කෝවිඩ් සමග කළු දිලීරයටත් වඩා භයානක තවත් දිලීර දෙකක්

ඔක්තෝබර් 6, 2021

 

ඇස්පර්ගිලස් දිලීරය අපට පරිසරයෙන් ඉවත් කළ නො හැක්කක්. දිරායන කොළ, කොම්පෝස්ට්, ශාක සමඟ මේවා ජීවත් වීම ඊට හේතුවයි.

රෝහල්ගත කරන ලද කෝවිඩ් රෝගීන් අතර කැන්ඩිඩිමියා රෝග තත්ත්වය ද දකින්න ලැබෙනවා. කැන්ඩිඩා දිලීරය වෙනත් දිලීරවලට වඩා අපට හුරු පුරුදුයි. එය සමේ , ශ්ලේෂ්මලවල දක්නට ලැබෙන දිලීරයක්. මේ දිලීරය වර්ධනය වීම ස්ටීරොයිඩ් ඔසු ගැනීම, ප්‍රතිජීවක ගැනීම, දුර්වල ප්‍රතිශක්තියක් තිබීම නිසා වේගවත් වෙනවා. රෝග ලකුණුවලින් හඳුනා ගැනීම අසීරු වුවත් උණ, සීතල වැනි ලක්ෂණ කැන්ඩිඩා ආසාදනය හා සම්බන්ධයි.

 

කළු දිලීරය ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර යද්දී දිලීරයක් මෙතරම් භයානකද කියා වැඩි දෙනකුට වැටහීමක් තිබුණේ නැහැ. භයානක දිලීර රෝග ද අපේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව කෝවිඩ් -19 අපට පෙන්වා දෙනවා. ඒ සමඟම තවත් පාඩමක් කියා දී තිබෙනවා.

ඒ හිතුමතයේ ඔසු නො ගත යුතු බවයි. මේ අසුබ ආරංචිය කෝවිඩ් රෝගීන් ට හිතුමතයේ ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඔසු ගැනීම නිසා හා වෙනත් හේතු නිසා ඇති විය හැකි රෝග තත්ත්වයන් දෙකක්. ඒ ඇස්පගිලෝසිස් සහ කැන්ඩිඩියාසිස්. දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගීන් අතර මෙන්ම කෝවිඩ් සුවවූ රෝගීන් අතර මේ රෝග තත්ත්ව දෙක දක්නට ලැබී තිබෙනවා.

ඇස්පර්ගිලෝසිස් දිලීර ආසාදනය ස්වසන පද්ධතිය හා පෙණහලු කරා පැතිරෙනවා. අඩු ප්‍රතිශක්තියක් තිබීමත් අධික ස්ටීරොයිඩ් ඔසු ප්‍රමාණයක් භාවිත කිරීමත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් අතර රෝගය පැතිරීමට ප්‍රධාන හේතු වී තිබෙනවා.

ස්ටීරොයිඩ් ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ට ඉතා අඩු මාත්‍රාවෙන් දෙනු ලබන්නක්. ඒ වාගේම කෝවිඩ් වැලඳී දෙවැනි සතියේදී ස්ටීරොයිඩ් දීම වෛද්‍යවරයා විසින් අරඹනවා. සාමාන්‍යයෙන් ස්ටීරොයිඩ් ඔසු දින 7 - 10 ලබා දෙනවා.

ස්ටීරොයිඩ් ඔසු හිතුමතයේ ඕනෑම කෙනකුට ඖෂධ ශාලාවලින් ගත හැකි නිසා කෝවිඩ්වලට ඇති බියට සමහරු අදටත් හිතුමතයේ මේ ඔසු මිලදී ගන්නවා. ඉන් කෝවිඩ්වලටත් වඩා භයානක රෝගයක් වැලඳිය හැකි බව දන්නේ නැහැ. Dexamethasone, and Methylprednisolone වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඔසු ලබා දෙන්නේ කෝවිඩ් නිසා ඇතිවූ ප්‍රදාහයන් සුව නො වන විට පමණි. එහෙත් සුළු රෝග ලකුණු ඇති අයත් කෝවිඩ් ආසාදිත එහෙත් රෝග ලකුණු පෙන්නුම් නො කරන රෝගීන් පවා මේ ඔසු ලබා ගන්නවා.

ස්ටීරොයිඩ් ඔසු මෙතරම් භයානක ඇයි ? එයින් ප්‍රතිශක්තියට ඇතිවන අහිතකර බලපෑම නිසා දිලීර ආසාදනවලට ඇති ඉඩකඩ වැඩි කරනවා. කලට වේලාවට ඇස්පර්ගිලෝසිස් වැනි දිලීර රෝගයකට ප්‍රතිකාර නො ලැබුණොත් ප්‍රතිඵල මාරාන්තිකයි. රෝගය මොළයට පවා බලපානවා.

