ආත්‍රයිටිස් රෝගීන්ට කොරෝනා සෑදීමට ඇති ඉඩකඩ වැඩියි

සෑම සන්ධි වේදනාවක්ම ආත්‍රයිටිස් රෝගය නිසා නොවේ.
නොවැම්බර් 9, 2021

 

ලෝක ආත්‍රයිටිස් දිනය ඔක්තෝබර් 12 වැනි දිනට යෙදී තිබුණි.

 

රෝග ගණනාවකට හේතුවන රෝග ලොව කෙතරම් නම් තිබෙනවාද? දියවැඩියාව රෝග රැසක මව් රෝගයයි. බොහෝවිට ආත්‍රයිටිස් රෝගීන් මිය යන්නේ ආත්‍රයිටිස්වලට ගන්නා සමහර ඖෂධ නිසා ඇතිවන වෙනත් රෝගයක් හේතුවෙනි. ආත්‍රයිටිස් කියන්නේ ෆුල් ඔප්ෂන් රෝග නාමාවලියේ එක් රෝගයකි. වසරින් වසර ලොව ආත්‍රයිටිස් රෝගීන් ගේ ගණන වැඩිවෙමින් පවතියි.

මේ වන විට මිලියන 350 කට වඩා වැඩි ජනගහනයක් ආත්‍රයිටිස් රෝගයෙන් වේදනා විඳිති. රෝගයක් සුලබ වන තරමට ඒ හා බැඳි මිථ්‍යා මත ද ඉහළ යයි. ආත්‍රයිටිස් සම්බන්ධව ගෙතුණු මිථ්‍යා මත මේ වන විට රෝගීන් ගේ ගණන මෙන් ඉහළ ගොස් ඇත. එවැනි මත රෝගයට සහනයකට වඩා ලබා දෙන්නේ රෝගය උත්සන්න කිරීමකි. එනිසා වැරැදි මත නිවැරැදිකර ගැනීම වැදගත්ය.

 

මිථ්‍යා මතය

ආත්‍රයිටිස් වැලඳෙන්නේ වයස්ගත වැඩිහිටියන්ටය.

වැඩිහිටියන් අතර රෝග තත්ත්වය සුලබ වුවත් මෙය ඕනෑම වයසක අයකුට වැලඳිය හැකි රෝගයකි. තමන්ගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය සන්ධිවලට පහර දීමෙන් ඇතිවන රුමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වය වයස අවුරුදු 20ක පමණ හෝ ඊට වැඩි පුද්ගලයන් අතර පවා දැකිය හැකියි.

 

මිථ්‍යා මතය

ආත්‍රයිටිස් රෝගීන් ව්‍යායාම නො කළ යුතුය.

අපේ සන්ධි සවිමත් වීමට, විවිධාකාරයෙන් ක්‍රියාකරවීමට ව්‍යායාම උපකාරී වෙයි. ව්‍යායාම කරන ආත්‍රයිටිස් රෝගීන්ට සන්ධි වේදනාව දැනෙන්නේ අඩුවෙන් බව සොයාගෙන තිබෙයි. එදිනෙදා වැඩරාජකාරි පහසුවෙන් කරගෙන යාමට හැකියාව ලැබෙයි. එපමණක් නො මේ අයට සුවදායක නින්දක් ද ලබාගත හැකිය. ආත්‍රයිටිස් රෝගීන්ට ව්‍යායාම කිරීම ඉතා වැදගත් වන නමුත් ව්‍යායාම කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය.

 

මිථ්‍යා මතය

සන්ධි වේදනාවක් ඇත්නම් ඔබ පීඩා විඳින්නේ ආතරයිටිස් රෝගයෙනි.

සෑම සන්ධි වේදනාවක්ම සෑම සන්ධි අපහසුතාවක් ම කියාපාන්නේ ආත්‍රයිටිස් රෝගය ඇති බව නො වෙයි. අනතුරු වැනි විවිධ හේතු නිසා සන්ධි වේදනාකාරී විය හැකිය.

මිථ්‍යා මතය

ආත්‍රයිටිස් වළක්වාගත හැකි රෝගයකි.

මෙය දියවැඩියාව මෙන් වළක්වා ගැනීමට පහසු රෝගයක් නො වෙයි. එහෙත් ව්‍යායාම මඟින් රෝගය අවමකර ගැනීමට පුළුවන.

 

මිථ්‍යා මතය

සන්ධි වේදනාවට අයිස්වලට වඩා තාපමය ප්‍රතිකාර සුදුසුයි.

අයිස් වලින් තැවීම සහ තාපමය ප්‍රතිකර්ම (උණු වතුරෙන් තැවීම ) දෙකම සන්ධිවලට සහනයක් ලබා දෙයි. ව්‍යයාම කිරීමට පෙර තාපමය ප්‍රතිකර්ම කිරීමෙන් සන්ධිවල වේදනාව, තද ගතිය අඩු කළ හැකිය. ඉදිමුණු ප්‍රදාහයට පත්වුණු සන්ධිවලට අයිස් මඟින් වැඩි සහනයක් ලද හැකිය.

 

මිථ්‍යා මතය

ආත්‍රයිටිස් වැලඳුණු පසු කළ හැකි කිසිවක් නැත.

නිට්ටාවට සුව කළ හැකි රෝගයක් නො වුණත් විවිධාකාරවූ ආත්‍රයිටිස් තත්ත්වයන්ට ඖෂධීය, භෞත චිකිත්සක ප්‍රතිකාර ඇති නිසා රෝගය වැඩි දියුණු වීම පාලනය කළ හැකිය. ඒ වාගේම ජීවන රටාව රෝගය වැඩි දියුණු නො වන ලෙස වෙනස්කර ගැනීමත් වැදගත්ය. සමබල ආහාර රටාව, සුව නින්ද, දුම්පානයෙන් වැළකීම, උසට සරිලන බරක් පවත්වා ගැනීම මඟින් රෝගය උත්සන්න වීම වළක්වා ගැනීමට පුළුවන.

 

මිථ්‍යා මතය

දේශගුණ වෙනස රෝගයට බලපායි.

මෙය නිතර ඇසෙන්නට ලැබෙන කරුණක් වුවත් එහි කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නො මැත.

 

මිථ්‍යා මතය

මගේ සන්ධිවලට ආහාර බලපාන්නේ නැත.

මේරිලන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථානය මඟින් කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ ඔමෙගා - 3 අඩංගු මේදය සැමන් වැනි මසුන් ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රදාහයන් ඇති වීම අවම වී සන්ධිවල නීරෝගිබව දිගු කාලීනව පවතින බවය. ඉඟුරු, කහ ආහාරයට එක් කර ගැනීමෙන් ද සිරුරේ ප්‍රදාහයන් අවම කර ගැනීමට පුළුවන. එහෙත් මේ කිසිවකින් රෝගය සුව වන්නේ නම් නැත.

උපදෙස් -

රක්තවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

හරිඳු විජේසිංහ