හැමදාම හැදෙන හිසරදයට ආයුබෝවන් කියමු

ජනවාරි 3, 2022

 

වසරට වරක් වත් උණක්, සෙම්ප්‍රතිෂ්‍යාවක්, හිසරදයක් නො වැලඳුණොත් ඒක පුදුමයක්. ඒත් ඒ ලකුණු වසංගතයේ රෝග ලකුණු බවට පත් වුණ නිසා වෙනත් වසරවලදීටත් වඩා මේ කාලයේදී වැඩි දෙනෙක් එවැනි ලකුණු අත්දකිනවා.

ඒ ලකුණු අතරින් දෛනිකව ඇති වන හිසරදය අමතක කරන්න බැරි දවසේ කුදුමහත් රාජකාරිවලට ඉන් ඇති වන බලපෑම සුළුපටු නැති නිසයි.

විවිධ හේතූන් නිසා දෛනිකව ඇති වන හිසරදය අද වැඩි දෙනකු ගේ අත්දැකීමක්. අන් කවර කාලයේදීටත් වඩා සුවය සපිරි වසරක් පතන මේ කාලයේ 2022 දී වත් උණක්, හිසරදයක්, සෙම්ප්‍රතිෂ්‍යාවක් නො වැලඳී සිටිය හැකි නම්..... එය සැමගේම ප්‍රාර්ථනය එයයි.

වඩාත් සුලබ රෝග අතරින් දෛනික හිසරදය වැඩිය කතා බහට ලක් නො වුණත් වැඩි පිරිසක් අත්දකින බව රහසක් නො වෙයි.

දවස ගාණෙ හැදෙන හිසරදයට හේතුව මොකක්ද ?

තවමත් පැහැදිළි හේතුවක් නැහැ. ඒත් අනුමාන කරන හේතු ගණනාවක් තිබෙනවා. එක් හේතුවක් වන්නේ ආතතියයි - අපට නො තේරුණත් ආතතිය ශරීර සෞඛ්‍යයට පුදුමාකාර ලෙසින් බලපානවා. හිසරදයක් ඇතිවුණොත් එය රෝගයක ලකුණක් කියා සිතන්න පුරුදු වෙලා. නැත්නම් එය ගණනකට නො ගන්නා කරදරකාරී තත්ත්වයක් විතරයි.

 

කාංසාව -

ආතතිය වගේම කාංසාවත් අප විටින් විට අත්දකිනවා. කෙටි කාලීනව ලබන ඒ අත්දැකීම් අපේ සුවයට තර්ජනයක් වන්නේ නැහැ. ඒත් දිගු කාලීනව ඇති විට ශරීර සුවතාවට විශාල වශයෙන් බලපානවා. කාංසාවේ එක් ලකුණක් වන්නේ හිසරදයයි. කාංසා හිසරදය ලෙසින් මෙය හඳුන්වනවා.

අධික විඩාව -

අධික විඩාව හා හිසරදය අත්වැල් බැඳ ගත් තත්ත්ව දෙකක්. ‍දැඩි වෙහෙස හෙවත් අධික විඩාව විෂාදය, තයිරොයිඩ් ආබාධ වැනි බොහෝ රෝගවල ලකුණු ද වෙනවා. නිතර හිසරදය සෑදෙන අය අතර මෙය සුලබ ලකුණක් වන නමුත් හේතුව අනාවරණයකර ගෙන නැහැ.

විජලනය -

කෝවිඩ් - 19 වසංගතය සමඟ කාර්යාලය වැනි බාහිර පරිසරයකදී ජලය පානය කිරීම බොහෝවිට අඩුවෙන් කෙරුණේ. මුහුණු ආවරණ ගලවා නිතර නිතර ජලය පානය කිරීම කරදරයක් කියා සමහරු සිතුවා. ඒත් එහි එක් නරක විපාකයක් වන්නේ විජලනයයි. විජලනය නිසා හිසරදය, වෙහෙස, නින්ද නො යාම වැනි විවිධ ලකුණු ඇති වන්න පුළුවන්.

අධික හිරු එළිය -

හිරු එළිය, පරිගණකයේ, රූපවාහිනියේ ආලෝකය, ෆ්ලොරසන්ට් විදුලි බල්බවල ආලෝකය හිසරදය ඇති කරන අවස්ථා වැඩි දෙනකු අත්දකිනවා.