මොකක්ද මේ ඇස්පර්ගිලෝසිස් දිලීර රෝගය ( aspergillosis)කියන්නේ ?

ඇසපර්ගිස් නම් දිලීරය ස්වසන පද්ධතියට බලපාන අතර රෝග ලකුණු හා බරපතළ වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මේ දිලීරය අපේ නිවෙස තුළ මෙන්ම බාහිර පරිසරයේත් ස්වභාවයෙන්ම පවතින්නක්. මේ වර්ගයේ බොහෝ දිලීර කාණ්ඩ අපට හානියක් කරන්නේ නැහැ. ඒත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුබල වුණා ම බරපතළ ලෙස මාරාන්තික ලෙස අපව රෝගී කරන්න පුළුවන්. නිදන්ගත පෙණහලු රෝගයක් ඇත්නම් එවිට ද දිලීරයෙන් බලපෑම් ඇති වන්න පුළුවන්. දිලීරය අප හුස්ම ගැනීමේදී ඇතුළු වෙනවා.

ඇස්පර්ගිලස් වර්ගය අනුව කරන ප්‍රතිකාරය වෙනස් වෙනවා. ඖෂධවලට අමතරව ඉතා කලාතුරකින් සමහඑ රෝගීන්ට සැත්කම් පවා කිරීමට සිදු වෙනවා.

සිරුරට ඇතුළු වන ඇස්පර්ගිලස් කාණ්ඩය අනුව රෝග ලකුණු වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් උණ, රුධිරය හෝ සෙම සමඟ කැස්ස, ඇදුම උත්සන්න වීම වැනි ලකුණු මෙවිට ඇති වෙනවා. එම්ෆිසිමා, ක්ෂය රෝගය වැනි ස්වසන රෝග ඇති අයට පෙණහලුවල කුහර සෑදෙන අතර පහසුවෙන් ඇස්පර්ගිලස් දිලීරය ආසාදනය වෙයි. එවිට පෙණහලුවල දිලීර තන්තු දැකිය හැකිය. ඒවා දිලීර බෝල සාදයි. මේ තත්ත්වය ඇස්පර්ගිලෝමාස් ලෙස හඳුන්වයි. ඇස්පර්ගිලෝමාස්වලදි මුලින්ම කිසිදු රෝග ලකුණක් ඇති නො විය හැකියි. එහෙමත් නැත්නම් සුළු කැස්සක් හටගත හැකියි. ඒත් ප්‍රතිකාර නො ගෙන තත්ත්වය දිගින් දිගට ම පවතින විට දැනට පවතින ස්වසන රෝග තත්ත්වය උග්‍ර වෙනවා.

එවිට කැස්සත් සමඟ රුධිරය පිටවීම, හතිය, හුස්ම ගැනීමේ අපහසුතාව, අහේතුකව බර අඩු වීම, වෙහෙස ඇතිවිය හැකියි.

දරුණුම ඇස්පර්ගිලෝසිස් තත්ත්වය

(කොළ දිලීර තත්ත්වය )දිලීරයේ වඩාත් දරුණු ස්වභාවයයි. එහිදී දිලීරය වේගයෙන් දරුණු ලෙස පෙණහලු, මොළය, හදවත, වකුගඩු, හෝ සම දක්වාම දිලීරය වර්ධනය වෙනවා. ඇස්පර්ගිලෝසිස් වර්ධනය වන්නේ ප්‍රතිශක්තිය දුර්වල අයටයි. පිළිකාවලට කිමෝතෙරපි ප්‍රතිකාර ගන්නා අය, ඇට මිදුළු බද්ධ කළ අය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝග පවතින අයට රෝගය මාරාන්තික වෙනවා.

දරුණු ලෙස රෝගය ආසාදනය වූ විට,

උණ, සිරුර වෙව්ලීම, රුධිරය සහිත කැස්ස, හුස්ම ගැනීමේ අසීරුතාව, පපුවේ හෝ සන්ධි වේදනාව, හිසරදය හෝ ඇස්වල ගැටලු, සමේ තුවාල හටගත හැකියි. දිලීරය නාස් කුටීර ආක්‍රමණය කළ විට නාසයෙන් දිගටම සොටු දියර ගලනවා. ඇතැම් විට සොටු දියර සමඟ රුධිරය ගලනවා. එවිට උණ, මුහුණේ වේදනාව, හිසරදය වැනි රෝග ලකුණු හටගන්නවා. වාසනාවකට මෙය කෙනකුගෙන් කෙනකුට බෝ වන රෝගයක් නම් නොවෙයි. මුහුණු ආවරණයක් පැලඳීම වාතයෙන් දිලීරය ආසාදනය වීම වළක්වාගත හැකි එක් ක්‍රමයක්.

 

උපදෙස් -

ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය

අමිත ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.