යුග දිවියට බලපාන එන්ඩොමෙට්‍රියෝසිස්

ජනවාරි 24, 2022

''දරුවකු බිහි නො කිරීම, අඩු වයසින් මල්වර වීම, වයස්ගත වී ආර්තවහරණය සිදු වීම, දින 27 ක් වැනි කෙටි කාලීන ආර්තව චක්‍රයක් තිබීම, දින හතකට වැඩි කාලයක් අධික ලෙස ආර්තවය වීම, සිරුරේ අධික ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටමක් තිබීම, ශරීර ස්කන්ධ ධාරිතාව අඩු වීම, මවට, ලොකු අම්මාට, සොයුරිය‍ට රෝගී තත්ත්වය තිබීම, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත අක්‍රමිකතාවක් තිබීම වැනි විවිධ කාරණා එන්ඩොමෙට්‍රියෝසිස් ඇති වීමේ අවදානම ඉහළ නංවනවා.

වසර ගණනාවක් රෝග තත්ත්වය වර්ධනය වන අතර ගැබිනි වියත් සමඟ රෝග ලකුණු වර්ධනය වී ආර්තවහරණය සමඟ නැතිවී යන අවස්ථා තිබෙනවා.

මඳසරුබව එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයේ එක් ප්‍රධාන සංකූලතාවක්.ඩිම්බ කෝෂ පිළිකා මේ අය අතරේ වැඩි බව අධ්‍යයන මඟින් පෙනී ගොස් තිබෙනවා''

සමහර තරුණ ගෑනු ළමයි වැඩි දෙනකුට වගේ ම ඇතැම් විවාහක කාන්තාවන්ටත් දින දසුනේ එක්තරා දින කිහිපයක් උදා නො වෙනවා නම් කෙතරම් යහපත්දැයි සිතෙනවා. ඒ ආර්තවය ආසන්න හෝ ආර්තවය සිදුවන දින කිහිපයයි. වේදනාව මේ අකැමැත්තට ප්‍රධාන හේතුවයි.

ඔසප් ආසන්නව, ඔසප් වෙන විට සුළු වේදනාවක් දැනීම ස්වාභාවිකයි. එහෙත් ඉවසා ගැනීමට බැරි තරම් වෙදනාවක් දැනෙනවා නම්....... එය ස්වාභාවික තත්ත්වයක් කියා නො සිතා වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි.

ඊට එක් හේතුවක් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වය. මෙය සරු වයසේ කාන්තාවන් අතර සුලබ ම අක්‍රමිකතාවක්. අවාසනාවකට ඔසප් වන විට අනිවාර්යයෙන් ම වේදනාවක් දැනෙන බවට විශ්වාසයක් තිබෙන නිසාම මෙය නො සලකා හරින තත්ත්වයක් බවට පත් වෙලා.

කොහොමද ලෙඩේ

හැදෙන්නේ ?

එන්ඩොමෙට්‍රියොසිස් ගර්භාෂ ආස්තරණය ගර්භාෂය පිටත වර්ධනය වීමෙන් ඇතිවන තත්ත්වයක්.

පැලෝපීය නාල, ගැබ් ගෙල වගේ ගර්භාෂය ආසන්න තැන්වල වගේම ඉන් පිටත මුත්‍රාශය, ගුද මඟ වැනි තැන්වලත් ගර්භාෂ ආස්තරණය වර්ධනය වන්න පුළුවන්. මෙය හඳුනා ගැනීමට අසීරු තත්ත්වයක්. සමහර කාන්තාවන්ට ඉවසා ගැනීමට බැරි තරම් වේදනාවක් දැනුණත් තවත් අය තමන්ට රෝගය තියෙනවා ද කියාවත් දන්නේ නැහැ.

රෝග ලකුණු පෙන්වන කාන්තාවන් ට ඇතිවන ලකුණු මොනවාද ?

ආර්තවය ආසන්න කාල සීමාවේ හෝ ආර්තවය වන කාල සීමාවේ ඇතිවන වේදනාව ( ශ්‍රෝණි පෙදෙසේ,

තුනටියේ )

ඔසප් වන විට අධිකව රුධිරය පිටවීම

ආහාර ජීර්ණ ගැටලු

මුත්‍රා කරන විට මල පිට කරන විට

හටගන්නා වේදනාව

ඔක්කාරය

සැමියා සමඟ සම්බන්ධ වීමේදී හෝ

ඉන්පසු ඇතිවන වේදනාව

මඳසරුබව

උදරය පුරවා දැමීම

කාංසාව, විෂාදය

විඩාව

ජීවිතයට ම කරදර ගෙන දෙන රෝගයක්

ඉවසාගත නො හැකි වේදනාව නිසා එදිනෙදා වැඩකටයුතු කරගෙන යාමට අසීරු වෙනවා.

පවුල් ජීවිතය අසුන්දර කරන රෝගයක්. සැමියා සමඟ එක්වන විට හෝ ඉන්පසු දැනෙන අධික වේදනාව නිසා පවුල් දිවියේ නැති ප්‍රශ්න ඇති වීමට පුළුවන්. වේදනාවට ඇති අකැමැත්ත නිසා මෙවැනි බිරියන් සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන්නේ නැහැ.

මෙබඳු කාරණා නිසා ඇතිවන සිත් රිදීම් හුදෙකලා දිවියකට මඟපාදනවා. ආතතිය, කාංසාව, විෂාදය වැනි මානසික අපහසුතා ඇති වෙනවා.

එන්ඩොමෙට්‍රියෝසිස් මඳසරු බවටත් මඟ පාදනවා.

‍මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා

ලැපරොස්කොපි මඟින් එන්ඩොමෙට්‍රියෝසිස් පහසුවෙන් ම හඳුනා ගන්න පුළුවන්.

නිතර ව්‍යායාම කිරීමෙන් මේ තත්ත්වය ඇති වීම වළක්වා ගත හැකි සේම රෝගය ඇති අයට වේදනාව අවම කර ගැනීමටත් හැකියාව තිබෙනවා. යෝගා ද වේදනාව අඩු කර

ගැනීමට යොදා ගන්න පුළුවන්. කල් ඇතිව තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර ගත යුතුයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ට අනුව මඳසරු වයසේ පසුවන ලොව කතුන් දස දෙනකුගෙන් එක් අයකු එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයෙන් පීඩා විඳිනවා. එනම් ලොව

මිලියන 190 ක් පමණ කාන්තාවන් මින් පීඩා වට පත් වෙලා. ප්‍රතිශතයක් ලෙස සියයට 10 ක්. ශ්‍රෝණි වේදනාවෙන් පෙළෙන කතුන්ගෙන් සියයට 40 ක්ම එන්ඩොමෙට්‍රියෝසිස්වලින් පීඩා විඳිනවා.

උපදෙස් - වෛද්‍ය චම්පා නෙල්සන්

සටහන

චම්පිකා දීපානි රණසිංහ