැකිද යන ගැටළුවයි. මෙම එන්නත නිසා ගබ්සා වීමක් හෝ කලලයට හානි වීමක් සිදු වෙන බවට කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා දරු ඵල අපේක්ෂාවෙන් සිටින ඔබට කිසිම ගැටළුවකින් තොර මෙම එන්නත ලබා ගන්න පුළුවන්. ඒ වගේම එන්නත ලබා ගන්නා අවස්තාව වන විටත් ඔබ නොදැනුවත්ව ගැබ් ගෙන සිටි අවස්තාවක වුවත් එන්නත නිසා කලලයට හානියක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඔබේ කෝවිඩ් එන්නත නොපමාව ලබා ගන්න.

 

මනෝ උපදේශිකා

සහතිකලත් පුහුණුකරු

මදාරා ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.