ජර්මන් සරම්ප හැදුණොත් හඳුනා ගන්නේ මෙහෙමයි

අප්‍රේල් 25, 2022

 

දුවකුගේ හුරතලය වදනින් කියාපෑ නොහැකි තරම්. කොයිවෙලේ බැලුවත් අම්මගෙයි, තාත්තගෙයි ඇඟේ දැවටුණු ගමන්. තාරුණ්‍යයේ එළිපත්තේ හිටියත් ඒ කෙළිලොල් බවේ නම් කිසිම අඩුවක් නෑ. හිරණ්‍යාගෙයි සේමිතගෙයි මුළු ලෝකයම වන්නේ ඔවුන්ගේ දියණියයි. නිරෝගී දරු සම්පතකට පාර කියන්නේ, අනාගතයේ උතුම් මාතෘත්වයේ කිරුළු පලඳින්නේ දූවරු.

මේ නිසා අනාගතයේ ගැබිනියක්ව නිරෝගී දරු සම්පතකට උරුමකම් කියන්නට නම් ඇය කිසිදු බාහිර උපද්‍රවයකට ලක් විය යුතු නැහැ. ජර්මන් සරම්ප ගැබිනියක් ආරක්ෂා විය යුතුම රෝගයක්. ජර්මන් සරම්ප රෝගයේ ගොදුරක් නොවන්නට නම් රුබෙල්ලා එන්නත ලබාගත යුතුමයි. පසුගිය සතියේ අපි මේ පිළිබඳ යම් කතාබහක නියැළුණා. ජර්මන් සරම්ප හැදෙන්නේ කොහොමද? එය හඳුනාගන්නේ කොහොමද කියලා මෙවර අපි සොයා බලමු.

වෛරසයක් බොහෝ විට ස්නායු පද්ධතිය හරහාම ශරීරගත වෙයි. එය ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේ ඇතුළුවන සම්භාවිතාව අඩුයි. ස්වසන පද්ධතිය හරහා ඇතුළුවන වෛරසය රුධිරය මඟින් සියලු අවයවයන්, ග්‍රන්ථීන් කරා ගෙන යයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රබලතාව මත වෛරසය හා ගැටෙමින් එය මර්ධනය කිරීමට උත්සහ කරයි. ඒ වනවිට ශරීරයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යයි. එහිදී ශරීරය විසින් ප්‍රතිදේහ සාදයි. බොහෝවිට රෝගියාගේ සමේ ඇතිවන ළා රෝස පැහැ, රතු පැහැ බිබිලි හටගන්නා බවට විශ්වාසයක් පවතී.

කලලයේ ඇතිවන සංකූලතාවලට ප්‍රධාන හේතුව වන්නේ වෛරසය ශරීරගත වූ විට කලලයේ සෛල විභේදනයට බලපායි. මෙම සෛල බෙදීම, වර්ධනය වීම හේතුකොටගෙන ශරීරයේ ඉන්ද්‍රියයන්, අත්, පා සාමාන්‍ය ප්‍රමාණයට වර්ධනය නොවේ. එවිට ශරීරය අංගවිකල වේ. මොළයට බලපෑමක් කළහොත් මොළය වර්ධනය හීනවේ. හෘදයට බලපෑවේ නම් හෘදයේ වර්ධනය අඩාල වේ. රුබෙල්ලා වෛරසයේ ඇති එකම යහපත් දේ වන්නේ එක් වතාවක් වැලඳුණ පසු ජර්මන් සරම්ප රෝගය නැවත සෑදෙන්නේ නැති වීමයි.

 

රෝග ව්‍යාප්තිය සිදුවන කාලසීමාව

සමේ ලප තත්ත්වය ඇතිවීමට සතියකට පෙර සිට ලප ඇතිවී සතියක් යනතුරු මෙම රෝගය සක්‍රීයව බෝවිය හැකියි. ලප මතුවනතෙක් වෛද්‍යවරයකුට රෝගය නිර්ණය කිරීම අපහසුයි.

රෝගය බෝවීමේ සක්‍රීය කාලය දරුවන්ට වඩා වැඩිහිටි අයට වැඩියි. රෝගය වැලඳි දින 14 - 18 දක්වා තිබෙන්න පුළුවන්. අයහපත්ම දේ නම් උපතින්ම මේ රෝගය සෑදුණු දරුවන්ගේ ඉතා දිගු කාලයක් වෛරසය ශරීරය තුළ පවතී.

 

රෝගය හඳුනා ගන්නේ කොහොමද?

බොහෝවිට මෙම රෝග තත්ත්වය සායනිකව එකවිට වෛද්‍යවරයාට සොයාගැනීම අපහසුයි. එයට හේතුව නම් සමේ ඇතිවන ලප, සාමාන්‍යයෙන් ශරීරයේ හට ගැනීමට පුළුවන් ලපවලට සමාන වීමයි. රුධිර පරීක්ෂණවලින් රෝගය නිර්ණය කළ හැකියි.

 

ඖෂධ

බටහිර වෛද්‍ය ක්‍රමයේ දී වෛරස් රෝගය ශරීරගත වූ විට කළහැකි ප්‍රතිකාර ඉතා අඩුයි. දේශිය ආයුර්වේද ප්‍රතිකාරවලත් රෝගය නොසෑදීමට කියාදෙනු ලබන ඖෂධ නැහැ. එහෙත් එය මැඬලීමට දෙන ප්‍රතිශක්තිකරණ ඖෂධ ඕනෑතරම් තිබේ.

අපේ රටේ නීතිරීතිවලට අනුව අංගවිකල තත්ත්වයේ වූ කලලයක් (ගැබට මාස 5 - 6 දී ඒ සම්බන්ධ පරීක්ෂණයකින් හඳුනාගත හැකියි) හඳුනාගත්තේ එය ඉවත් කිරීමට නීතිමය බලයක් නැහැ. බටහිර රටවල නම් අංගවිකල බව තහවුරු වූ පසු දරුවා බිහිවීමට පෙර මවගේ ශරීරයෙන් ඉවත් කරයි.

 

රෝගයෙන් වැලකී සිටීම

මේ සඳහා සාර්ථකම දේ වන්නේ කුඩාකලදී හා පරිණත වූ විට විවාහයට පෙර එන්නත්කරණය වීමයි. මව්වරුන් තම දියණිවරුන් වෙනුවෙන් එම යුතුකම කළ යුතුමයි. ගර්භණී මව්වරුන්ට මේ එන්නත දෙන්නේ නැහැ. අඩුම තරමේ ගැබ් ගැනීමට මාස 3කටවත් පෙර එය ලබාගත යුතුයි.

ප්‍රතිශක්තිකරණ ඌනතා ඇති ඒඩ්ස්, පිළිකා වැනි රෝගීන්ට මෙම එන්නත අනුමත නොකරයි. රුබෙල්ලා එන්නතේ සංකූලතා නොමැති තරම්. කලාතුරකින් උණ තත්ත්වයක් ඇතිවිය හැකියි.

 

 

උපදෙස්

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය මානව උපදේශක වෛද්‍ය

සුදත් ගුණතිලක