නිවෙසේ ඔමික්‍රෝන් ආසාදිතයකු සිටිනවා නම් වඩාත් ආරක්ෂා වෙන්න.

දෙසැම්බර් 27, 2021

 

නිවෙසේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවකුට සිටියදී එක් මුහුණු ආවරණයක් පැලඳුවා නම් ඔමික්‍රෝන් ආසාදිත වුවහොත් මුහුණු ආවරණ දෙකක් පැලඳීමට සිදු වෙලා.

මෙසේ පැවසීමට සිදුවී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳුණු කෙනකු නිවෙසේ සිටිනවා නම් ඩෙල්ටා ප්‍රභේදය වැලඳුණු කෙනකුට වඩා රෝගය බෝවීමේ අවදානම තෙ ගුණයකින් වැඩි වෙන නිසයි.

ඔමික්‍රෝන් මෙතරම් වේගයෙන් බෝ වෙන්නේ ඇයි ?

හොංකොං සරසවියේ විද්‍යාඥයන් ගේ වාර්තාවන් ට අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය මිනිසා ගේ ස්වසන පද්ධතියට ඇතුළු වූ පසු ඩෙල්ටා ප්‍රභේදයට වඩා හැත්තෑ ගුණයක වේගයෙන් වර්ධනය වෙනවා. ආසාදනය වී පැය 48 කදී ඩෙල්ටා ට වඩා අධික ලෙස පටකවල වයිරසය දකින්න ලැබෙනවා. රෝගය වේගයෙන් පැතිරීමට මෙයත් එක් හේතුවක්.

තත්ත්වය මෙසේ තිබියදී ඔමික්‍රෝන්, ඩෙල්ටා එකට වැලඳුණොත් මහා විනාශකාරී සුපිරි ප්‍රභේදයක් ඇති වීම වළකාලනු බැහැ. මෙය විද්‍යාත්මකව හඳුන්වන්නේ ප්‍රතිසංයෝජන ප්‍රතිඵලයක් ලෙසයි. මෙහිදී එකම සෛලයක් ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේද මඟින් ආසාදනය වෙන අතර වයිරස ප්‍රතිගුණනය වීමේදී ඩෙල්ටා හා ඔමික්‍රෝන් ජානත් දෙකම ඇති නව ප්‍රභේදයක් ඇති වන්න පුළුවන්. මෙවැනි සිදුවීම් අඩු නමුත් අවදානමක් ඇති බව අමතක නො කළ යුතුයි.

ප්‍රතිසංයෝජන ප්‍රතිඵලයේ ගොදුරක් නො වීමට නම් හොඳින් නාසය වැසෙන සේ මුහුණු ආවරණ පැලඳීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, සෙනඟ ගැවසෙන තැන්වලට යාම හැකි තරම් සීමා කිරීම, නිරන්තරයෙන් සබන් ගා දෑත් සේදීම ඉතා වැදගත් වෙනවා.

---------------------------------

 

ඩෙල්ටා, ඔමික්‍රෝන් එකට වැලඳුණොත් සීත කාලයේ භයානක හීනයක් දකින්න පුළුවන්

 

මේ වන විට කාර්යාල සේවකයන් කී දෙනකු නම් මුහුණු ආවරණ ගලවා සහෝදර සේවකයන් අවදානමකට දමනවාද ?

කාර්යාලවල පමණක් නොව කෑම කඩ, ත්‍රීරෝද රථ ඇතුළු බොහෝ යන එන තැන්වල පුද්ගලයන් මුහුණු ආවරණ ගැලවී තිබෙණු දකින්න පුළුවන්. එය පුදුමයක් නො වන්නේ අපේ රටේ ඇත්තන්ට සතියක් යාමට කලින් ඕනෑම වැදගත් දෙයක් අමතක වන නිසයි.

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය වැඩි දෙනෙක් ගණනකට නො ගත්තේ අප්‍රිකාවේ එක් ආසාදිතයකු හෝ මිය නො ගිය බවට ආරංචි පැතිර ගිය නිසයි. එහෙත් බ්‍රිතාන්‍ය, ඔමික්‍රෝන් ද මරණ බිය ගෙන දෙන රෝගයක් බව පළමු මරණයත් සමඟ ලොවට කියා දුන්නා. සෞඛ්‍ය නීති අකුරට පිළි නො පැද්දොත් ඔමික්‍රෝන් ආසාදනය වීම නිසා බ්‍රිතාන්‍යයේ දිනකට පන් දහසක් මිය යාමේ ඉඩක් පවතින බව මහාචාර්ය නීල් ෆර්ගසන් පවසනවා.

තවමත් ලංකාවේ ඩෙල්ටා ප්‍රභේදය රජ කරනවා. ඒ අතරේ ඔමික්‍රෝන් ආසාදිතයන් ද වාර්තා වෙනවා. අමෙරිකාවේ ඩෙල්ටා කොරෝනා ආසාදිතයන් ගණන අඩු වී ගෙන යද්දී ඔමික්‍රෝන් රෝගීන් ගේ ගණන වැඩි වෙනවා. අපේ රටටත් ඒ අවදාන ම ඇති බව අමතක කරන්න බැහැ.

ඔමික්‍රෝන් යනු ඩෙල්ටාටත් වඩා වරක් වැලඳුණු කෙනකුට නැවත වැලඳිය හැකි කොරෝනා ප්‍රභේදයක්.

දැන් ලොවම අවදියෙන් සිටින්නේ ඩෙල්ටාත්, ඔමික්‍රෝනුත් එකට වැලඳුණොත් ඇතිවන සුපිරි ඩෙල්ටා ප්‍රභේදය මිනිසාට අත්පත්කර දෙන භයානක ඉරණම ගැනයි. මේ ප්‍රභේද දෙකම ඉතා වේගයෙන් පැතිරෙනවා. ඒ අතරිනුත් ඔමික්‍රෝන් අංක එකේ තැන ඉන්නවා. ජනගහනයෙන් වැඩි පිරිසක් එන්නත් ලබා ගත් රටවල පවා ඉතා වේගයෙන් ඔමික්‍රොන් පැතිරෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දින දෙක තුනක් ඇතුළත ඔමික්‍රෝන් රෝගීන් ගේ ගණන දෙගුණයක් වනවා. තවමත් මේ ප්‍රභේදයේ බරපතළ බව අධ්‍යයන කරමිනුයි ඉන්නේ. මෙය එන්නත්වල බලය මොනතරම් දුරට බිඳිනවා ද කියා සොයා ගෙන නැහැ.

 

 

මූලාශ්‍ර - රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
චන්න ද සිල්වා