ඇන්ටිබයොටික් හිතුමතේට ගන්න එපා

දෙසැම්බර් 13, 2021

බැක්ටීරියාවලින් සෑදෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිජීවක යොදා ගන්නේ හතළිහේ දශකයේ සිටයි. ක්ෂය රෝගය, නියුමෝනියාව වැනි රෝගවලින් මරණයට පත් වීම අවම කිරීමට, සැත්කම්වලින් ඉක්මන් සුවය ලැබීමට ප්‍රතිජීවක නැතවම බැහැ.

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව ඇති වුණේ ප්‍රතිජීවකවලට බැක්ටීරියා විනාශ කිරීමට හැකියාවක් නැතිවූ විටයි. සමහර බැක්ටීරියා ස්වභාවයෙන් ම ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධීයි. එහෙත් බහුතරයක් බැක්ටීරියා ප්‍රතිරෝධී වන්නේ ප්‍රතිජීවකවලට එරෙහිව ජානමය ස්වභාවය වෙනස් කර ගෙනයි. කාලයත් සමඟ බැක්ටීරියාවලට විකෘතිතාවක් ඇතිකර ගත හැකියි.

Staphylococcus aureus මෙතිසිලින් වැනි බොහෝ ප්‍රතිජීවකවලට අසාත්මිකයි. නීරෝගි අය ගේ පවා සමේ හෝ නාසයේ මේ බැක්ටීරියාව ජීවත් වෙනවා. එහෙත් කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. ගැටලුවක් මතුවන්නේ තුවාලයකට බැක්ටීරියාව ඇතුළු වූ විටයි. මේවා ජීවිතයට තර්ජනයක් වන සුලබම ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා ( Methicillin-Resistant Staphylococcus Aureus / MRSA ) වර්ගයයි. MRSA ආසාදනය වූ විට සමේ රතු තඩිස්සිවීමක් ( නෙරපුමක් ) දැකිය හැකියි. පසුව මෙය සම තුළටම ඛාදනය වී වේදනාකාරී සැරව පිරුණු ඉදිමුමක් ඇති වෙනවා. මේවා සැත්කමකින් ඉවත් කිරීමට සිදු වෙනවා. ඇතැම්විට මෙය භයානක ලෙස, ජීවිතයට තර්ජනයක් වන අයුරින් අස්ථි , සන්ධි, හදවත, පෙණහලු ආක්‍රමණය කරනවා.තවත් ප්‍රතිජීවක ප්‍රතිරෝධී ඖෂධයක් වන ස්ට්‍රෙප්ටොකොකස් නියුමෝනියායි ( Streptococcus Pneumoniae )රෝග රැසකට හේතු වෙනවා. පෙණහලු ආසාදන, නියුමෝනියාව ඒ අතරින් ප්‍රධානයි. කන්, නළලේ කුහර ආසාදනය කිරීමට වගේම මෙනින්ජයිටිස්වලට ද Streptococcus Pneumoniae බැක්ටීරියාව හේතු වෙනවා. රුධිරයේ බැක්ටීරියා ආසාදනය වීමටත් මෙය බලපානවා. කහින විට, කිවිසින විට, ආසාදිත පුද්ගලයා සමඟ සමීප සබඳතාවක් පවතින විට Streptococcus Pneumoniae නීරෝගි කෙනකුට ආසාදනය වීමට පුළුවන්. ආසාදනය වන තැන අනුව රෝග ලකුණු වෙනස් වෙනවා. උණ, කැස්ස, හුස්ම ගැනීමේ අසීරුතාව, පපුවේ වේදනාව, බෙල්ලේ තද ගතිය, ව්‍යාකූලතාව, ආලෝකයට සංවේදී වීම, සන්ධි වේදනාව, කන් කැක්කුම වැනි විවිධ ලකුණු ඇති වෙනවා. ආසාදනය දරුණු ලෙස බලපෑ විට බිහිරි වීමේ, මොළයට හානි වීමේ වගේම මිය යාමේ අවදානම ද වැඩි වෙනවා.

කාබපෙනම් රෙසිස්ටන්ට් එන්ටරෝබැක්ටීරියේසී ( Carbapenem-Resistant Enterobacteriaceae ) තවත් ප්‍රතිරෝධී බැක්ටීරියාවක්. එන්ටරෝබැක්ටීරියේසී ආහාර මාර්ගයේ සහ පරිසරයේ පවතින බැක්ටීරියාවක්. කිසිදු රෝගයක් ඇති නො කර අන්ත්‍රවල ජීවත් වුවත් එන්ටරෝබැක්ටීරියේසීවලින් දූෂණයවූ ආහාර පාන ගැනීමෙන් ආහාර විසවීමක් ඇතිවන්න පුළුවන්. වමනය, ඩයරියා මෙහි ප්‍රධාන ලක්ෂණයි. බඩවැල්වලින් පිටත මුත්‍රා මාර්ගයට, රුධිර ධාරාවට, තුවාලවලට විසබීජය පැතිරුණොත් ප්‍රතිඵල භයානකයි. එන්ටරෝබැක්ටීරියේසී බැක්ටීරියා කාණ්ඩය මර්දනය කිරීමට කාබපෙනම් ඖෂධය යොදා ගත්ත ද ප්‍රතිරෝධී තාවක් ඇතිවන්න පුළුවන්. මේ විසබීජ රෝහලේදී කැතීටර, සුවසේවා කට්ටල මඟින් මෙන්ම සැත්කම් ක්‍රියාවලියකදී ද ශරීරගත වන්න පුළුවන්.

 

සටහන

චම්පිකා දීපානි රණසිංහ