අධික ශබ්දය -

නිවෙසේ ශබ්ද වැඩි නම් හිසරදයබව පවසා ඔබ කී වරක් නම් කෑ ගසා තිබෙනවාද ? අධික ශබ්දය හිසරදය ඇති කරන නැත්නම් වැඩි කරන එක් හේතුවක්. සාමාන්‍යෙයන් හිසරදය නො වැලඳෙන කෙනකුට වුවත් අධික ශබ්දය නිසා හිසරදය වැලඳිය හැකියි.

සුවඳ විලවුන් -

සුවඳ නාසයට සොඳුරු වුවත් සුවඳ ගෙන දීමට විලවුන්වලට යොදන රසායන ගණන අති විශාලයි. මේවා නාස් කුහරවලට අහිතකර ලෙස බලපා හිසරදය හටගන්නවා. සුවඳ විලවුන් අසාත්මිකතාවේ එක් ලකුණක් වන්නේ හිසරදය.

ව්‍යායාම මදිකම -

දිනකට පැය භාගයක් වත් පුද්ගලයෙක් ව්‍යායාම කළ යුතු නමුත් සිරුර සුළු වශයෙන් වෙහෙසන්නවත් සමහරු අකැමැතියි. අධ්‍යයන ගණනාවකින් හෙළිවී ඇත්තේ ව්‍යායාම නො කරන තරමට නිතර හිසරදය සෑදීමට තිබෙන ඉඩ ඉතාමත් ම වැඩි බවයි. තවමත් වැඩි දෙනකුට හිසරදය හා ව්‍යායාම අතර සබඳතාවක් තිබෙනවා ද කියා සිතා ගන්නවත් බැහැ.

වැරැදි ඉරියව් -

කොන්ද කෙළින් තබා ගැනීමේ වැදගත්කම ගැන නිතර ම කතා බහ කෙරෙනවා. අම්මලා දරුවන්ට උගන්නන්නෙත් කොන්ද කෙළින් තියන් හරියට වැඩ කරන්න කියලයි. ඒත් තමන් කොන්ද හරි ඉරියව්වෙන් තියාගෙන ඉන්නවද ? අපේ අනිත් ඉරියව් නිවැරැදිද ? උදාවන අලුත් අවුරුද්දේ මේ ගැන හිතන්න ඕන. නැත්නම් හිසරදය වැලඳෙන්න පුළුවන්. වාඩිවෙන ඉරියව්ව පමණක් නොව හිට ගැනීම, ඇවිදීම වැනි සියලුම ඉරියව් නිවැරැදිව පවත්වා ගත යුතුයි. වැරැදි ඉරියව් නිසා බෙල්ල, උරහිස්, හකු වැනි තැන්වල තද ගතියක් ඇති වෙනවා. හිසරදයත් ඇති වෙනවා. සමහරු දත් මිටි කනවා. එයත් හිසරදයට මඟ පාදනවා.

ආහාර වේල අතපසු වීම -

මේ වැරැද්ද වැඩිපුරම වෙන්නේ කාන්තාවන් අතින්. කාර්යබහුලකම මීට බලපෑවත් එය හිසරදය ඇති වීමට හේතුවක්. කෘත්‍රිම ආහාර සැම අතින්ම සෞඛ්‍යයට තර්ජනයක් වගේම හිසරදයටත් බලපානවා.

වපරය -

අක්ෂි ආබාධ හා හිසරදය අතර සමීප සබඳතාවක් තිබෙනවා. හිසරදය නිතර සැදෙනවා නම් ඇස් පරීක්ෂා කර ගන්නා ලෙසට උපදෙස් ලැබෙන්නෙත් ඒ නිසයි. වපරය ඇතුළු අක්ෂි ආබාධ ගණනාවක් ම මීට බලපානවා.

දිනපතා ඇතිවන හිසරදය වළක්වා ගන්නේ කොහොමද?

* තමන් ගේ හිසරදයට හේතුව හඳුනා ගන්න.

* හිසරදය ඇති වන දින, දිනපොතක සටහන් කර ගන්න.

* හේතු හඳුනා ගත් පසු ඒවායින් ඈත් වන්න.

* පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ ළඟම ඇති රජයේ රෝහලේ වෛද්‍යවරයාගෙන් උපදෙස්, ප්‍රතිකාර ලබා ගන්න.

 

 

උපදෙස් - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව